සේතුච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“මානෙන වඤ්චිතාසෙ” යනු ආයුෂ්මත් සේතුච්ඡ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කර ගත්හ. තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූ හෙතෙම එක් දිනක් එම බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ඉතා රසවත් කොස් හා පොල් වලින් සෑදූ රසකැවිලි පූජාකළේය. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව ඉපිද දෙව් මිනිසුන් අතර සැරිසරමින් තවත් පින්දහම් කොට, මේ බුද්ධෝත්පාද කාලයේ දී එක්තරා ප්රාදේශීය රජකුගේ පුත්රයෙක් ව උපන්නේ ය. සේතුච්ඡ කුමරු නාමයෙන් ප්රකට වූ ඔහු පියාගේ ඇවෑමෙන් රාජ්ය ලැබ, උත්සාහ සම්පත්තිය නොමැති වූ බැවින් රාජ්ය කටයුතු පමාකිරීමෙන්, රජකම වෙනත් අයෙකුගේ අතට ගියේය. පසුව දුකට හා සංවේගයට පැමිණි සේතුච්ඡ කුමරු ජනපදචාරිකාවේ යමින් සිටිය දී ශාස්තෲන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ලැබූ ශ්රද්ධාවෙන් පැවිදිව කෙලෙස් නැසීමට අවශ්ය කටයුතු සිදුකර, එදින ම රහත්බවට පත්විය. එනිසා උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය, අපදානපාළියේ දැක්වූහ.
“මම පෙර තිස්ස බුදුරජාණන් වහන්සේට පොල් ද කැමති වූ රසකැවිලි ද පූජාකළෙමි.
“මහර්ෂී වූ තිස්ස බුදුරජාණන් වහන්සේට එය පිදූ මම කැමති සේ භවසම්පත් ලැබුයෙමි. කැමති දෑ කරන්නෙකු වූයෙමි. ප්රමුදිතව සතුටුවූයෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. මේ නාළිකේර ඵල දානයේ විපාකයයි.
මෙයින් කල්ප දහතුනකට පෙර, සත් රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති ඉන්දසම නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්ව කෙලෙස්වලට ගරහමින් උන්වහන්සේ මෙම ගාථාව වදාළහ.
“මානෙන වඤ්චිතා සෙ සඞ්ඛාරෙසු සඞ්කිලිස්සමානා සෙ,
ලාභාලාභෙන මථිතා සමාධිං නාධිගච්ඡන්ති.”**
ලාභාලාභෙන මථිතා සමාධිං නාධිගච්ඡන්ති.”**
මෙම ගාථාවේ “මානෙන වඤ්චිතා සෙ” මම අනෙක් අයට වඩා ශ්රේෂ්ඨ වෙමි” යි ආදී වශයෙන් පවතින මානයෙන්, අනුන් පහත්කර හා තමන් උසස් කර දැකීම් වශයෙන් කුසල දහම් වැනසීම් වශයෙන් විප්රකාර වූයෙමි. “සඞ්ඛාරෙසු සඞ්කිලිස්සමානාසෙ” යනු ආධ්යාත්මික හා බාහිර චක්ෂුරාදී ඉන්ද්රියන්ගේ ද රූපාදී අරමුණුවල ද සංඛත ධර්මයන්හි ද කිලිටි වූ සිත් ඇති වූයෙමි. “මේ මම ය මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි.” යනුවෙන් ආත්ම වශයෙන් ගෙන තණ්හාවෙන් කිලිටිභාවයට පත්වන්නා වූ, “ලාභාලාභෙන මථිතා” යනු පාසිවුරු ආදිය ද වස්ත්රාදිය ද ලැබීමෙන් හා ඒවා නොලැබීමෙන් ඒ නිමිති කරගෙන උපදින ඇලීම් - ගැටීම් ආදියෙන් මැඩුනෙමි, කිලිටිවූයෙමි, මැඩලූයෙමි, මෙහි මානය හා ලාභාලාභාදියෙන් මතුවීම නිදසුන් වශයෙන් පමණක් දැක්විණි. ඉතිරි සියලුම ලෞකික කෙලෙස් ධර්ම මෙහි දී අදහස් වන බව දතයුතුයි. “සමාධිං නාධිගච්ඡන්ති” යනු මෙබඳු වූ පුද්ගලයෝ සමාධියට, සමථ විපස්සනා දී සිත එකඟ කරගැනීමට කිසිදා නොපැමිණෙති. එම සැප කිසිදා නො ලබති, නො විඳිති, චිත්ත සමාධියට ඇවැසි දහම් නොමැති නිසා ඉන් ඉහළ සැප ද නො ලබති. “මෙම සසුනෙහි ද මානාදියෙන් වැඩුණු භික්ෂූහු අඥාන බැවින් චිත්ත සමාධියට නොපැමිණෙති. නුවණැති භික්ෂූහු එසේ නොවෙති, ඔවුහු මා මෙන් ම මානාදියෙන් යටපත්නොවී චිත්ත සමාධියට පැමිණෙත්මය” යන්න ප්රකාශ කිරීම් වශයෙන් සිය රහත් භාවය පවසන ලදැයි දතයුතුයි.
