පරිඤ්ඤෙය්ය නිර්දේශ වර්ණනාව
පරිඤ්ඤෙය්ය නිර්දේශයෙහි, පරිඤ්ඤා ශබ්දයෙන්, ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා යයි තෙවැදෑරුම් පරිඤ්ඤා සංගෘහිතයි යට අභිඤ්ඤෙය්ය යන්නෙන් ඤාත පරිඥාව ගැන කියන ලද හෙයින්ද මතුයෙහි ප්රහාණ කළයුතු යයි ප්රහාණ පරිඥාව ගැන කියන ලද හෙයින්, මෙහි තීරණ පරිඥාවම අදහස් කරන ලදි. ඵස්සො සාසවො උපාදානියො යනු ආස්රවයන්ටද, උපාදානයන්ටද ප්රත්යය වූ ත්රෛභූමික ස්පර්ශයයි. එය තමා අරමුණුකොට පවත්නා ආස්රවයන් සමගනුයි - සාසවොයි. අරමුණු ස්වභාවයට එළඹ උපාදාන හා සම්බන්ධ වීමෙන් උපාදානයන්ට හිතවත්නුයි උපාදානයෝයි. තීරණ පරිඥාවෙන් ස්පර්ශය දත්කල්හි ස්පර්ශය ප්රධාන සෙසු අරූප ධර්මයන්ද, ඒ අනුසාරයෙන් රූපධර්ම දත්තේ වේ. එහෙයින් එකම ස්පර්ශය කියන ලදි. මෙසේ සෙස්සෙහිද සුදුසු පරිදි යෙදිය යුතුය.
නාමං යනු සතර අරූප ස්කන්ධයන්ද, නිර්වාණයද වේ. රූපං යනු සතර මහා භූත රූපද, සතර මහාභූත රූපයන්ට උපාදාය වූ රූප සූවිස්සද වේ. සතර ස්කන්ධ නැමෙන අර්ථයෙන් නාමයි. ඒවා අරමුණට අභිමුඛව නැමෙයි. සියල්ලම නැමෙන අර්ථයෙන් නාමයි. සතර ස්කන්ධයෝ අරමුණෙහි ඔවුනොවුහු නැමෙති. නිර්වාණය, ආරම්මණ, ආරම්මණාධිපති ප්රත්යය තාවයෙන් තමා කෙරෙහි පැවති නිවැරදි ධර්මයන් නමයි. නොකඩවා පැවතීම් වශයෙන්ද, සීතාදියෙන් වෙනස්වන අර්ථයෙන්ද රූපයි. රුප්පනට්ඨෙන යනු, කිපීම් අර්ථයෙන්, පැවැත්මේ වෙනස්වීම් වශයෙන් සීත ආදියෙන් ගැටෙන ස්වභාවය රූපයයි කියයි. මෙහි නාමය යනු ලෞකික දෙයම අදහස් කරන ලදි. රූපය ඒකාන්තයෙන්ම ලෞකිකය.
තිස්සො වෙදනා යනු, සුඛ, දුක්ඛ, උපේක්සා යන වේදනාවය. ඒවා ලෞකිකමය. ආහාරා යනු, ප්රත්යයයි. ප්රත්යයෝ වනාහි තමාගේ ඵලය ගෙන එත්නුයි = ආහාරයි. කබලිංකාර, ඵස්ස, මනො සඤ්චෙතනා, විඤ්ඤාණ වශයෙන් එය සතරකි. වස්තු වශයෙන්, පිඩු කළයුතු හෙයින්ද, පිඬු වශයෙන් ගිලදැමිය යුතු හෙයින්ද කබලිංකාරාහාරයි. බත් පිට්ටු ආදී මූලාධාරයන්ගෙන් හටගත් ඕජාවට මෙය නමකි. ඒවා ඕජෂ්ටමක රූප උපදවයි නුයි = ආහාරයි. චක්ෂු ස්පර්ශාදී සවැදෑරුම් ස්පර්ශයන්ද, ත්රිවිධ වේදනා ගෙන එයිනුයි ආහාරයි. සිතෙහි සිතිවිල්ල = මනො සංචෙතනායි. සිතෙහි ඒකාග්රතාව - චිත්තෙකාග්රතාව මෙනි. මනසෙහි හෝ ඒ හා යෙදුණු සිතිවිලි - මනෝ සංචේතනායි. ආජානීය අසුන් යෙදූ රථය - ආජඤ්ඤ රථයයි කියන්නාක් මෙනි. ත්රෛභූමික කුසලා කුසල චේතනාවන්ය. එය ත්රිවිධ භවයන් ගෙන ඒනුයි - ආහාරයි. විඤ්ඤාණං යනු එකුන්විසි ආකාර ප්රතිසන්ධි විඤ්ඤාණයයි. එය ප්රතිසන්ධි නමැති රූපය ගෙන එයිනුයි - ආහාරයි. උපාදානක්ඛන්ධා යනු, උපාදාන ගොදුරුකොට ඇති ස්කන්ධයන්ය. මධ්ය පාදයෙහි ලෝපය දතයුතුය. උපාදානයෙන් හටගත් ස්කන්ධ = උපාදානස්කන්ධයි. තණ (කොල) ගින්න දහයියා ගින්න යම්සේද, එසේය. උපාදානයන්ට යටහත්ව පවත්නා ස්කන්ධ උපාදානස්කන්ධයි. රාජ පුරුෂයන් මෙනි. උපාදානයන්ගෙන් හටගත් වූ ස්කන්ධ උපාදාන ස්කන්ධයි. මල් වෘක්ෂය ඵල වෘක්ෂය මෙනි. උපාදාන, කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාදූපාදාන වශයෙන් සතරකි. අර්ථ වශයෙන්, තදින් අල්ලා ගනීනුයි උපාදානයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වශයෙන්ද පහකි.
