උසභ ස්ථවිරගාථා වර්ණනාව
“නගා නගග්ගෙසු සුසංවිරූළ්හා” යනු ආයුෂ්මත් උසහ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින්දහම් සිදුකළහ. මෙයින් දෙව් පුතෙකු වී උපන් උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ දැක පැහැදී දිවමලින් පූජා පැවැත්වූහ. ඒ පූජාකළ මල් සමූහය සත්දිනක් මල් මඩුවක ආකාරයෙන් බුදුරදුන් පිරිවරාගෙන සිටියේය. එවිට දෙව් මිනිසුන්ගේ මහත් වූ එකතුවක් ද විය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් භවයන්හි සැරි සැරූ දෙව්පුතු, අපගේ ගෞතම බුදුරදුන් පහළ වූ සමයෙහි කොසොල් රට පොහොසත් පවුලක උපන්නේ ය. උසභ නමින් ප්රකට වූ හෙතෙම වියට පත්ව, ජේතවනාරාමය පිළිගැනීමේ දී ශාස්තෲන් වහන්සේ කෙරෙහි ශ්රද්ධාව උපදවා පැවිදිවයි. කරන ලද පූර්ව කටයුතු ඇති උසභ තෙරණුවෝ අරණ්යයෙහි පර්වතපාදයක විසූහ. එසමයේ දී ඉතා අලුයම වැසි වැස, පර්වත ශිඛරයන්හි රුක් ගොමු වැල් ආදිය ඝන, සැඩ ස්වභාව ඇත්තේ විය. දිනක් උසභ තෙරණුවෝ, ලෙනින් නික්ම ඒ වනයේ සිත්කලු බව ද පර්වතයේ දැකුම්කලු බව ද නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් “මේ මහත් වූ නා ගස් ආදිය අචේතනික වුවත් සෘතු සම්පත්තියෙන් වැඩීමට පැමිණෙයි. මම කුමක් හෙයින් මෙබඳු සෘතු සම්පත්තියක් ලැබ, ආර්ය ගුණ නොවඩන්නෙම් ද?” යි සිතමින් මෙම ගාථාව වදාළහ.
“නගා නගග්ගෙසු සුසංවිරූළ්හා, උදග්ග මෙඝෙන නවෙන සිත්තා,
විවෙක කාමස්ස අරඤ්ඤ සඤ්ඤිනො, ජනෙති භීය්යො උසභස්ස කල්යතං න්ති.”
විවෙක කාමස්ස අරඤ්ඤ සඤ්ඤිනො, ජනෙති භීය්යො උසභස්ස කල්යතං න්ති.”
එහි “නගා” යනු වෘක්ෂයෝ ය. ඇතැම් හු “නාගා” යන පාඨය යොදති. නා ගස් යන අර්ථයයි. “නගග්ගෙසු” යනු පර්වත ශිඛරයන් හි, “සුසංවිරුළ්හා” මනාව හාත්පසින් වැඩුණු මුල් ඇති ව, වටේට ද මත්තෙහි ද මනාව හටගත් අතුරිකිලි දළු ආදියෙන් යුතු යන අර්ථයයි. “උදග්ගමෙඝෙන නවෙන සිත්තා” යනු පළමුව උපන් මහත් වූ වැසිදිය ලැබීමෙන් මනාව වැඩුණු, “විවෙකකාමස්ස” යනු කෙලෙසුන්ගෙන් තොර වූ චිත්ත විවේකය කැමැත්තාට “අරණ්ය වාසයෙහි විසීමෙන් ම කායවිවේකය ලබන්නේ ය. දැන් උපධි විවේකය කැමැත්තාට නිශ්රය භූත වූ චිත්ත විවේකය ලැබිය යුතු යයි” පතන්නා වූ, නිදි වැරීමෙහි නියුක්ත වූවහුට” යන අර්ථයයි. එනිසා “අරඤ්ඤ සඤ්ඤිනො” යන්න කියන ලදි. අරණ්ය වාසය ශාස්තෲන් වහන්සේ වර්ණිත, පසසන ලද්දකි. එහි යෙදීමෙන් සමථ විදර්ශනා භාවනාවන් පිරිපුන් (පරිපූර්ණවේද, එම භාවනා මගින් චිත්ත සමාධිය මගේ අතට පත්වූවක් කරන ලද්දෙමි. මෙසේ ආරණ්යගත වූ සඤ්ඤාවෙන් නෙක්ඛම්ම සංකප්පය බහුලවෙමි යන අර්ථයයි. “ජනෙති” යනු උපදවයි. පතුරුවයි, මෙහි ඒකවචනය යෙදී ඇත. ඇතැම්හු මෙය “ජනෙන්ති” යනුවෙන් බහුවචනයෙන් අර්ථ කියති. “භිය්යො” යනු භාවනාවට මතුමත්තෙහි, තමාම වෙනත් අයෙකු මෙන් දක්වයි. “කල්යතං” යනු සුදුසු බවට, සිත භාවනාවට යෝග්ය වූ කර්මණ්ය බවට පත්වූ, එහි අර්ථ ඉහත කියන ලදි. තෙරුන් වහන්සේ මෙම ගාථාව පවසමින් ම විදසුන් භාවනාව වඩා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“දෙව්පුතෙකුව සිටි මම සිඛී බුදුරජාණන් වහන්සේට දිව මල් මාලාගෙන පූජා කළෙමි.
