චතුරාර්ය සත්යය ප්රකීර්ණක වර්ණනාව
සිවු සස්හි දුක්ඛ සත්යය පීඩාකිරීම් ලක්ෂණකොට ඇත්තේය. සමුදය සත්යය හටගැනීම් ලක්ෂණකොට ඇත්තේය. නිරෝධ සත්යය සන්සිඳීම් ලක්ෂණකොට ඇත්තේය. මාර්ග සත්යය පමුණුවන ලක්ෂණ ඇත්තේය. පැවැත්ම-පැවැත්වීම, නැවැත්ම, නැවැත්වීම, යන ලක්ෂණ පිළිවෙළින් වේ. ප්රත්යයෙන් හටගත්, තෘෂ්ණා, ප්රත්යයෙන් හටනොගත්, දර්ශන යන ලක්ෂණද වේ.
කවර හෙයින් අඩු-වැඩි නොවූ ආර්ය සත්යය සතරක්ම වූයේද යත්, අනෙකක හටගැනීමක් නොවන හෙයින්ද, ඉවත් කළයුතු අන්යයක්හි අභාවය හෙයින්ද වේ. මේවායින් අන්ය, අධිකයක් හෝ මේවායෙහි ඉවත් කළයුතු එකක් හෝ නොලැබේ. දෙසූ පරිදි,
මහණෙනි, මෙලොව ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ශ්රමණ භවත් ගෞතමයන් විසින් දෙසන ලද එය දුක්ඛාර්ය සත්යය නොවේ. දුක්ඛාර්ය සත්යය අනෙකකියි කීමට එන්නේද? (ඉදිරිපත් වන්නේද) මම එම ආර්ය සත්යය අත්හැර වෙනත් දුක්ඛාර්ය සත්යයක් පණවන්නෙමියි යන එම කරුණ විද්යමාන නොවෙයි ආදියයි.
දෙසූ පරිදි :-
මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් මෙසේ කියන්නේය. ශ්රමණ ගෞතමයන් විසින් දේශනා කරන ලද, එය ප්රථම දුක්ඛාර්ය සත්යය නොවේ. මම ඒ ප්රථම දුක්ඛාර්ය සත්යය ප්රතික්ෂෙප කොට, අන්ය ප්රථම දුක්ඛාර්ය සත්යයක් පණවන්නෙමියි යන එම කරුණ විද්යමාන නොවේ ආදියයි.
තවද, භාග්යවතුන් වහන්සේ පැවැත්ම දේශනා කරන්නේ හේතු සහිතව දේශනා කළ සේක. නැවැත්මද උපාය සහිතවය. මෙසේ පැවැත්ම, නැවැත්ම යන එම ද්වයයෙහි හේතූන්ගේ වශයෙන් එය උතුම්කොට සතරක්ම දෙසූහ. එසේම දතයුතු, ප්රහාණය කළයුතු, අවබෝධ කටයුතු, වැඩිය යුතු වශයෙන්ද, තෘෂ්ණාවට හේතු, තෘෂ්ණාව, තෘෂ්ණා නිරෝධය, තෘෂ්ණා නිරෝධ උපාය වශයෙන්ද, තෘෂ්ණාව, තෘෂ්ණාවෙහි තදින් ඇල්ම, තෘෂ්ණා විනාශය, තෘෂ්ණා විනාශ උපායයන්ගේ වශයෙන්ද, සතරෙක්ම දෙසන ලද්දේමය.
මෙහිද, දළ බැවින්ද, සියලු සත්ත්වයින්ට සාධාරණ හෙයින්ද අවබෝධය පහසුවන හෙයින්ද, දුක්ඛ සත්යය පළමුවද, එම දුකෙහිම හේතු දැක්වීම සඳහා ඉන් අනතුරුව සමුදය සත්යයද හේතු නැවැත්මෙන් ඵල නැවැත්ම වේයයි අවබෝධ කරවීමට ඉන්පසු නිරෝධ සත්යයද, එය අවබෝධ කිරීමේ ක්රමෝපාය දුක්වීම සඳහා අවසානයෙහි මාර්ග සත්යයද දෙසන ලදී. භව සුව රස විඳීමෙහි තදින් ඇලුණු සත්ත්වයින්ට, බිය ඇතිකරලීම සඳහා පළමුව දුකද, එය ස්වයං සිද්ධව නොඑයි. ඊශ්වර නිර්මාණාදියකින්ද නොවෙයි. මෙකරුණෙන් වේයයි අවබෝධ කරවීමට ඉන් අනතුරුව සමුදයද, එම හේතු සහිත දුකින් මැඩුණු හෙයින් බියෙන් ඇලලුණු මනසින් යුත්, දුකින් නික්මීම සොයන්නවුනට, දුකින් නිදහස්වීම දැක්වීමෙන්, සැනසිල්ල ඇතිකරලීම සඳහා නිරෝධයද, ඉන් නිරෝධයට පැමිණීම සඳහා නිරෝධයට පමුණුවන මාර්ගයයි දේශනා කළේය. මේ ඒවායෙහි ක්රමයයි.
