අභිඤ්ඤෙය්‍ය නිර්දේශ වර්ණනාව
දැන්, විසඳුම්, උදෙසීම් ඇතුළත් ධර්මයන් විවිධාකාරයෙන් දැක්වීමට ‘කථං ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්‍යාති’ ආදී නිර්දේශ වාරයෙහි අරඹන ලදි. එහි අභිඤ්ඤෙය්‍ය නිර්දේශාදී, පංචකයෙහි, මුලින් එක එක ආදි වශයෙන් දස දස විසඳුම් දසුත්තර පර්යායයෙන් සංසන්දනය කොට දක්වන ලදහ. ඔවුන් අතරෙහි අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි, පළමුකොට සබ්බෙ සත්තා යන්නේ කාමභවයන්හිද, සඤ්ඤා භවයන්හිද, ඒකවෝකාර භවාදි සියලු භවයන්හි සියලු සත්ත්වයෝ, ආහාරට්ඨිතිකා යනු ආහාරයෙන් පැවැත්ම මොවුන්ටනුයි ආහාරට්ඨිතිකයි. ඨිති යනු (ස්වකීය) ඒ මොහොතෙහි පැවැත්ම අදහස් කරන ලදි. (ආහාර ශක්තිය) මෙසේ, සියලු සත්ත්වයින්ගේ ජීවත්ව සිටීමේ හේතුව ආහාරය නම් වූ එක් කරුණකියි අධික වූ ඤාණයෙන් දතයුතුය. ප්‍රත්‍යයන් දැනගත් කල්හි ප්‍රත්‍යයෙන් හටගත් දෙයද දැනගත්තේ වේ. දෙදෙනාටම (දෙකටම) ඔවුනොවුන් අපේක්‍ෂා කරන හෙයිනි. මෙයින් විශේෂ දැනීම කියන ලද්දේ වෙයි. මෙසේ ඇතිකල්හි අසඤ්ඤසත්ත දෙවියෝ අහේතුකය. ආහාර රහිතය. ස්පර්ශ රහිතය ආදිය කියන ලද්දේ නොවේද? එය එකඟ නොවේද? එහි විරුද්ධතාවයක් නොමැත. ඔවුන්ට ධ්‍යානය ආහාරයයි. මෙසේ ඇති කල්හිද, මහණෙනි, මේ ආහාර සතර වර්ගයක් අමනුෂ්‍යයන්ගේ හෝ සත්ත්වයින්ගේ, භවය සොයා පැමිණෙන්නන්ගේ පැවතීමට, අනුග්‍රහයට තිබේ. කවර සතරෙක්ද යත්? ගොරෝසු හෝ සියුම් වූ හෝ පිඩු වශයෙන් ගන්නා ආහාරය දෙවැන්න ස්පර්ශයයි. තෙවැන්න මනෝ සංචේතනා ආහාරයයි. සතරවැන්න විඤ්ඤාණාහාරයයි. මෙහි විරුද්ධතාවක් පෙනේද? මෙහිද විරුද්ධතාවක් නොපෙනේ. මෙම සූත්‍රයෙහි වෙනසක් නොමැතිව ආහාර ස්වභාව ඇති සියල්ල ආහාරයයි කියන ලදි. ප්‍රත්‍ය වන ආකාරයෙන් ආහාරයයි කියති. සියලු හේතුවකින් හටගත් ධර්මයන්ට ප්‍රත්‍යය ලැබිය යුතුය. යමෙක් යම් යම් ඵලයක් උපදවයිද? ඒ ඒ දෙය ගෙන එන්නේ නම් වේ. එහෙයින් ආහාරයයි කියති. එහෙයින් කියන ලදි;
මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි වදාරමි. ආහාර නොමැතිව නොවේ. මහණෙනි, අවිද්‍යාවගේ ආහාරය කුමක්ද? පංච නිර්වාණයයිම කිවයුතුය. මහණෙනි, මම පංච නීවරණද ආහාරයන් සහිත වදාරමි. ආහාර නොමැතිව නොවේ. මහණෙනි, පංච නීවරණයන්ගේ ආහාරය කවරේද? නුනුවණින් මෙනෙහි කිරීමයයි ඊට කිවයුතුය. මෙහි එය අදහස් කරන ලදි.
