මාර්ග සත්‍ය නිර්දේශ වර්ණණාව
මාර්ග සත්‍යය නිර්දේශයෙහි අයමෙව යනු අන්‍ය මාර්ගයන් ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා නියම කිරීමයි. අරියො යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් කෙරෙන් දුර හෙයින්ද, ආර්ය භාවය ඇතිකරන හෙයින්ද, ආර්යඵල ප්‍රතිලාභ කරන හෙයින්ද අරියො(යි) අෂ්ඨාංගයක් මෙයටනුයි අට්ඨංගිකො(යි). ඒ මෙය චතුරංගික සේනාව මෙන්ද පංචාංගික තූර්යයන් මෙන්ද, අංග (කොටස්) මාත්‍රයම වේ. අංගයන්ගෙන් තොර වූයේ නැත.
දැන් අංග මාත්‍රයම මාර්ගයයි. අංග විනිර්මුක්තව නැතැයි දක්වන්නේ සම්මා දිට්ඨිං -පෙ- සම්මා සමාධි ආදිය වදාළහ. එහි මනාව දක්නා ලක්‍ෂණ සම්මා දිට්ඨියි. මනාව සිත අරමුණට යොමුකිරීම් ලක්‍ෂණය. සම්මා සංකප්පොයි. මනාව අල්වාගැනීම් ලක්‍ෂණය සම්මා වාචායි. මනාව හටගන්වන ලක්‍ෂණය සම්මා කම්මන්තොයි. මනාව පිරිසිදු කරවීම ලක්‍ෂණය සම්මා ආජීවොයි. මනාව උත්සාහ කිරීම් ලක්‍ෂණය සම්මා වායාමොයි. මනාව වැටහෙන ලක්‍ෂණය සම්මා සතියි. මනාව එකඟ කිරීම් ලක්‍ෂණය සම්මා සමාධියි. ඔවුනතර එක එකට ත්‍රය ත්‍රය බැගින් කෘත්‍යයෝ වෙති. සම්‍යග් දෘෂ්ටිය පළමුව අනෙකුත් තමාට විරුද්ධ ධර්මයන් සමග මිථ්‍යාදෘෂ්ටිය දුරුකරයි. නිර්වාණයද අරමුණු කරයි. ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද බලයි. එය වසන මෝහය විනාශ කිරීම් වශයෙන් නුමුලාවීම් වශයෙන්ද ක්‍රියා කරයි. සම්‍යග් සංකල්පාදීහුද එසේම මිථ්‍යා සංකල්පාදීන්ද දුරුකරත්. නිවණද අරමුණු කරත්. විශේෂයෙන් වනාහි මෙහි සම්‍යග් සංකල්පය ඒ හා සමග උපන් ධර්මයන් අරමුණට යොමුකරයි. සම්‍යග් වචනය මනාව අල්ලා ගනියි. සම්‍යග් කර්මාන්තය මනාව හටගන්වයි. සම්‍යග් ආජීවය මනාව පිරිසිදු කරයි. සම්‍යග් ව්‍යායාමය මනාව පරිග්‍රහණය කරයි. සම්‍යග් ස්මෘතිය මනාව එළඹ සිටී. සම්‍යග් සමාධිය මනාව එක්තැන් කරයි.
