නෙත්තිප්පකරණ අටුවාව
ග්‍රන්ථ ආරම්භ කතා
ඤෙය්‍ය සාගරයේ පරතෙරට ගිය, සියුම් වූ ගැඹුරු වූ විසිතුරු ක්‍රමයෙන් දහම් දෙසන මහා කාරුණික වූ ලෝකනාථයන් වහන්සේට නමස්කාර කරමි.
විද්‍යාචරණ ගුණයෙන් යුක්ත වූ තැනැත්තෝ යමක් කරණ කොටගෙන මේ ලෝකයෙන් ඉවත්ව යෙත්ද ඒ උතුම් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ධර්මයට නමස්කාර කරමි.
යම්කෙනෙක් සීලාදී ගුණයන්ගෙන් පිරිපුන්ව මාර්ගඵලයන්හි පිහිටියේ ද පුණ්‍යක්‍ෂේත්‍ර වූ අනුත්තර වූ ඒ ආර්ය සංඝයාට නමස්කාර කරමි.
මෙසේ රත්නත්‍රයට නමස්කාර කිරීමෙන් ජනිත වූ යම් පිනක් වේද, එහි ආනුභාවයෙන් සියලු තැන නසන ලද අනතුරු ඇති මම,
සද්ධර්ම නෙත්තියෙහි චිරපැවැත්ම කැමති වූ ධම්මරක්ඛිත නම් තෙරුන් විසින් අයදින ලදුව
පදුමුත්තර ලෝකනාථයන් වහන්සේගේ පාමුල පවත්වන ලද ප්‍රාර්ථනාව බලන්නා වූ යමෙකු වෙත ඒ පදවිය පැමිණියේ ද
තාදී ගුණැති බුදුරදුන් විසින් සංක්‍ෂිප්ත දේශනාව විස්තර විභාග කොට දක්වන්නවුන් අතරින් මේ තෙම අග්‍රයැයි යම් මහාශ්‍රාවක උත්තමයෙක් එතදග්‍රයෙහි පිහිටුවන ලද්දේ ද,
ඒ ෂඩභිඥාලාභී කෙළෙස් වසඟ කළ විශේෂ විභාගයට පැමිණි ප්‍රතිසම්භිදා ඇති මහා කච්චායන තෙරුන් වහන්සේ සම්බුදුරජුන් විසින් පසසනා ලද සේක.
උන්වහන්සේ විසින් දේශනා කරන ලද, ශාස්තෲන් වහන්සේ විසින් අනුමෝදන් වූ යම් නෙත්ති අර්ථ වර්ණනාවක් නවංග සාසනයට සැමදා ඇතුළත් වේද,
එයට ගැඹුරු ඤාණ ශක්තියෙන්ම බැසගත යුතු බැවින් කෙසේ හෝ මේ දුෂ්කර අර්ථ සංවර්ණනය කරන්නට සිතමි.
යම්හෙයකින් ශාස්තෲ ශාසනය අර්ථ සංවර්ණනය සමග පවතී ද, ශ්‍රේෂ්ඨ පූර්වාචාර්යයන්ගේ විනිශ්චය ද පවතීමය.
එහෙයින් ඒ විනිශ්චය ඇසුරුකොට පස් නිකායට ද බැසගෙන ශක්ති පරිදි පේටකෝපදේසය සමගත් සසඳා,
ඉතා පිරිසිදු වූ අසංකීර්ණ වූ සියුම් අර්ථ විනිශ්චයක් ඇති, මහාවිහාර වාසීන්ගේ ඉගැන්වීම් නො ඉක්මවමින්,
ප්‍රමාද ලේඛනයන් (පමා සටහන්) බැහැරකොට මනාව පාලිය යොදමින් උපදේශය බබුළුවමින් මේ අර්ථ වර්ණනාව කරන්නෙමි.
සත්පුරුෂයනි, මෙසේ මා විසින් අසංකීර්ණව අර්ථය බෙදා දක්වන නෙත්තිප්පකරණයට සකසා ඇහුම්කන් දෙවු.
