ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා.
අභිධම්ම පිටකය
අත්‍ථසාලිනී නම් වූ
ධම්මසංගණී අටුවාව
ග්‍රන්ථ ආරම්හ කතා
යම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ කරුණාව මෙන්ම ප්‍රඥාවත් රුචි පරිදි සත්ත්වයන් කෙරෙහි මෙන්ම සියලු ඥෙය්‍ය ධර්මයන් කෙරෙහිත් පැවතියේ ද,
සත්ත්වයන් කෙරෙහි වූ ඒ දයාවෙන් උත්සාහවත් කරන ලද සිත් ඇතියේ ප්‍රාතිහාර්ය අවසානයේ දී දෙව්ලොව වැඩසිටින සේක.
පරසතු රුක්මුලෙහි පණ්ඩුකම්බල නම් සෙලසුනෙහි යුගන්ධර පර්වතයෙහි සූර්යයා මෙන් වැඩහුන් සේක්,
දසදහසක් සක්වලින් සර්වප්‍රකාරයෙන්ම පැමිණ හුන් දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව,
මව ප්‍රමුඛ කරගෙන ඇයගේ ප්‍රඥාවෙන් මෙන්ම තේජසින් ද දෙවියන්ට අභිධර්ම කථා මාර්ගය මනාව පැවැත්වූ සේක්ද,
සිරිමත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ පා නැමද, උන්වහන්සේගේ සද්ධර්මයටත් පූජාකොට සංඝයාට ද ඇඳිලි කොට,
රත්නත්‍රයෙහි කරන ලද මේ වන්දනාවේ ආනුභාවයෙන් අන්තරායන් සම්පූර්ණයෙන්ම නැතිකොට,
පිරිසිදු ආචාර්ය සීලයෙන් යුක්ත වූ, සියුම් නිර්මල බුද්ධියෙන් යුක්ත වූ බුද්ධඝෝෂ නම් භික්‍ෂූන් වහන්සේ විසින් විශේෂයෙන් ඉල්ලන ලදුව,
දෙවියන්ට දෙවි වූ විනායක නම් වූ බුදුරජාණන් වහන්සේ යම්හෙයකින් දෙවියන්ට දේසනා කොට නැවත සැරියුත් තෙරුන් වහන්සේට දේසනා කළ සේක් ද,
ඒ තෙරුන් වහන්සේ අනෝතත්ත විලේදී බුදුන්ට උපස්ථාන කොට යම් ධර්මයක් අසා මහී තලයට ගෙනවුත්,
භික්‍ෂූන්ට නැවත දේශනා කළ සේක. මෙසේ භික්‍ෂූන් විසින් දරන ලදුව සංගීති කාලයේ දී නැවත වේදේහ රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී.
උන්වහන්සේගේ ගැඹුරු නුවණින් බැසගන්නා ලද නොයෙක් නයින් විසිතුරු වූ අභිධර්මය පිළිබඳ යම් අර්ථකථාවක් පෙර මුලදී මහා කාශ්‍යප ආදී රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලද ද, ඒ අට්ඨකථාව පසුව ද රහතන් වහන්සේලා විසින් අනුසංගායනා කරන ලදී.
මිහිඳු තෙරුන් වහන්සේ විසින් ඒ උතුම් දිවයිනට (හෙළදිවට) ගෙනෙන ලද ඒ අට්ඨකථාව හෙළදිව් වැසියන්ගේ බසින් මනාව සංස්කරණය කරන ලදී.
ඉක්බිති තම්බපණ්ණි නිවැසියන්ගේ - ලක්වැසියන්ගේ බස ඉවත්කොට දොස් රහිත පාළි භාෂානය අනුව ගිය භාෂාවට - පාළි භාෂාවට නගා
වෙනත් නිකායන්ගේ ලබ්ධීන්ගෙන් මිශ්‍ර නොවූ නිරවුල් වූ මහාවිහාර වාසීන්ගේ විනිශ්චය දක්වමින්
ආගමට්ඨ කථාවන්හි ද ගතයුතු දේ ගෙන බුද්ධිමතුන් සතුටු කරමින් අර්ථ ප්‍රකාශ කරන්නෙමි.
සියලුම කර්මස්ථාන, චර්යා, අභිඥා, විදර්ශනා යන මේ සියල්ල වනාහි යම් හෙයකින් විශුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ කරන ලදී.
එහෙයින් එය නොගෙන මුළු පාළි භාෂාවේම පදක්‍රමය අනුවම අර්ථ වර්ණනාව කරමි.
මෙසේ මා විසින් කියනු ලබන්නා වූ මේ අභිධර්ම අර්ථ කථාව වික්‍ෂිප්ත නොවී අසන්න. මේ කථාව වනාහි දුර්ලභය යනුයි.