ඒවාහි දුක්ඛ සත්යය බරක් මෙන් දතයුතුය. සමුදය සත්යය බර අල්ලාගැන්ම මෙනි. නිරෝධ සත්යය බර අත්හැර දමන්නාක් වැනිය. බර අත්හැර දමන උපාය මාර්ගය මෙනි මාර්ග සත්යය, දුක්ඛ සත්යය රෝගයක් මෙනි. සමුදය සත්යය රෝග නිදානයක් මෙනි. නිරෝධ සත්යය රෝග සන්සිඳීමක් මෙනි. මාර්ග සත්යය බෙහෙදක් මෙනි. දුක්ඛ සත්යය දුර්භික්ෂයක් මෙනි. සමුදය සත්යය නොමනා වැස්සක් මෙනි. නිරෝධ සත්යය සශ්රීකයක් මෙනි. මාර්ග සත්යය මහා වර්ෂාපතනයක් මෙනි. තවද, සතුරා සතුරුකම, සතුරා නැසීම, සතුරා නසන උපාය මාර්ගයන් වශයෙන්ද, විෂ රුක, රුක්මුල, මුල් සිඳීම, මුල් සිඳිනා උපාය මාර්ගයන් වශයෙන්ද, බිය, බියෙහි හේතුව, නිර්භයතාවය, එයට පැමිණීමේ උපාය මාර්ගය වශයෙන්ද මෙතෙර, සැඩදිය පහර, පරතෙර, එතෙරට පමුණුවන උත්සාහයක් වශයෙන්දැයි මේවා යොදා උපමා වශයෙන් දතයුත්තාහ.
මෙහි සියලුම සත්යයෝ පරමාර්ථ වශයෙන් විඳින, කරන, නිවුණු, ගමන්කරන පුද්ගලයෙකුගේ අභාවයෙන් ශූන්යයයි දතයුත්තාහ. එහෙයින් මෙය කියනු ලැබේ.
දුක්ඛමෙවහි න කොචි දුක්ඛිතො - කාරකො න කිරියාච විජ්ජති,
අත්ථි නිබ්බුති න නිබ්බුතො පුමා- මග්ගමත්ථි ගමකො න විජ්ජති’ති
අත්ථි නිබ්බුති න නිබ්බුතො පුමා- මග්ගමත්ථි ගමකො න විජ්ජති’ති
දුකක් පමණක් ඇත. දුකට පත්වූවෙක් නැත. කරන්නෙක් නැත. ක්රියාවක් පමණක් ඇත. නිවීමක් ඇත. නිවුණු පුද්ගලයෙක් නැත. මාර්ගයක් ඇත. ගමන් කරන්නෙක් නැත.
තවද,
ධුවසුභ සුඛත්ත සුඤ්ඤං - පුරිමද්වය මත්ත සුඤ්ඤ මමත පදං,
ධුව සුඛ අත්තරහිතො - මග්ගො ඉති සුඤ්ඤතා තෙසු
ධුව සුඛ අත්තරහිතො - මග්ගො ඉති සුඤ්ඤතා තෙසු
ප්රථම ද්වයය ස්ථිර, ශුභ, සුව, ආත්ම ශූන්යයි නිවන ආත්ම ශූන්යයි. මාර්ගය ස්ථිර, සුව, ආත්ම රහිතයි. ඒවාහි ශූන්යතාවය මෙසේයි.
නිරෝධය ස්ථිර, ශුභ,-සුව යන ත්රයයෙක් ශූන්යයි. නිරෝධයද, සෙසු ත්රයයද ඵල ශූන්යයි. මෙහි දුකෙහි හේතු හටගැනීමෙහි අභාව හෙයින් මාර්ගයෙහිද නිරෝධයෙහිද අභාවය වේ. ප්රකෘතිවාදීන්ගේ ප්රකෘතිය මෙන් ඵලයෙන් අන්තර්ගතය විනාශ නොවේ. ඵලය හේතුයෙන් ශූන්යය වනවිට දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගයන්ගේ එක්තැන් වීම නොවේ. හේතුඵලය හේතුවට සම නොවේය යන්න හේතුඵල සමවාය වාදීන්ගේ අනුකද්වයාදිය මෙනි.