නෙත්ති යන එහි කවරාර්ථයකින් ‘නෙත්ති’ නම් වේද? සද්ධර්මයට පමුණුවන අර්ථයෙන් නෙත්ති නම් වේ. යම්සේ තෘෂ්ණාව සත්ත්වයන්ව කාමාදී භවයට පමුණුවන නිසා භව නෙත්ති යැයි කියනු ලැබේ ද මෙසේ මෙයත් හික්මවිය යුතු සත්ත්වයන් ආර්ය ධර්මය වෙත පමුණුවන නිසා සද්ධර්ම නයනාර්ථයෙන් නෙත්ති යැයි කියනු ලැබේ. නැතහොත් එයින් ගෙනයත් යන අර්ථයෙන් නෙත්ති නම් වේ. ධර්මකථිකයෝ නෙත්තිප්පකරණය කරණ කොටගෙන හික්මවිය යුතු සත්ත්වයන් දර්ශන මාර්ගයට ගෙන යත්, මනාව පමුණුවත් යන අර්ථයයි. මෙහි ‘නීයන්ති’ කියා හෝ ගත හැකි අධිෂ්ඨානභූත වූ මේ නෙත්තිප්පකරණයෙහි හික්මවිය යුත්තන් පිහිටුවා නිර්වාණයට පමුණුවත් යන අර්ථයෙන් නෙත්ති නම් වේ. නෙත්ති උපදේශයන් ඇසුරු කිරීමකින් තොරව සූත්‍ර අර්ථයන් පිළිබඳ අවිපරීත අර්ථාවබෝධයක් නොලැබේ. එහෙයින්ම තස්මා නිබ්බායිතුකාමෙන යනාදිය කියන ලදි. සූත්‍රයන් පිළිබඳ සියලු අර්ථ සංවර්ණනා නෙත්ති උපදේශයන්ට යටත්ය. නෙත්තිය ද සූත්‍රයෙන් පහළ වූවකි. සූත්‍රය සම්මා සම්බුදුන් වෙතින් පහළ වූවකි.
ඒ නෙත්තිප්පකරණ තොමෝ පරිච්ඡේද වශයෙන් තෙවැදෑරුම්ය. හාර පරිච්ඡේද නය පරිච්ඡේද පට්ඨාන පරිච්ඡේද ආදී වශයෙනි. පළමුව හාර විචාරයයි. ඉන්පසු නය විචාරයයි. පසුව පට්ඨාන විචාරයයි. පාලි ව්‍යවස්ථාව අනුව සංගහවාර විභාගවාර වශයෙන් දෙවැදෑරුම් වෙයි. සියලුම නෙත්තිප්පකරණය සංගහ වාර, විභාග වාර වහයෙන් වාර දෙකකටම අයත් වෙයි.
එහි සංගහ වාරය මුලින්ම ගාථා පසකින් ප්‍රමාණ කරන ලද්දේය. සියලු ප්‍රකරණාර්ථය ‘යං ලොකො පූජයතෙ’ ආදී ගාථා පසකින් නොගන්නා ලද්දක් නම් නැත. මෙහි පට්ඨානය සංග්‍රහ කරන ලද්දේ නොවේද? මූල පද ග්‍රහණයෙන් පට්ඨානය සංග්‍රහ කරන ලද බැවින් එය මෙසේ නොදත යුතුයි. එසේම අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බං සතිපට්ඨානෙති යැයි කියනු ලැබේ. මූල පද ස්ථානයෝ අර්ථ ක්‍රම සකසන්නවුන් මෙන් එකිනෙක සංග්‍රහ කරන ලදහ.
විභාගවාරය උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන් තෙවැදෑරුම්ය. ඒවායින් තත්‍ථ කතමෙ සොළස හාරා යනුවෙන් පටන්ගෙන භවන්ති අට්ඨාරස පදානි යන්න දක්වා ඇති කොටස උද්දේස වාරයයි. අස්සාදාදීනවතා යනුවෙන් පටන්ගෙන තෙත්තිංසා එත්තිකා නෙත්ති යන්න දක්වා ඇති කොටස නිද්දේස වාරයයි. පටිනිද්දේස වාරය, හාර විභංග වාරය, හාර සම්පාත වාරය, නය සමුට්ඨාන වාරය, සාසන පට්ඨාන වාරය යනුවෙන් සිව්වැදෑරුම්ය. ඒවා අතරින් තත්‍ථ කතමො දෙසනාහාරො යනුවෙන් පටන්ගෙන අයං පහාණෙන සමාරොපනාති යන්න දක්වා ඇති කොටස හාර විභංග වාරයයි. තත්‍ථ කතමො දෙසනාහාර සම්පාතො යනුවෙන් පටන්ගෙන අනුපාදිසෙසා ච නිබ්බාණ ධාතු යන්න දක්වා ඇති කොටස හාර සම්පාත වාරයයි. මෙහි දී වාර විභංග හාර සම්පාත වාරයන්ගේ වෙනස කුමක්දැයි කීය. කියනු ලැබේ. යම්තැනක නොයෙක් උදාහරණ සූත්‍රයන්ගෙන් එක් හාරයක් දක්වනු ලැබේ ද, මෙය හාරවිභංගවාරය නම් වේ. යම්තැනකදී එක සූත්‍රයක නොයෙක් හාරයන් වැටෙත් ද එය සම්පත්ති වාරය නම් වේ. එය පේටකෝපදේසයෙහි කියන ලද්දේමය.