මේ ප්‍රත්‍යයාහාර ගත්කල්හි ආකාරවත් ආහාරද වෙනස් නොකළ හැකි ආහාරද යන සියල්ලම ගන්නා ලද්දේම වේ.
අසඤ්ඤසත්ත භවයෙහි ප්‍රත්‍යාහාර ලැබේ. බුදුවරුන් නූපදිනා කාලයන්හි තීර්ථක අසුපවල පැවිදි වී වායොකසිණ පරිකර්මකොට චතුර්ථ ධ්‍යානය උපදවා, ඉන් නැගිට සිතට නින්දාවේවා. සිතට නින්දා වේවා. සිතෙහි අභාවයම යහපති. සිත නිසා වධ බන්‍ධනාදීන්ට හේතුවූ දුක් උපදියි. සිත නොමැති කල්හි එය නැතැයි සිතෙහි අභාවය පිළිබඳ කැමැත්ත රුචිය උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ කළුරියකොට අසඤ්ඤ භවයෙහි උපදිත්. යමෙක් යම් ඉරියව්වකින් මිනිස්ලොව පිහිටා සිටියේ වූයේද? හෙතෙම ඒ ඉරියව්වෙන්ම ඉපදී කල්ප පන්සියයක් සිටියි. එතෙක් දීර්ඝ කාලයක් වැදහෝනේ හෝ හිඳගෙන හෝ සිටියේ හෝ වෙයි. මෙබඳු සත්ත්වයින්ට ප්‍රත්‍යයාහාරය ලැබෙයි. ඔවුන් විසින් යම් ධ්‍යානයක් වඩා උපන්නාහු වෙත්ද? එයම ඔවුන්ට ප්‍රත්‍යය වේ. දුන්නෙහි වේගයෙන් යවන ලද හීය, දුන්නෙහි වේගය යම් පමණ තිබේද එතෙක් යයි. එසේම ධ්‍යානයෙහි උපකාරය යම් පමණ සිටීද (තිබේද) එම වේගය නිමිකල්හි, වේගය හීන වූ හීය මෙන් වැටේ.
යම් ඒ නිරයෙහි උපන් සත්ත්ව කෙනෙක් වෙත්ද ඔවුහු උත්සාහයෙන් ජීවත්වන්නෝද, පින් පලයෙන් ජීවත් වන්නෝද නොවෙති. ඔවුන්ට කවර ආහාරයක් ලැබේද? ඔවුන්ට කර්මයම ආහාරයයි. කිමෙක්ද ආහාර පසක් ඇත්ද? පහක්, පහක් නොවේයයි මෙය නොකිවයුතුය. ප්‍රත්‍යය ආහාරයයි කියන ලද්දේ නොවේද? යම් කර්මයකින් ඔවුහු නිරයෙහි උපන්නාහුද එයම ඔවුන්ට එහි සිටීමට ප්‍රත්‍ය ප්‍රත්‍යය වන හෙයින් ආහාරයි. යමක් සඳහා මෙය කියන ලද්දේද? එම පාපකර්මය යම්තාක් කල් අවසන් වීමක් නොවේද? එතෙක් කාලක්‍රියා නොකරයි. එහෙයින් ආහාරයෙන් සිටී. ප්‍රත්‍යයෙන් සිටීයයි අර්ථයයි. පිඩුකොට ගනු ලබන ආහාරය සඳහායයි මෙහිදී විවාදයක් නොකළ යුතුය. මුඛයෙහි හටගත් කෙළද ඔවුන්ගේ අහරකිස ඉටුකරයි. කෙළ වනාහි නිරයෙහි දුක් වේදනාකාරීව ප්‍රත්‍යය වේ. ස්වර්ගයෙහි සුවවේදනාකාරීව ප්‍රත්‍යය වේ. කාම භවයෙහි වෙනස් නොකළ හැකි ආහාර සතරෙකි. රූපාරූප භවයන් අතර අසඤ්ඤ භවය හැර අනෙක් ඒවායින් තුනකි. අසඤ්ඤයන්ටද සෙස්සන්ටද ප්‍රත්‍යයාහාරයයි. මෙම ආහාරයෙන් සියලු සත්ත්වයෝ ජීවත්ව සිටිත්නුයි ආහාරට්ඨිතිකයි.