තවද, මේ සම්‍යග් දෘෂ්ටි තොමෝ පූර්ව භාගයෙහි නොයෙක් අවස්ථා නොයෙක් අරමුණු වෙයි. මාර්ග කාලයෙහි එක් අවස්ථා එක් අරමුණු වෙයි. කෘත්‍ය වශයෙන් වනාහි දුක්ඛෙ ඤාණං ආදී වශයෙන් සිව්නාමයන් ලබයි. සම්‍යග් සංකල්පාදීහුද පූර්ව භාගයෙහි නොයෙක් අවස්ථා, නොයෙක් අරමුණු වෙති. මාර්ග කාලයෙහි එක් අවස්ථා එක් අරමුණු වෙති. ඔවුන් අතර සම්‍යග් සංකල්පය කෘත්‍ය වශයෙන් නෛෂ්ක්‍රම්‍ය සංකල්පයයි ආදී ත්‍රිවිධ නාමයන් ලබයි. සම්‍යග් වාචාදීත්‍රය පූර්වභාගයෙහි විරතීහුද චෛතසිකද වෙති. මාර්ගක්‍ෂණයෙහි විරතීහුමය. සම්‍යග් ව්‍යායාමය, සම්‍යග් ස්මෘතිය යන මෙම ද්වය කෘත්‍ය වශයෙන්, සම්‍යග් ප්‍රධාන, සතිපට්ඨාන වශයෙන් සිවුනාමයන් ලබයි. සම්‍යග් සමාධිය වනාහි පූර්වභාගයෙහිද මාර්ගක්‍ෂණයෙහිද, සම්‍යග් සමාධියමය.
මේ අටවැදෑරුම් ධර්මයන් අතර නිර්වාණාධිගමය සඳහා පිළිපන් යෝගියාට බොහෝ උපකාරී හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව සම්‍යග් දෘෂ්ටිය දේශනා කරන ලදී. මෙය ප්‍රඥාලෝකයැයිද, ප්‍රඥායුධයැයිද කියන ලදී. එහෙයින් මේ පූර්වභාග විදර්ශනා ඤාණ සංඛ්‍යාත සම්‍යග් දෘෂ්ටියෙන් අවිද්‍යාන්ධකාරය විනාශකොට, කෙලෙස් සොරුන් ඝාතනය කොට, නිර්භයව යෝගාවචරයා නිවණට පැමිණෙයි. එහෙයින් පළමුව සම්‍යග් දෘෂ්ටිය දේශිතය.
සම්‍යක් සංකල්පය වනාහි ඕහට බොහෝ උපකාරීය. එහෙයින් ඉන් අනතුරුව එය යූ.සේයි. යම්සේ රන්කරුවා අතින් පෙරළ පෙරළා ඇසින් කහවණු බලන්නේ මෙය බොරුය. මෙය නිවැරදියයි දැනගනීද, මෙසේ යෝගාවචරයාද, පූර්වභාගයෙහි විතර්කයෙන්, කල්පනා කොට, විදර්ශනා ප්‍රඥාවෙන් බලන්නේ, මේ ධර්ම කාමාවචරය, මේ ධර්ම රූපාවචරාදීන් යයි දැනගනී. යම්සේ වනාහි පුරුෂයෙකු විසින් කෙළවරින් ගෙන පෙරළ පෙරළා දුන් මහරුකෙක් ලී සහින්නා වෑයෙන් සැස වැඩට යොමුකරයිද? මෙසේ විතර්කයෙන් විතර්කනය කොට දුන් ධර්මයන් යෝගාවචරයා ප්‍රඥාවෙන් මේ ධර්ම කාමාවචරය, මේ ධර්ම රූපාවචරයයි ආදී ක්‍රමයෙන් පිරිසිඳ ක්‍රියා සඳහා යොමුකරයි. එහෙයින් සම්‍යග් සංකල්පය සම්‍යග් දෘෂ්ටියට අනතුරුව කියන ලදී.
ඒ මේ සම්‍යග් සංකල්පය සම්‍යග් දෘෂ්ටියට යම්සේද, සම්‍යග් වාචාවටද උපකාරකය. දෙසූ පරිදි, ගෘහපතිය මුලදී කල්පනාකොට, විමසා පසුව වචන බිඳියි. එහෙයින් ඊට අනතුරු සම්‍යග් වචනය කියන ලදී.
යම්සේ වනාහි මේ මේ දෙය කරන්නෙමුයි පළමුව වචනයෙන් සංවිධානකොට ලෝකයෙහි කර්මාන්ත යොදවත්ද, එහෙයින් වචනය කාය කර්මයන්ට උපකාරකයයි සම්‍යග් වචනයට අනතුරුව සම්‍යග් කර්මාන්ත කියන ලදී.