ඡ අජ්ඣත්තිකානි ආයතනානීති යනු, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ආයතන සයයි.
සත්ත විඤ්ඤාණට්ඨිතියො යනු කවර සතක්ද? භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි,
මහණෙනි, නානාප්රකාර ශරීර ඇති නානාප්රකාර හැඟීම් ඇති, සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, මිනිස්සු, සමහර දෙවිවරු, සමහර විනිපාතික අසුරයෝ, මේ පළමු විඤ්ඤාණ ස්ථිතියයි.
මහණෙනි, නානාප්රකාර ශරීර ඇති ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ප්රථමයෙන් උපන් බ්රහ්මකායික දෙවියෝ, මේ දෙවන විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, එක් ආකාර ශරීර ඇති නානාප්රකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ආභස්සර දෙවියෝ, මේ තෙවන විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, ඒකාකාර ශරීර ඇති, ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, සුභකිණ්හක දෙවියෝ. මේ සතරවන විඤ්ඤාණ ස්ථිතියයි.
මහණෙනි, සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, කෝප සංඥා නැති කිරීමෙන් විවිධාකාර සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්ත යයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ පස්වන විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සවන විඤ්ඤාණස්ථිතියයි.
මහෙණනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, මේ සත් විඤ්ඤාණස්ථිතීහු වෙති. විඤ්ඤාණ සහිත ස්කන්ධයෝය. එහි සෙය්යථාපි යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයි. මනුස්සා යනු, අප්රමාණ චක්රවාටයන්හි අප්රමාණ මනුෂ්යයින්ගේ වර්ණ හැඩරුව ආදී වශයෙන් එක සමාන දෙදෙනෙක් නැත. යමෙක් වර්ණ හැඩරුව ආදියෙන් සමාන වූවාහු වෙත්ද, ඔවුන් අතරද ඉදිරිය. වටපිටාව බැලීමෙහිදී සමාන නොවෙති. ඔවුන්ගේ, ත්රිහේතුක, ද්විහේතුක, අහේතුකයෝද වෙති. එහෙයින් විවිධ හැඳිනීම්යයි යූ.සේයි. එකච්චෙ දෙවා යනු, සවැදෑරුම් කාමාවචර දෙවියෝය. ඔවුන් අතර සමහරුන්ගේ ශරීර නිල්වන්ය. සමහරුන්ගේ කහ ආදී වර්ණයෝය. ඔවුන්ගේ ත්රිහේතුක, ද්විහේතුක අය සිටිති. අහේතුක අය නොවෙති. එකච්චෙච විනිපාතිකා යනු සතර අපායෙන් මිදුණු, පුනබ්බසුමාතා යක්ෂණිය, ප්රියංකර මාතාව, ඵුස්සමිත්තා, ධම්මගුත්තා යනාදීහුද, අනෙකුත් විමාන ප්රේතයෝද වෙති. මොවුන් අතරද, සුදු, කලු, කළු රන්වන්, කලු වර්ණ වශයෙන්ද, කෘශ-ස්ථූල, මිටි, උස වශයෙන්ද, ශරීර විවිධාකාර වෙයි. මිනිසුන්ට මෙන් ත්රිහේතුක, ද්විහේතුක, අහේතුක වශයෙන් සංඥාවෝද වෙති. ඔවුහු දෙවිවරුන් මෙන් මහේශාඛ්ය නොවෙති. දිළිඳු මිනිසුන් මෙන් අල්පේශාක්යය. දුර්ලභ කෑම්-ඇඳීම් ඇත්තාහු දුකින් පීඩිතව වාසය කරති. සමහරු කළුවර අඩමසෙහි දුකට පත්වූවාහු, සඳ ඇති අඩමසෙහි සුවපත් වූවාහු වෙති. එහෙයින් සුව හටගැනීමෙන් විවසව පතිත වන හෙයින්, විනිපාතික යයි යූ.සේයි. මෙහි යමෙක් ත්රිහේතුක වෙත්ද? ඔවුන්ට පියංකර මාතාවන්ට මෙන් මාර්ගඵල ප්රතිලාභයද වෙයි.