1. ශ්‍රැතමය ඥාන නිර්දේශ වර්ණනාව
විස්සජ්ජනුද්දෙසවණ්ණනා
දැන් තබන ලද කෙටි විස්තරයෙන් ඇතුළත් කරන ලද ධර්මයන් ප්‍රභේද වශයෙන් දක්වන්ට, කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං ආදි විස්තර වාරය අරඹන ලදි. එහි සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං වශයෙන් යමක් කියන ලද්දේද, එය කෙසේ වේද? මෙය කියනු කැමති විමසීමයි. ප්‍රශ්න කිරීම් පස්වැදෑරුම්ය. නුදුටු දේ ප්‍රකට කිරීම, දුටු දේ සංසන්දනය කිරීම, සැක දුරුකිරීම (සිඳීම) අනුමත කිරීම, විස්තර වශයෙන් කියනු කැමැත්ත යන පස් ආකාරයෙන් ප්‍රශ්න විචාරයි. මේ එහි නානාප්‍රකාරයයි.
එහි නුදුටු දේ ප්‍රකට කිරීමෙහි ප්‍රශ්න විචාරීම කවරේද? මුල් ස්වභාවය නොදක්නා ලද්දේ, සමාන නොකළේ, තීරණය නොකළේ, ප්‍රකට නොවූයේ, පැහැදිලි නොවූයේ නොදත්තේ වේද, එය නුවණින් දැකීම පිණිස, ප්‍රකට කිරීම පිණිස පැහැදිලි කිරීම පිණිස ප්‍රශ්න විචාරයිද, මෙය නුදුටු මුල් ස්වභාවය ප්‍රකට කිරීමෙහි ප්‍රශ්න විචාරයයි.
දුටු දේ සංසන්දනය කිරීමේ ප්‍රශ්න විචාරීම කවරේද? මුල් ස්වභාවය දක්නා ලද්දේ සමාන කළේ, තීරණය කළේ, ප්‍රකට වූයේ, පැහැදිලි වූයේ, දැනගත්තේ වේද, එය අනෙක් පණ්ඩිතයන් සමග සැසඳීම සඳහා ප්‍රශ්න විචාරීමයි. මෙය දුටු දේ සංසන්දනය කිරීමේ ප්‍රශ්න විචාරීමයි.
සැක සිඳලීමෙහි ප්‍රශ්න විචාරය කවරේද? ප්‍රකෘතියෙන් සැකයට නැඹුරුවූයේ, විමතියට නැඹුරුවූයේ මෙසේමද? නොවේද? කුමක්නම් වේද? කෙසේනම් වේදැයි සැකයෙන් යුක්ත වේද? හෙතෙම සැක සිඳලීම පිණිස ප්‍රශ්න විචාරයි. මේ සැක සිඳලීම සඳහා කරන ප්‍රශ්න විචාරීමයි. අනුමත ප්‍රශ්න විචාරය කවරේද? බුදුරදුන් භික්‍ෂූන්ගේ අනුමතියෙන් (එකඟතාවයෙන්) ප්‍රශ්න විචාරයි.
මහණෙනි, නුඹලා එය කුමක්යයි හඟීද? රූපය නිත්‍ය හෝ අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි, යමක් අනිත්‍යයද? එය දුකද? නැතහොත් සැපද? දුකයි ස්වාමීනි. යමක් වනාහි අනිත්‍යද? දුකද? වෙනස්වන සුලුද? එය මගේය. ඒ මම වෙමි. ඒ මගේ ආත්මයයි මනාසේ බලන්ට සුදුසුද? ස්වාමීනි, එසේ නොබැලිය යුතුය. මේ එකඟතාවයෙන් ප්‍රශ්න විචාරීමයි.
කියනු කැමැත්තෙන් ප්‍රශ්න විචාරීම කවරේද? භාග්‍යවතුන් වහන්සේ කියනු කැමැත්තෙන් භික්‍ෂූන්ට ප්‍රශ්න යොමුකරත්. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක්ද? මේ කියනු කැමැත්තෙන් ප්‍රශ්න විචාරීමයි. ඒවා අතර මේ තෙරුන්ගේ ථෙතුකම්‍යතා ප්‍රශ්න විචාරීමයයි යූසේයි.
