වැඩිය යුතු නිර්දේශ වර්ණනාව
පහාතබ්බ නිර්දේශයෙහි, අස්මිමානො යනු රූපාදී පඤ්ච උපාදානස්කන්ධයන්හි මම වෙමියි මැනීමයි. එය ප්‍රහීණ වූ කල්හි අර්හත්වයට පැමිණියේ වෙයි. රූපරාගාදී සෙසු දෑ විද්‍යමාන කල්හිද ඒවා නොකියා අස්මි මානයම කියන ලද්දේ දෘෂ්ටියෝග්‍යතාවයෙන් එහි දෘඪ ගතිය නිසායයි දතයුතුය. අවිජ්ජා යනු, සූත්‍රාන්ත ක්‍රමයෙන් දුක්ඛාදී සතර ස්ථානයන්හි නොදැනීමයි. අභිධර්ම ක්‍රමයෙන් පූර්වාන්තාදීන් ඇතුළු අටෙහි නොදැනීමයි. කියන ලද්දේමය.
එහි අවිද්‍යාව කවරේද? දුකෙහි නොදැනීම, දුක හටගැනීමෙහි නොදැනීම, දුක් නිරෝධයෙහි නොදැනීම, දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම, පූර්වාන්තයෙහි නොදැනීම, අපරාන්තයෙහි නොදැනීම, පූර්වාපරන්තයන්හි නොදැනීම මේ හේතුවෙන් හටගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි නොදැනීම වේ.
භවතණ්හා යනු කාමාදී භවයන්හි ප්‍රාර්ථනයයි. දෙසූ පරිදි,
එහි භව තණ්හාව කවරේද? භවයන්හි යම් භව කැමැත්තක්, භව ඇල්මක්, භව තෘෂ්ණාවක්, භව ස්නේහයක්, භව තදින් අල්ලා ගැනීමක්, භව බලවත් ඇල්මක් වේද ඒවා වෙයි.
තිස්සො තණ්හා යනු, කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණායි. ඒවා අභිධර්මයෙහි මෙසේ නිර්දේශ කරන ලදි. එහි භව තෘෂ්ණාව කවරේද? භව දෘෂ්ටි සහගත රාගයයි. -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය භව තෘෂ්ණාව යයි කියනු ලැබේ. එහි විභව තෘෂ්ණාව කවරේද? නැවත, නොඉපදීම් දෘෂ්ටියෙන් යුත් රාගයයි -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය විභව තෘෂ්ණාවයයි කියනු ලැබේ. සෙසු තෘෂ්ණා කාම තෘෂ්ණායි. එහි කාම තෘෂ්ණාව කවරෙක්ද? කාමධාතුව හා එකට යෙදුණු රාගයයි -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය කාම තෘෂ්ණාවයයි කියනු ලැබේ. එහි භව තෘෂ්ණාව කවරේද? රූපධාතු අරූපධාතු හා එකට යෙදුණු රාගයයි. -පෙ- එහි විභව තෘෂ්ණාව කවරේද? නැවත නොඉපදීම් දෘෂ්ටියෙන් යුත් රාගයයි. -පෙ-
අටුවාවන්හි වනාහි පංචකාම ගුණයෙන් යුත් රාගය කාම තෘෂ්ණාවයි. රූප-අරූප භවයන්හි රාගය, ධ්‍යානයෙහි බලවත් ආශාව, ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු රාගය, භව වශයෙන් ප්‍රාර්ථනය භව තෘෂ්ණාවයි. උච්ඡෙද දෘෂ්ටිය හා එකට යෙදුණු රාගය විභව තෘෂ්ණාවයයි කියන ලදි. සංගීති ක්‍රමයෙන් හා අභිධර්ම ක්‍රමයෙන් වෙනත් ත්‍රිවිධ තෘෂ්ණාවකි. කාම, රූප, අරූප තෘෂ්ණා. වෙනත් ත්‍රිවිධ තෘෂ්ණාවකි. රූප, අරූප, නිරෝධ තෘෂ්ණා. තෘෂ්ණාවද මෙහි යෙදේ. ඒවාහි පංචකාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව හා එකට යෙදී ඇත. අන්තයෙහි තෘෂ්ණාව උච්ඡෙද දෘෂ්ටිය හා බැඳී පවතී.
