නිරෝධ සත්‍යය නිර්දේශ වර්ණනාව
නිරෝධ සත්‍ය නිර්දේශයෙහි : යො තස්සා යෙව තණ්හාය යන මෙහි, යම් ඒ දුක්ඛයාගේ යයි කිවයුතු වුවත්, යම්හෙයකින් හටගැනීම් නිරෝධයෙන්ම දුක නිරුද්ධ වේ. වෙනත් ක්‍රමයකින් නොවේ. දෙසූ පරිදි
යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ජින්නොපි රුක්ඛො පුනදෙව රූහති,
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තී දුක්ඛමිදං පුනප්පුනං
යම්සේ තදින් මුලට උපද්‍රව නොකළ කල්හි වෘක්‍ෂය සිඳ දැමුයේ වී නමුදු නැවතත් වැඩේද? එපරිද්දෙන්ම සියුම් තෘෂ්ණාවන් නොනැසූ කල්හි මේ දුක නැවත නැවතත් උපදී.
එහෙයින් එම දුක් නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දක්වන්ට මෙසේ වදාළහ. තථාගතවරු සිංමහ සමාන පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරුද්ධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, හේතුයෙහි පිළිපදිත්. ඵලයෙහි නොවේ. අන්‍ය තීර්තකයෝ (ශ්වාන) බලු පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරෝධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, ආත්මය වෙහෙසට පත්කිරීමේ යෝගයෙන්ද, එයටම අදාළ දේශනාවෙන්ද ඵලයෙහි පිළිපදිත්. හේතුයෙහි නොවේ. ශාස්තෲන් වහන්සේ සිංහ සමාන පැවතුම් ඇති හෙයින්ද, හේතුයෙහි පිළිපදින්නාහු යො තස්සායෙව ආදිය වදාළහ. ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝද ශාස්තෲන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලද ක්‍රමයෙන්ම වදාළේය.
එහි, තස්සායෙව තණ්හාය යනු යම් ඒ තෘෂ්ණාවක් වේද, එය පුනර්භවිකයයි කියන ලද්දේ, කාම තෘෂ්ණා වශයෙන් බෙදන ලද්දේ උත්පත්ති විසීම් වශයෙන්ද, යට ප්‍රකාශිත ඒ තෘෂ්ණාවගේම, අසෙස විරාග නිරොධො යනු මාර්ගය විරාගයයි කියනු ලැබේ. විරාගයෙන් මිදේයයි කියන ලදී. විරාගයෙන් නිරෝධය විරාග නිරෝධයයි. අනුසහගත කෙලෙස් උගුලුවා දමන හෙයින් සේස රහිත විරාගනි නිරෝධය = අසෙස විරාග නිරෝධයි. නොහොත් ප්‍රහාණය විරාගයයි කියනු ලැබේ. එහෙයින් සේස රහිත විරාගය සේස රහිත නිරෝධය, මෙසේද මෙහි යෙදුම් දතයුත්තාහුය. අර්ථ වශයෙන් වනාහි මේ සියලුම අසේස විරාග නිරෝධයන් ආදීන් නිර්වාණයටම පර්යාය නාමයෝය. පරමාර්ථ වශයෙන් වනාහි නිර්වාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියනු ලැබේ. යම් හෙයකින් වනාහි, එයට පැමිණ තෘෂ්ණාව අසේසව, තොර වේද, නිරුද්ධ වේද, එහෙයින් එය ඒ තෘෂ්ණාවගේම අසේස විරාග නිරෝධයයි කියනු ලැබේ. නිර්වාණයට පැමිණ තෘෂ්ණාව අත්හරිනු ලැබේද, දුරු කෙරේද? මුදයිද? නොඇලේද? පස්කම් ගුණ ආලයන්හි එකද ආලයක්ද නැත්ද? එහෙයින් නිර්වාණය චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයොයි යූ.