නිදානකථා
එහි ‘අභිධම්මෙ’ යනු කවර අර්ථයකින් අභිධර්ම වීද? මෙහි ‘අභි’ ශබ්දය වනාහි ධර්ම අතිරේක ධර්ම විශේෂණාර්ථයෙන් අතිරේක විශේෂාර්ථ දක්වන්නකි. ‘බාළ්හා මෙ දුක්‍ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති’ යම්හෙයකින් ඔසවන ලද බොහෝ ඡත්‍ර අතරෙහි මෙන්ම ධ්වජ අතරෙහි ද ප්‍රමාණයෙන් වැඩි විශේෂ වර්ණ සටහන් ඇති යම් ඡත්‍රයක් වේද, එය ‘අතිඡත්‍රය’ යැයි කියනු ලැබේ. ප්‍රමාණයෙන් වැඩි නොයෙක් පාට - වර්ණ විශේෂයන්ගෙන් යුත් යම් ධ්වජයක් වේද එය ‘අති ධ්වජය’ යැයි කියනු ලැබේ. යම්සේ එකට රැස් වූ බොහෝ රාජ කුමාරවරුන් අතරෙහි මෙන්ම දෙවියන් අතරෙහි ද යමෙක් ජාති -භෝග යස ඉසුරු ආදී සම්පත්තීන්ගෙන් අතිරේකතර මෙන්ම විශේෂවන්තතර වේද ඒ ‘අතිරාජ කුමාරයා’ යැයි කියනු ලැබේ. යමෙක් ආයු-වර්ණ-ඓශ්වර්ය යස සම්පත් ආදියෙන් අතිරේකතර මෙන්ම විශේෂතර වේද, ඒ දෙවියා ‘අතිදේව’ යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ. එබඳු වූ බ්‍රහ්මයා ද ‘අතිබ්‍රහ්ම’ යැයි කියනු ලැබේ. එපරිද්දෙන් යම් ධර්මයක් ධර්මාභිෂේක ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි කියනු ලැබේ.
පංචස්කන්‍ධය වනාහි සූත්‍රාන්තයට පැමිණ ඒකදේශයකින්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි සූත්‍රාන්තභාජනීය, අභිධර්ම භාජනීය ප්‍රශ්න පෘච්ඡක නය වශයෙන් නිෂ්ප්‍රදේශ වශයෙන් බෙදන ලදී. දොළොස් ආයතන, අටළොස් ධාතු. චතුරාර්ය සත්‍යය, දෙවිසි ඉන්‍ද්‍රිය, දොළොස්පදික ප්‍රත්‍යාහාරය යන මේවා ද එසේය. හුදු ඉන්‍ද්‍රිය විභංගයෙහි වනාහි සූත්‍රාන්ත භාජනීය නැත. ප්‍රකරණයෙහි ද ප්‍රශ්න පෘච්ඡකය නැත. සතර සතිපට්ඨානයෝ ද සූත්‍රාන්තයට පැමිණ ඒකදේශ වශයෙන්ම බෙදන ලදහ. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදහ. අභිධර්මයට පැමිණ වනාහි ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදහ. එසේම සතර සම්‍යක්ප්‍රධාන සතර සෘද්ධිපාද, සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතරධ්‍යාන, සතර අප්පමඤ්ඤා, පංචශික්‍ෂාපද, සතර පටිසම්භිදා, ත්‍රිවිධ නය අනුව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. හුදෙක් මෙහි වනාහි ශික්‍ෂාපද විභංගයෙහි සූත්‍රාන්ත භාජනීය නැත. සූත්‍රාන්තයට පැමිණ ද ඥානං ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. ක්ලේශ ද එසේමය. අභිධර්මයට පැමිණ වනාහි ‘එකවිධෙන ඤාණවත්‍ථුං’ ආදී ක්‍රමයෙන් මාතෘකාව නිෂ්ප්‍රදේශ වශයෙන්ම බෙදන ලදී. එසේම ඒකකයේ පටන් නොයෙක් නයින් කෙලෙස් බෙදන ලදී. සූත්‍රාන්තයට පැමිණ ද ගුම්බන්තර පරිච්ඡේදය ඒකදේශ වශයෙන්ම බෙදන ලදී. නිෂ්ප්‍රදේශ වශයෙන් නොබෙදන ලදී. අභිධර්මයට පැමිණ වනාහි ගුම්බන්තර පරිච්ඡේදය ත්‍රිවිධ නය වශයෙන් නිෂ්ප්‍රදේශයෙන්ම බෙදන ලදී. මෙසේ ධර්මාතිරේක වශයෙන්, ධර්ම විශේෂාර්ථයෙන් අභිධර්මය යැයි දතයුතුය.