ඛ. ආදිවිසොධනට්ඨනිද්දෙසවණ්ණනා
ආදි විසොධනාර්ථ නිර්දේශයෙහි, අස්සද්ධිය සංවරට්ඨෙන සීල විසුද්ධි යනු අශ්‍රද්ධාවගේ වැළැක්වීම් අර්ථයෙන් විරති අර්ථයෙන් සීලයෙහි මල පිරිසිදු කරන හෙයින් සීල විශුද්ධි නමැ. සද්ධින්‍ද්‍රියස්ස ආදි විසොධනා යනු ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ උපනිශ්‍රය වශයෙන් මුල්වූ සීලය මනාව පිරිසිදු කිරීමයි. මෙම ක්‍රමයෙන්ම සෙසු කාමච්ඡන්‍දාදී සංවරණ මූලික ඉන්‍ද්‍රියය දතයුත්තාහ.
ග. අධිමත්තට්ඨනිද්දෙසවණ්ණනා
අධිමාත්‍රාර්ථ නිර්දේශයෙහි, සද්ධින්‍ද්‍රියස්ස භාවනාය ඡන්‍දො උප්පජ්ජති යනු ශ්‍රද්ධාවත් පුද්ගලයාට, ශ්‍රද්ධා ප්‍රතිසංයුක්ත ධර්මයක් අසා හෝ, ශ්‍රද්ධෙන්‍ද්‍රියය වැඩිදියුණු කිරීමෙහි ආස්වාදය දැක හෝ ශ්‍රද්ධෙන්‍ද්‍රියෙහි කුසල් වූ ධර්මච්ඡන්‍දය හටගනී. පාමුජ්ජං උප්පජ්ජති යනු ඡන්‍දය හටගත් බැවින් දුර්වල ප්‍රීතිය උපදී. පීති උප්පජ්ජති යනු ප්‍රමුදිත හෙයින් බලවත් ප්‍රීතිය උපදී. පස්සද්ධි උප්පජ්ජති යනු ප්‍රීතියෙන් පිණාගිය හෙයින් කාය චිත්ත සංසිඳීම් උපදී. සුඛං උප්පජ්ජති යනු කය හා සිත සන්සුන් හෙයින් චෛතසික සුවය උපදී. ඔභාසො උප්පජ්ජති සුවයෙන් ආර්ද්‍ර හෙයින් ඤාණාලෝකය උපදී. සංවෙගො උප්පජ්ජති යනු ඤාණාලෝකයෙන් දත් සංස්කාරාදීනව හෙයින් සංස්කාර පැවැත්මෙහි සංවේගය උපදී. සංවෙජෙත්‍වා චිත්තං සමාදහති යනු සංවේගය උපදවා, එම සංවේගයෙන්ම සිත තැන්පත් කරයි. සාධුකං පග්ගණ්හාති යනු මැලිබව හා නොසන්සුන්කම අත්හැර මනාව උත්සාහවත් කරයි. සාධුකං අජ්ඣුපෙක්ඛති යනු වීර්යය සමව පැවැති හෙයින් නැවත වීර්යය සමතාවයට ගෙනඒමෙහි උත්සාහ නොකරනුයේ තත්‍ර මධ්‍යස්ථපේක්‍ෂා වශයෙන් මනාව මධ්‍යස්ථ වේ නමැ. උපෙක්ඛාවසෙන යනු සමව උසුලන ලක්‍ෂණයෙන් තත්‍ර මධ්‍යස්ථපේක්‍ෂා වශයෙන් නානත්ත කිලෙසෙහි යනු විදර්ශනාවට ප්‍රතිපක්‍ෂ වූ නොයෙක් ස්වභාවයන්ගනේ යුත් කෙලෙසුන් කෙරෙන්, විමොක්ඛවසෙන යනු භංගානුපස්සනාවෙහි පටන් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්, විමුත්තත්තා යනු නොයෙක් කෙලෙසුන්ගෙන් මිදීම් වශයෙන්.