සේතුච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
බන්ධුර ස්ථවිරගාථා වර්ණනාව
“නාහං එතෙන අත්ථිකො” යනු ආයුෂ්මත් බන්ධුර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී එක්තරා රජකුගේ අන්තඃපුරයෙහි ආරක්ෂක සේවයේ නියැලියෙක් වූහ. එක් දිනක් එම භාග්යවතුන් වහන්සේ භික්ෂූන් පිරිවරා ගෙන රාජාංගනයෙහි වඩිනු දුටු ඔහු පැහැදුණු සිතින් කණවේර මලින් භික්ෂු සංඝයා සහිත බුදුරදුන් පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන් ඔහු, කාමසුගතීන්හිම සැරිසරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ සීලවතී නම් නුවර සිටු පුතෙක් ව ඉපිද බන්ධුර නාමයෙන් ප්රකට විය. වැඩිවියට පත් බන්ධුර සිටුපුතු කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවරට ගියේය. එහිදී විහාරයට යන උපාසකවරු සමග ගොස් ශාස්තෲන් වහන්සේගේ දම්දෙසුම ඇසූ ඔහු ලබන ලද ශ්රද්ධාවෙන් සසුනේ පැවිදි විය. උන්වහන්සේ ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුනෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියහ. බන්ධුර තෙරණුවෝ අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“ලෝකජ්යෙෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සිද්ධත්ථ නම් භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන් පිරිවරා නගරයට පිවිසි සේක.
එකල්හි මම රජුගේ මැනවැයි සම්මත වූ අන්තඃපුර පාලකයා වූයෙමි. පහයෙහි සිටි මම ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි,
කණවේරමල් රැගත් මම ඒ මල් භික්ෂු සංඝයා වෙත ඉස්සෙමි, ඉන් වැඩි කොටස බුදුරදුන් උදෙසා පිදුවෙමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර කළ පුෂ්ප පූජාවේ විපාක වශයෙන් මම මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාක එබඳුය,
මෙයින් කල්ප අසූ සතකට පෙර සත්රුවනින් හෙබි මහ බලැති මහිද්ධික නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් ව, කළගුණ සැලකීමෙහි සිත පිහිටුවා, තමාට පෙර උපකාර කළ රජුට ප්රත්යුපකාර කිරීම සඳහා සීලවතී නුවරට ගොස් රජුට ධර්මදේශනා කරමින් චතුරාර්ය සත්ය ධර්මය ප්රකාශ කළ උන්වහන්සේගේ දේශනාව අසා රජු සෝවාන් විය. තම නුවර සුදස්සන නම් මහා විහාරයක් කරවු රජතුමා එය තෙරුන් වහන්සේට පූජා කළේය. බන්ධුර තෙරුන්ට එතැන් පටන් මහත් ලාභ සත්කාර ඉපදුණි. උන්වහන්සේ එම සියලු ලාභ සත්කාර ද විහාරයද සංඝයාට පවරා දී තමන්වහන්සේ පෙර මෙන් ම පිඬුපිණිස හැසිරෙමින් යැපුණු සේක. මෙසේ දින කිහිපයක් එහි විසූ උන්වහන්සේ සැවැත් නුවරට යනු කැමති වූහ. එවිට භික්ෂූහු “ස්වාමීනි! නුඹ වහන්සේ මෙහිම වාසය කරනු මැනවි. ඉදින් සිවු පසයෙන් අඩුවක් වේ නම් අපි එය සම්පූර්ණ කරන්නෙමු,” යි පැවසූහ. එවිට බන්ධුර තෙරණුවෝ, “ඇවැත්නි! මට මහත් වූ සිවුපසයෙන් ප්රයෝජනයක් නැත, ලැබෙන ප්රත්යයකින් යැපෙමි, මා ධර්මරසයට ම කැමැත්තෙමි, එය පමණක් ම මට අවශ්යය”යි පවසමින් මෙම ගාථාව වදාළහ.