චත්තාරො ඔඝා යනු කාමඕඝ, භවඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ වශයෙනි. යමෙකුට මේවා විද්‍යමාන වේද, ඔහු සසර ගමන නමැති සැඩපහරට හසුවෙයි. හසුව ගිලාබස්වතීනුයි ඕඝයි. බලවත් කෙලෙස් පංචකාම ගුණ සංඛ්‍යාත කාම සැඩපහරනුයි කාමෝඝයි. කාම තෘෂ්ණාවට මෙය නමකි. රූප, අරූප සංඛ්‍යාත කර්ම, උත්පත්ති යන දෙවැදෑරුම් භවයන්හි ඕඝයනුයි-භවොඝයි. භව තෘෂ්ණාවට මෙය නමකි. දෘෂ්ටියම ඕඝයනුයි දෘෂ්ටි ඕඝයි. ලෝකය සදාකාලිකය ආදී වශයෙන් පවත්නා දෘෂ්ටියට මෙය නමකි. අවිද්‍යාවම ඕඝය වූයේ = අවිද්‍යා ඕඝයි. දුක් ආදීන්හි නොදැනීමට මෙය නමකි.
පඤ්ච නීවරණානි යනු කාමච්ඡන්‍ද ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණයි. සිත වළක්වයි. හාත්පසින් වසාගනියිනුයි නීවරණයි. කැමති වන්නේනුයි කාමායි. පංචකාමයන්ය = කාම වස්තූන්හි කැමැත්ත - කාමච්ඡන්‍දයයි. කැමැති වන්නේනුයි - කාමොයි. කාමයම කැමැත්ත වූයේ, කරනු කැමැත්තෙහි ඡන්දය නොවූයේ, ධර්මයෙහි කැමැත්ත නොවූයේ නුයි = කාමච්ඡන්‍දයයි. කාම තෘෂ්ණාවට එය නමකි. එයින් සිත කුණු වූ බවට පත්කරයි. විපතට පමුණුවයි. විනය, ආචාරධර්ම, රූසපුව, හිතසුව යනාදීන්ට බාධා පමුණුවයි නුයි = ව්‍යාපාදයි. ද්වේෂයට එය නමකි. මැලිබව ථීනයයි. අකර්මණ්‍යත්වය මිද්ධයි. මන්දෝත්සාහීව හැකිලීම, නොඇල්මෙන් වන විපත යන අර්ථයි. සිතෙහි උත්සාහවත් නොවන භාවය ථීනයි. චෛතසිකයන්ගේ අකර්මණ්‍යතාවය (පසුබැස්ම) මිද්ධයි. ථීනයද, මිද්ධයද = ථීනමිද්ධයි. නොසන්සුන්තාවයෙහි ස්වභාවය = උද්ධච්චයි. නොසන්සිඳුණු බව යන අර්ථයි. කලබලකාරී ස්වභාවයට මේ නමකි. පිළිකුල්ව කරන ලද්දේ = කුකතයි. පිළිකුල්ව කරන ලද්දෙහි ස්වභාවය කුක්කච්චංයි. ගර්හා කළයුතු ක්‍රියා ස්වභාවය යන අර්ථයි. පසුතැවිල්ලට මෙය නමකි. පහවූ ප්‍රතිකාර ඇත්තේනුයි = විචිකිච්ඡායි. (අරමුණු නිශ්චය කරගැනීමෙහි අසමර්තායෙන් පිළියම් කටැටි නොවන රෝගයක් මෙන් දුස්සාධ්‍ය වූ සැකකිරීම ලක්‍ෂණකොට ඇති ධර්මයකි.) පහවූ ප්‍රඥා ඇත්තේය යන අර්ථයි. සත්‍ය ස්වභාවය සොයන්නේ මෙයින් කරදරයට පත්වේ. වෙහෙසෙයිනුයි = විචිකිච්ඡායි. බුද්ධාදී අටතැන්හි සැක කිරීමට මෙය නමකි. කාමච්ඡන්‍දයම නීවරණයක් වූයේ නුයි = කාමච්ඡන්‍ද නීවරණයි. සෙස්සෙහිද මෙසේයි.