තෙ ධම්මා යනු ඡන්‍දාදී ධර්ම, ඒකරසාහොන්ති යනු විමුක්ති රසයෙන් එකාකාරි රස වේ. භාවනා වසෙන යනු එක් රස භාවනා වශයෙන්, තතො පණීත තරෙ විවට්ටන්ති යනු එම කරුණින් විදර්ශනාරම්මණයෙන් වඩා ප්‍රණීත නිර්වාණාරම්මණයෙහි විවට්ටානුපස්සනා සංඛ්‍යාත ගෝත්‍රභූ ඤාණයෙන් ඡන්‍දාදී ධර්ම නවතී. සංස්කාරාරම්මණයෙන් ඉවත්ව නිර්වාණාරම්මණයෙහි පවතීයයි අර්ථයි. විවට්ටනාවසෙන යනු මෙසේ ගෝත්‍රභූ ක්‍ෂණයෙහි සංස්කාරාරම්මණයෙන් පරාම්මුඛ වීම් වශයෙන්, විවට්ටිතත්තා තතො වොස්සජති යනු මාර්ග යුත් පුඟුලා මාර්ගයාගේ උපදනා ක්‍ෂණයෙහිම කෙලෙසුන් කෙරෙන්ද, ඒ හා අනුව පවත්නා ස්කන්ධයන් කෙරෙන්ද යන දෙකින් නැගී සිටීම් වශයෙන්, පරාම්මුඛ වූ හෙයින්, එම කරුණින්ම කෙලෙසුන්ද ස්කන්ධයන්ද අත්හරියි. වොස්සජ්ජිත තතා තතො නිරුජ්ඣති යනු මාර්ගයෙහි උත්පාදක්‍ෂණයෙහිම කෙලෙසුන්ද, ස්කන්ධයන්ද, අත්හළ හෙයින්, එම කරුණින්ම කෙලෙස්ද, ස්කන්ධයෝද නූපදනා නිරෝධ වශයෙන් නිරුද්ධ වෙති. වොස්සජ්ජිතත්තාති යනු අපේක්‍ෂායෙහි පැවතීම් වචනය කරන ලදි. කෙලෙස් නිරෝධය ඇතිකල්හි ස්කන්ධ නිරෝධයද යෙදෙන හෙයින්, ස්කන්ධ නිරෝධය යූ.සේයි. නිරොධ වසෙන යනු කියන ලද ආකාර ඇති නිරෝධයාගේ වශයෙන් එම මාර්ගයාගේම උත්පාද ක්‍ෂණයෙහි, දෙයාකාර වොස්සජනයන් දක්වනු කැමැතියේ. නිරොධ වසෙන ද්වෙ වොස්සග්ග ආදිය වදාළහ. ද්වයම යට කියන ලද අර්ථමය. අස්සද්ධියස්ස පහාණාය ඡන්‍දො උප්පජ්ජති යන ආදීන්හිද මෙම ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. වීර්යෙන්‍ද්‍රියාදි මූලික වාරයන්හිද එම ක්‍රමයමැයි. මෙම ක්‍රමයෙන්ම අධිෂ්ඨානාර්ථ නිර්දේශයද විස්තර වශයෙන් දතයුතුය. හුදෙක් මෙහි අධිෂ්ඨාන කෙරේ යනු විශේෂයයි. පිහිටයි යන අර්ථයි.
ඝ-ඞ. පරියාදානට්ඨපතිට්ඨාපකට්ඨනිද්දෙසවණ්ණනා
පරියාදානාර්ථ නිර්දේශයෙහි, පරියාදියති යනු ක්‍ෂය කරයි. පතිට්ඨාපනාර්ථ නිර්දේශයෙහි, සද්ධො සද්ධින්‍ද්‍රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු ශ්‍රද්ධා සම්පන්න පුද්ගල තෙමේ, සියලු සංස්කාර, අනිත්‍යය, දුක්ය, අනාත්මයැයි ස්ථිර ලෙස සිතා ගනුයේ, ශ්‍රද්ධෙන්‍ද්‍රිය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි. මෙම පුද්ගල විශේෂයෙන් ඉන්‍ද්‍රිය භාවනා විශේෂය නිර්දේශිතය. සද්ධස්ස සද්ධින්‍ද්‍රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති යනු එම ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයාගේ ශ්‍රද්ධෙන්‍ද්‍රිය එම ශ්‍රද්ධායෙහිම එසේ ස්ථිර ලෙස පිහිටුවනුයේ අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි. මෙයින් ඉන්‍ද්‍රිය භාවනා විශේෂයෙන් පුද්ගල විශේෂය. නිර්දේශිතය. මෙසේ සිත ඔසවා තබනුයේ, ප්‍රග්‍රහණයෙහි පිහිටුවයි. සිහිය අරමුණට එළඹවනුයේ, එළඹවීමෙහි පිහිටුවයි. සිත මනාව තැන්පත් කරුනයේ අවික්‍ෂෙපයෙහි පිහිටුවයි. අනිත්‍යය, දුක්ය, අනාත්මයැයි දක්නේ දර්ශනයෙහි පිහිටුවයි යයි සෙස්සෙහිද යෙදීම් දතයුත්තාහ. යොගාවචරො යනු සමථ යෝගයෙහිද, විදර්ශනා යෝගයෙහිද හැසිරේනුයි යෝගාවචරොයි, අවචරති යනු පිවිස හැසිරෙයි යනුයි.