පඤ්ච විමුත්තායතනානීති යනු තමාගේ හිතසුව සඳහා අනුන් විසින් පවත්වන දම්දෙසීම් ශ්‍රවණය කිරීම, අනුන්ගේ හිතසුව සඳහා තමා විසින් ඇසූ ධර්මය දේශනා කිරීම, ඇසූ ධර්මය ඒ අනුව සජ්ඣායනා කිරීම (කීම) ඇසූ ධර්මය සිතින් නැවත නැවත කල්පනා කිරීම. කසිණ අසුභාදි සුදුසු අරමුණු ගැනීම, මේ කරුණු පස සසරින් මිදීමට හේතුවෙයි. ධර්මය දැනගත්තේද වේ. දෙසූ පරිදි,
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකුන් හෝ ධර්මය දේශනා කෙරේද? මහණෙනි, ඒ භික්‍ෂුවට යම් යම් ආකාරයකින් ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර හෝ ධර්මය දේශනා කෙරේද? ඒ ඒ අයුරින් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථ අවබෝධ කරන්නේද වේ. ධර්ම කරුණු අවබෝධ කරන්නේද වේ. අර්ථ අවබෝධ කරන්නා වූද, ධර්ම කරුණු අවබෝධ කරන්නා වූද ඔහුට ප්‍රමෝදය හටගනී. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය හටගනී. ප්‍රීතිය ඇති ඔහුගේ ශරීරය සන්සුන් වෙයි. සන්සුන් සිරුරු ඇත්තේ සුව විඳියි. සුවපත් වූවහුගේ සිත සමාධිගත වෙයි. මේ පළමු විමුක්තියට හේතුවන කරුණයි.
නැවතද මහණෙනි, ඒ භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකුන් ධර්මය දේශනා නොකරයි. නමුත් අසන ලද පරිද්දෙන් උගත් අයුරින් විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, ඒ භික්‍ෂුවට යම් යම් පරිද්දෙන් -පෙ- සුවපත් වූයේ, සිත සමාධිගත වේ. මේ දෙවන විමුක්තියට හේතුවන කරුණයි.
නැවතද මහණෙනි, ඒ භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකු ධර්මය දේශනා නොකරයි. අසන ලද පරිද්දෙන්, උගත් පරිද්දෙන් අනුන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා නොකරයි. එසේද වුවත්, අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් ධර්මය සජ්ඣායනා (කියවීම) කරයි. මහණෙනි, යම් යම් පරිද්දෙන් ඒ භික්‍ෂුවට -පෙ- සුවපත් වූවහුගේ සිත සමාධිගත වෙයි. මේ තුන්වන විමුක්තියට හේතුවන කරුණයි.
මහණෙනි, නැවතද භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය සබ්‍රම්සර තෙර කෙනෙකු ධර්මය දේශනා නොකරති. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා නොකරයි. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. එසේ වූයේ වී නමුත් සිතින් ධර්මය මෙනෙහි කරයි. සිතා බලයි. සිතින් විශේෂයෙන් බලයි. මහණෙනි, ඒ භික්‍ෂුවට යම් යම් පරිද්දෙකින් -පෙ- සුවපත් වූවහුගේ සිත සමාධිගත වේ. මේ සතරවන මිදීමේ කරුණයි.
නැවතද මහණෙනි, භික්‍ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය ගුරුතන්හිලා සලකන සබ්‍රම්සර තෙර කෙනෙකු හෝ ධර්මය දේශනා නොකරත්. අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකරයි. අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය සිතින් මෙනෙහි නොකරයි. සිතින් සිතා නොබලයි. සිතින් විශේෂයෙන් නොබලයි. එසේද වුවත් එක්තරා සමාධියට හේතුවන කරුණක් නුවණින් මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරන ලද්දේ වෙයි. මහණෙනි, ඒ භික්‍ෂුවට යම් යම් අයුරකින් එක්තරා සමාධියට හේතුවන කරුණක්, නුවණින් මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරන ලද්දේ, මනාව සිත්හි දරාගන්නා ලද්දේ, මනාව අවබෝධ කරන ලද්දේ වෙයි. ඒ ඒ අයුරින් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථ අවබෝධ කරන්නේද, ධර්මය අවබෝධ කරන්නේද වේ. අර්ථය අවබෝධ කරන්නා වූද, ධර්මය අවබෝධ කරන්නා වූද ඔහුට ප්‍රමෝදය හටගනී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනී. ප්‍රීතිය ඇතියහුගේ සිත සන්සුන් වේ. සන්සුන් ශරීර ඇත්තේ සුවවිඳියි. සුවපත් වූවහුගේ සිත සමාධිගත වේ. මේ පස්වන මිදීමේ කරුණයි.
ඡ අනුත්තරියානී යන මෙහි ඒවාට වඩා ශ්‍රේෂ්ඨ වූවක් නැත්තේනුයි අනුත්තර නම් වේ. ඉතා ශ්‍රේෂ්ඨ වූයේම=අනුත්තරානි නමි. ප්‍රධානීහුය යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි;
මහණෙනි, මේ ශ්‍රේෂ්ඨතා සයකි. කවර සයෙක්ද යත්? දැකීමේ ශ්‍රේෂ්ඨතාව, ශ්‍රවණයෙහි ශ්‍රේෂ්ඨතාව, ලාභයෙහි ශ්‍රේෂ්ඨතාව, පුහුණුවේ ශ්‍රේෂ්ඨතාව, සේවය කිරීමේ ශ්‍රේෂ්ඨතාව, සිහිකිරීමේ ශ්‍රේෂ්ඨතාව යන සයයි.
මහණෙනි, දැකීමේ ශ්‍රේෂ්ඨතාව කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් හස්තිරත්නයද දැකීමට යයි. අශ්ව රත්නයද දැකීමට යයි. මැණික් රත්නයද දැකීමට යයි. උසස් පහත් නොයෙක් දේ දැකීමට යයි. වැරදි මගට පිළිපන්, වැරදි දෘෂ්ටි ගත් මහණ බමුණන් දැකීමට යයි. මහණෙනි, එහි දර්ශනයක් තිබේද? එය දර්ශනයක් නොවේ. දර්ශනයක් නැතැයි වදාරමි. මහණෙනි, ඒ දර්ශනය වනාහි පහත්ය. ග්‍රාම්‍යය. පෘථග්ජනයන්ට අයත්ය. අනාර්යය. අවැඩ පිණිස පවතී. කලකිරීම සඳහා නොපවතී. විරාගය සඳහා නොපවතී. විශිෂ්ට ඥානය සඳහා නොපවතී. අවබෝධය සඳහා නොපවතී. නිවන සඳහා නොපවතී. මහණෙනි, යම්කිසිවෙක්, පිහිටුවා ගත් ශ්‍රද්ධා ඇති, පිහිටුවා ගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය (මනා ප්‍රසන්නතාවකින් යුත්) තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ දැක්මට යේද? මහණෙනි, මෙය දර්ශනයන් අතර උසස්ය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා සෝක වැළපීම් ඉක්මවීම් සඳහා, දුක් දොම්නස් විනාශ කිරීමට, සත්‍ය මාර්ග අවබෝධය සඳහා නිර්වාණය සාක්‍ෂාත් කිරීම පිණිස පවතී. පිහිටුවා ගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවා ගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත් යම් ඒ තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දැක්මට යේද? මහණෙනි, මෙය දස්සනානුත්තරිය යයි කියයි. මෙසේ දස්සනානුත්තරියයි.