සේයි. නිර්වාණය එකක්මය. සියලු සංඛත නාමයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් මෙයට නොයෙක් නම් වෙති. ඒ කවරේද යත්? අසෙස විරාග, අසෙස නිරෝධ, චාග, පටිනිස්සග්ග, මුත්ති, අනාලය, රාගක්ඛය, දොසක්ඛය, මොහක්ඛය, අනුප්පාද, අප්පවත්ත, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්ධි, අනුප්පත්ති, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්‍ධි, අනුප්පත්ති, අගති, අජාත, අජර, අබ්‍යාධි, අමත, අසොක, අපරිදෙව, අනුපායාස, අසංකිලිට්ඨ ආදීහුය. සේස රහිත නොඇල්ම, සේස රහිත නිරුද්ධ කිරීම, අත්හැරීම, දුරුකිරීම, මිදීම, ඇල්ම නැතිකිරීම, ඇල්ම ක්‍ෂය කිරීම, ද්වේෂය ක්‍ෂය කිරීම, මෝහය ක්‍ෂය කිරීම, කෙලෙස් නොඉපදීම, කෙලෙස් නොපැවැත්ම, තෘෂ්ණා නිමිති නොගැනීම, තෘෂ්ණාවන්හි නොපිහිටීම, රැස් නොකිරීම, පිළිසිඳීම් නොමැතිවීම, නොඉපදීම්, පැවැත්ම නොමැතිවීම, නොඉපදීම, ජරාවට පත් නොවීම, ව්‍යාධි නොවීම, නොමැරීම, සෝක නොවීම, නොවැළපීම, බලවත් සිත් තැවුල් නොමැතිවීම, කෙලෙසුන්ගෙන් කිලිටි නොවීම් ආදීහුය.
දැන් මාර්ගයෙන් සිඳ නිවනට අවුත්, නොපැවැත්මට පත්වූද, තෘෂ්ණාවගේ යම් වස්තූන්හි එහි උපත දක්වන ලද්දීද? එහිම අභාවය දක්වන්ට ‘සො ඛා පනෙසා’ යනාදිය වදාළහ. එහි යම්සේ පුරුෂයෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැල දැක අග පටන් මුල සොයා කපන්නේය. ඒ වැල්තොමෝ පිළිවෙළින් මැලවී නොපැවැත්මට යන්නේය. ඉන්පසු ඒ කෙතෙහි තිත්ත ලබුවැල් නිරුද්ධ වූයේ ප්‍රහීණයයි කියන්නේය. එපරිද්දෙන් කෙතෙහි තිත්ත ලබුවැල් මෙන් චක්‍ෂුරාදීන්හි තෘෂ්ණාවක් වේද, ආර්ය මාර්ගයෙන් මුල් සිඳුනා ලද්දී, නිවනට පැමිණ නොපැවැත්මට යෙයි. මෙසේ ගිය වස්තූන්හි කෙතෙහි නොපෙනේ. යම්සේ කැලයෙන් සොරු ගෙනවුත් නගරයෙහි දක්‍ෂිණ ද්වාරයෙහි ඝාතනය කරන්නාහු වෙත්ද? ඉන්පසු කැලයෙහි සොරු මළේයයි හෝ මරණ ලද්දේයයි කියන්නාහුද? එපරිද්දෙන් චක්‍ෂුරාදීන්හි යම් තෘෂ්ණාවක් වන්නීද එය කැලයෙහි සොරුන් මෙනි. නිර්වාණයට පැමිණ කෙලෙස් නිරුද්ධ වූ හෙයින් නිර්වාණයෙහි නිරුද්ධ වූවාහු එය දක්‍ෂිණ ද්වාරයෙහි ඝාතනයට ලක්වූ සොරුන් මෙනි. මෙසේ නිරුද්ධ වූ මේ වස්තූන්හි කැලයෙහි සොරුන් මෙන් පෙනීමක් නොමැත. එහෙයින් එම තෘෂ්ණාවගේ නිරෝධය එහිම දක්වන්නේ, ඇස ලෝකයෙහි ප්‍රිය රූපයකි. සිසිල් රූපයකි. මෙහි ඒ තෘෂ්ණා තොමෝ ප්‍රහීණ වන්නී ප්‍රහීණ වේ යයි ආදිය වදාළහ. නොහොත් පිහිටා සිටීමට ප්‍රතිපක්‍ෂ වශයෙන් නිරුද්ධ වේ.
