සාක්‍ෂාත් කළයුතු නිර්දේශ වර්ණනාව
ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිර්දේශයෙහි එකින් එක වැඩිවන දස විසඳුම් ප්‍රතිලාභ ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් කියන ලදි. එහි අකුප්පා චෙතො විමුත්ති යනු අර්හත්ඵල විමුක්තියයි. එය වෙනස් නොවේ. නොසෙල්වේ. නොපිරිහේනුයි අකුප්පායි. සියලු කෙලෙසුන්ගෙන් සිත මිදුණු හෙයින් චෙතො විමුත්තියි කියයි. විජ්ජා යනු ත්‍රිවිද්‍යායි. විමුත්ති යනු, දසුත්තර පර්යායෙන් අර්හත්ඵලය කියන ලදි. සංගීති පර්යායයෙන් වනාහි, විමුක්ති යනු සිතෙහි අධිෂ්ඨානයද නිර්වාණයද යන ද්වි විමුක්තීන්ය. මෙහි අටසමවත් නීවරණාදීන්ගෙන් මනාව මිදුණු හෙයින් විමුක්ති නම් වේ. තිස්සො විජ්ජා යනු පූර්වේනිවාසානුස්මෘති ඤාණ විද්‍යාව, සත්ත්වයින්ගේ චුති-උත්පත්ති දැනීමෙහි ඤාණ විද්‍යාව, ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙහි ඤාණ විද්‍යාව වේ. අඳුර විදින අර්ථයෙන් විද්‍යායි. පැහැදිලි කරන අර්ථයෙන්ද විද්‍යායි. පූර්වේනිවාසානුස්සති ඤාණය උපදිනුයේ, පූර්ව නිවාසයන් වසා සිටි අඳුර විදියි. පෙර නිවාසයන්ද ප්‍රකට කෙරේනුයි විද්‍යායි. චුතූපපාත ඤාණය චුති-ප්‍රතිසන්ධි වැසීම කරන අඳුර විඳියි. චුති-උත්පත්ති ප්‍රකට කෙරේනුයි විද්‍යායි. ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙහි ඤාණය සිවුසස් වසන අඳුර විදියි. සිවුසස් දම් ප්‍රකට කෙරේනුයි විද්‍යායි. චත්තාරි සාමඤ්ඤඵලානි යනු සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් ඵලයන්ය. දුශ්චරිත ධර්මයන් සමනය කරයි, විනාශ කරයිනුයි = සමණොයි. ශ්‍රමණයාගේ ස්වභාවය සාමඤ්ඤයි. සතර ආර්ය මාර්ගයන්ට මෙය නාමයකි. ශ්‍රාමණ්‍යයාගේ ඵල = ශ්‍රාමණ්‍යඵලයි.
පඤ්ච ධම්මක්ඛන්‍ධා යනු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශණ ස්කන්ධයෝය. ධර්ම ස්කන්ධ යනු, ධර්ම බෙදීම්, ධර්ම කොටස්ය. සීලස්කන්ධාදීන්හිද මෙම ක්‍රමයමැයි. ලෞකික ලෝකෝත්තර සීල, සමාධි, ප්‍රඥාම, සීල, සමාධි, ප්‍රඥා ස්කන්ධයෝය. සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ විමුක්තීම, විමුක්ති ස්කන්ධයයි ත්‍රිවිධ විමුක්තියෙහි ප්‍රත්‍යවේක්‍ෂණයම විමුක්ති ඤාණ දර්ශන ස්කන්ධයයි. එය ලෞකිකමය. දැනීම් අර්ථයෙන් ඤාණයම දර්ශනාර්ථයෙන් දැකීමනුයි = ඤාණ දර්ශනයි. විමුක්තීන්ගේ ඤාණ දර්ශනය = විමුක්ති ඤාණ දර්ශනයයි කියයි. විෂ්කම්භන, තදංග විමුක්තීහු වනාහි සමාධි ප්‍රඥා ස්කන්ධයන්හිම සංගෘහිතයි. මේ පස් ආකාර ධර්ම ස්කන්ධයන් ශෛක්‍ෂ්‍යයින්ට ශෛක්‍ෂ්‍ය වශයෙන්ද, අශෛක්‍ෂ්‍යයින්ට අශෛක්‍ෂ්‍ය වශයෙන්ද කියන ලදි. ඡ අභිඤ්ඤා යනු ෂඩාදික ඤාණය, කවර සයෙක්ද යත්? සෘද්ධිවිධ ඤාණය, දිව්‍යස්‍රෝත ධාතු ඤාණය, පූර්වේනිවාසානුස්මෘති ඤාණය, චෙතො පරියාය ඤාණය, දිව්‍යචක්‍ෂු ඤාණය, ආස්‍රවක්‍ෂයකර ඤාණය යන මේ සයයි.
සත්ත ඛීණාසවබලානි යනු ක්‍ෂීණ වූ ආස්‍රවයෝ මොහුටනුයි = ඛීණාසවොයි. ක්‍ෂීණාස්‍රවයාගේ බල ක්‍ෂීණාස්‍රව බලයන්ය. කවර සතක්ද? බුදුරදුන් විසින් වදාරන ලදි –
මහණෙනි, මේ සාසනයෙහි ක්‍ෂීණාස්‍රව භික්‍ෂුව විසින් සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් තත්ත්වාකාරයෙන් නිවැරදි නුවණින් මනාව දක්නා ලද්දේ වෙත්ද? මහණෙනි, යම් ඒ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් සියලු සංස්කාර අනිත්‍ය වශයෙන්, නිවැරදි නුවණින්, මනාව දක්නා ලද්දේ වෙත්ද? යම් බලයකට පැමිණ ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව මාගේ ආස්‍රව ක්‍ෂය වූයේ යයි ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිගනීද? මෙයද මහණෙනි, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.
මහණෙනි, නැවතද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව විසින් කාමයන් ගිනිඅඟුරු වළකට සමානයයි තත්ත්වාකාරයෙන් නිවැරදි නුවණින් මනාව දක්නා ලද්දේ වෙත්ද? මහණෙනි යම් ඒ -පෙ- මහණෙනි, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.
මහණෙනි, නැවතද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ සිත විවේක නිම්න වේද, විවේකයෙහි සිත අලවා ගත්තේ වේද? විවේකයෙහි සිත නැමුණේ වේද, විවේකයෙහි සිටියේ වේද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ වේද? ආස්‍රවයන් හටගන්නා ධර්මයන් විනාශ කරන ලද්දේ වේද, මහණෙනි යම් ඒ -පෙ- මහෙණනි, මෙයද ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවගේ බලයක් වේ.