නිගමන කථා
මෙපමණකින් ද,
හාරයන් ද න්‍යායන් ද පට්ඨානයන් ද මනා වූ විනිශ්චයකින් බෙදා දක්වමින් නවංගයේ අර්ථ සංවර්ණනාව වූ
ගැඹුරු වූ සියුම් වූ යම් නෙත්තිප්පකරණයක් නුවණැති වූ අර්හත් වූ මහාකච්චායන මහතෙරුන් වහන්සේ දේශනා කළ සේක් ද
සද්ධර්මයට බැසගැනීමට ස්ථානයක් වූ නාග නම් පටුනෙහි වූ ධර්මාශෝක මහාරාජ විහාරයෙහි වාසය කරන මා විසින්
එම නෙත්තිප්පකරණයේ චිරස්ථිතිය සඳහා යම් අර්ථ වර්ණනාවක් (කරන ලද ද) ඒ අර්ථ වර්ණනා තොමෝ සර්වප්‍රකාරයෙන් උදාහරණ සූත්‍රයන්ගේ ද ලක්‍ෂණයන්ගේ ද
අර්ථය ප්‍රකාශ කරන්නී නිරවුල් විනිශ්චය ඇති පෙළින් යුතුව සත්විසි බණවරකින් සමාප්ත විය.
මෙසේ ඒ අර්ථ සංවර්ණනාව සකස් කරන මා විසින් යම් ඒ පිනක් ලබන ලද ද ඒ පුණ්‍යානුභාවයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනයට බැසගෙන, පිරිසිදු වූ ශීලාදී ප්‍රතිපත්තියෙන් සියලු සත්ත්වයෝ විමුක්ති රසයට හිමිකරුවෝ වෙත්වා!
සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයෙහි බොහෝ කාලයක් පවතීවා. සියලු සත්ත්වයෝ නිරන්තරයෙන් ඒ ශාසනය කෙරෙහි ගෞරව සහිත වෙත්වා!
වැස්ස ද සුදුසු කාලයෙහි මනාව වසීවා. සදහම්හි නිරත වූ රජතෙමේ ධර්මයෙන් ම ලොවට අනුශාසනා කෙරේවා.
බදරතීර්ථවාසී ආචාර්ය ධම්මපාල තෙරුන් විසින් කරන ලද
නෙත්තිප්පකරණයෙහි අර්ථ සංවර්ණනාව සමාප්ත විය.