නිරෝධ සත්‍යය නිර්දේශ වර්ණනාව නිමි.
මාර්ග සත්‍ය නිර්දේශ වර්ණණාව
මාර්ග සත්‍යය නිර්දේශයෙහි අයමෙව යනු අන්‍ය මාර්ගයන් ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා නියම කිරීමයි. අරියො යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් කෙරෙන් දුර හෙයින්ද, ආර්ය භාවය ඇතිකරන හෙයින්ද, ආර්යඵල ප්‍රතිලාභ කරන හෙයින්ද අරියො(යි) අෂ්ඨාංගයක් මෙයටනුයි අට්ඨංගිකො(යි). ඒ මෙය චතුරංගික සේනාව මෙන්ද පංචාංගික තූර්යයන් මෙන්ද, අංග (කොටස්) මාත්‍රයම වේ. අංගයන්ගෙන් තොර වූයේ නැත.
දැන් අංග මාත්‍රයම මාර්ගයයි. අංග විනිර්මුක්තව නැතැයි දක්වන්නේ සම්මා දිට්ඨිං -පෙ- සම්මා සමාධි ආදිය වදාළහ. එහි මනාව දක්නා ලක්‍ෂණ සම්මා දිට්ඨියි. මනාව සිත අරමුණට යොමුකිරීම් ලක්‍ෂණය. සම්මා සංකප්පොයි. මනාව අල්වාගැනීම් ලක්‍ෂණය සම්මා වාචායි. මනාව හටගන්වන ලක්‍ෂණය සම්මා කම්මන්තොයි. මනාව පිරිසිදු කරවීම ලක්‍ෂණය සම්මා ආජීවොයි. මනාව උත්සාහ කිරීම් ලක්‍ෂණය සම්මා වායාමොයි. මනාව වැටහෙන ලක්‍ෂණය සම්මා සතියි. මනාව එකඟ කිරීම් ලක්‍ෂණය සම්මා සමාධියි. ඔවුනතර එක එකට ත්‍රය ත්‍රය බැගින් කෘත්‍යයෝ වෙති. සම්‍යග් දෘෂ්ටිය පළමුව අනෙකුත් තමාට විරුද්ධ ධර්මයන් සමග මිථ්‍යාදෘෂ්ටිය දුරුකරයි. නිර්වාණයද අරමුණු කරයි. ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද බලයි. එය වසන මෝහය විනාශ කිරීම් වශයෙන් නුමුලාවීම් වශයෙන්ද ක්‍රියා කරයි. සම්‍යග් සංකල්පාදීහුද එසේම මිථ්‍යා සංකල්පාදීන්ද දුරුකරත්. නිවණද අරමුණු කරත්. විශේෂයෙන් වනාහි මෙහි සම්‍යග් සංකල්පය ඒ හා සමග උපන් ධර්මයන් අරමුණට යොමුකරයි. සම්‍යග් වචනය මනාව අල්ලා ගනියි. සම්‍යග් කර්මාන්තය මනාව හටගන්වයි. සම්‍යග් ආජීවය මනාව පිරිසිදු කරයි. සම්‍යග් ව්‍යායාමය මනාව පරිග්‍රහණය කරයි. සම්‍යග් ස්මෘතිය මනාව එළඹ සිටී. සම්‍යග් සමාධිය මනාව එක්තැන් කරයි.