සත් දිනක් මුලුල්ලෙහි ඒ දිව මල් බුදුරජාණන් වහන්සේට වියනක් මෙන් සිටියේය. ඒ දැක සියලු ජනයා එක්ව තථාගතයන් වහන්සේට නමස්කාර කළෝය.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් දසවන කල්පයේ සත් රුවනින් යුතු මහත් බලැති ජුතින්ධර නම් සක්විති රජ ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඉහතින් දැක්වූ ගාථාව ම උසභ තෙරණුවන්ගේ රහත් බව ප්රකාශ කරන ගාථාව ද විය.
උසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
එකොළොස්වන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
දොළොස් වැනි වග
ජෙන්ත ස්ථවිරගාථා වර්ණනාව
“දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා” යනු ආයුෂ්මත් ජෙන්ත තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද පූර්ව ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී දෙව් පුතෙකුව ඉපිද, දිනක් උන්වහන්සේ දැක - පැහැදුණු සිතින් කිංකිරාත මලින් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රට “ජෙන්ත” නම් ගම එක් මාණ්ඩලික (ප්රාදේශීය) රජෙකුගේ පුතුව උපන්නේය. ජෙන්ත නමින් ප්රකට වූ හෙතෙම වියපත් ව, තරුණකාලයේ දී ම හේතු සම්පත් බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිද්දට ඇලුණු සිතැතිව සිට නැවත මෙසේ සිතීය. “පැවිද්ද නම් දුෂ්කර වූවකි. ගෘහ වාසය ද අතිදුෂ්කර වූවකි. ධර්මය ද ඉතා ගැඹුරුය. භෝග සම්පත් ලැබීම ද අසීරුය. මම කුමක් කළයුතුද?” මෙසේ සිතමින් වෙසෙන කල්හි දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මය ඇසුවේය. ධර්මය ඇසූ දින පටන් පැවිද්දට ඇලුණු සිතැතිව, ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වූ උන්වහන්සේ කමටහන් ගෙන විදසුන් වඩා, සුව ප්රතිපදාවෙන් වහා අභිඥා උපදවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“මම පෙර දෙව් පුතෙකුව ඉපිද කිංකිරාත මල් රැගෙන සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කොට නමස්කාර කළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර එසේ යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පහකට පෙර සත්රුවනින් හෙබි මහ බලවත් සත්තුත්තම නම් සක්විති රජ ව උපන්නෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ ජෙන්ත තෙරණුවෝ තමාගේ ප්රතිපත්තිය විමසා බලා, “මම ඒකාන්තයෙන්ම මා හට මුලදී උපන් විතර්කය සිඳ දැමීමට හැකියාව ලද්දෙමි”යි සතුටට පැමිණ, විතර්කයේ උපන්දින ස්වභාවය ද එය මනාව සිඳ දැමීම ද දක්වමින්, මෙම ගාථාව වදාළහ.