මාතෘකා කෙටි විස්තරයෙහි, කියනු කැමති ප්‍රශ්න කිරීමෙන් මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි කන් යොමුකිරීම එය දැනගැනීමෙහි ප්‍රඥාව සුතමයෙ ඤාණයයි ආදී සොළොස් විසඳන උද්දේසයයි. එහි ඉමෙධම්මා අභිඤ්ඤෙය්‍යා යන මෙහි දේශනා කරන්නහුගේ යනු පාඨශේෂයි. මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි ශාස්තෲන් වහන්සේගේ හෝ වෙනත් ගරුකටයුතු සබ්‍රම්සර තෙර කෙනෙකුන් හෝ ධර්මය දෙසන කල්හි පෙර කියන ලද පරිදි, කන් යොමුකොට ඇසීම සෝතාවධානයයි. එය අවබෝධ කිරීමේ ප්‍රඥාව, ඒ ශ්‍රවණයෙහි පිළිවෙල දැනීම, පිරිසිඳ දැනීමේ ප්‍රඥාව සුතමයෙ ඤාණයයි අර්ථයි. තස්ස පජානනා තං පජානනා වශයෙන් ඡට්ඨි විභක්ති සමාසයයි. තං පජානනාති යන මෙහි විභක්ති විපර්යාස වශයෙන් සම්බන්ධ කිරීමේ අර්ථයෙහි යොදා ඇත. අභිඤ්ඤෙය්‍ය යනු ස්වභාව ලක්‍ෂණ අවබෝධ කිරීම් වශයෙන් යහපත් ආකාරයෙන් යයි දැනගත යුතුය. පරිඤ්ඤෙය්‍ය යනු සමාන ලක්‍ෂණ අවබෝධ කිරීම් වශයෙන්ද, කෘත්‍ය නිමාකිරීම් වශයෙන්ද, තීරණයකොට දතයුතුය. භාවෙතබ්බා යනු වැඩිය යුතුය යන අර්ථයි. සච්ඡිකාතබ්බා යනු ප්‍රත්‍යක්‍ෂ කළයුතුය. ලැබීමේ අවබෝධය, අරමුණු කිරීමේ අවබෝධ යයි ප්‍රත්‍යක්‍ෂය දෙයාකාරය. විරුද්ධ ධර්මයන් තමා තුළ හැසිරීම් වශයෙන් පිරිහීම් සංඛ්‍යාත හානිය භජනය කෙරේනුයි හානභාගියි ඊට අනුකූලවන අයුරින් සිහිය පිහිටුවීම වශයෙන් සිටීම භජනය කෙරේනුයි ඨිති භාගිය නම් වේ. මත්තෙහි විශේෂයෙන් අවබෝධ කිරීම් වශයෙන් විශේෂතාවයක් භජනය කෙරේනුයි විසේසභාගි යි. නොකැඩුණු, නොපැළුණු, ලෝභස්කන්ධය, ද්වේෂ ස්කන්ධය, මෝහ ස්කන්ධය කඩාදමයි. පළා දමයිනුයි ආර්ය මාර්ගය නිබ්බෙධයි. සංවේගී සංඥා මනසිකාරයන්ගේ හැසිරීම් වශයෙන් ඒ තියුණු අවබෝධය භජනය කෙරේනුයි නිබ්බෙධභාගියි.
සබ්බෙ සංඛාරා යනු හේතු සහිත සියලු ධර්මයි. ඒවා හේතුවකින් හටගත් සංස්කාරයි. හේතූන් එක්වී කෙරේනුයි සංස්කාර නම් වේ. ඒවාම ප්‍රත්‍යයන් එක්රැස්ව කරන ලද හෙයින් සංඛතයයි විශේෂකොට කියන ලදි. කර්මයෙන් හටගත් සියලු ත්‍රෛභූමික රූපාරූප ධර්ම අභිසංඛත සංඛාරයයි අර්ථකථාවන්හි කියන ලද්දේය. ඒවාද ‘සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය, ආදී තන්හි සංඛත සංස්කාරයන්හි සංග්‍රහයට යෙත්. ‘මහණෙනි, මේ අවිද්‍යාවෙන් මැඩුණු පුද්ගලයා පුණ්‍යමය වූ සංස්කාරයන් රැස් කෙරේ ආදීන්හි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආවා වූ ත්‍රෛභූමික කුසලාකුසල චේතනා රැස්කිරීමේ සංස්කාරයි. අභිසංස්කාරයන්ගේ උත්පත්ති කොපමණද, එපමණ ගොස් රෝද සිඳුනා මෙන් සිටින්නෙහි යනාදී තන්හි කායික චෛතසික වීර්යය ප්‍රයෝගාභිසංස්කාර; ‘ඇවැත්නි විසාඛය, සංඥා වේදයිත නිරෝධයට සමවන් භික්‍ෂුවගේ වචී සංඛාරය පළමුව නිරුද්ධ වේ. ඉන්පසු කාය සංඛාරයයි. ඉන්පසු චිත්ත සංඛාරයයි. මේ ආදී තන්හි විතර්ක විචාර වචනය රැස්කෙරෙත්නුයි වචී සංඛාරයි. ආස්වාස-ප්‍රස්වාස කයෙන් රැස්කරනු ලැබෙත්නුයි කාය සංඛාරයි. හැඟීමත්-දැනීමත් සිතෙන් රැස්කරනු ලැබෙත්නුයි-චිත්ත සංඛාරයි. මෙහි ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාරය අදහස් කරන ලදි.