සංග්‍රහ වාර වර්ණනාව
මෙසේ නන් වැදෑරුම්ව බෙදන ලද නෙත්තිප්පකරණය සංගහවාර විභාගවාර වශයෙන් දෙවැදෑරුම්යැයි කියන ලදි. එහි සංගහවාරය පළමුව එයි. එහි ද යං ලොකෙ පූජයතෙ යන ගාථාව මුලින්ම එයි. එහි යං යනු අනියමාර්ථයේ දුතියා (උපයෝග) විභක්ති නිර්දේශයකි. එහි තස්ස යන මෙයින් නියමය දතයුතුය. ලොකො යනු කර්තෘ නිර්දේශයයි. පූජයතෙ යනු ක්‍රියා නිර්දේශයයි. සලොකපාලො යනු කර්තෘ විශේෂණයයි. සදා යනු කාල නිර්දේශයයි. නමස්සති ච යනු උපචාර වශයෙන් වූ ක්‍රියා නිර්දේශයයි. තස්ස යනු ඡට්ඨි විභක්ති නිර්දේශයයි. ඒතං යනු ප්‍රථමා විභක්ති නිර්දේශයයි. සාසනවරං යනු ප්‍රථමා විභක්ති නිර්දේශයෙන් දක්වන ලද නිදසුනකි. විදූහි යනු කරණ විභක්ති වචනයකින් කර්තෘ දැක්වීමකි. ඤෙය්‍යං යනු කර්මය ගැන කියැවෙන ක්‍රියා නිර්දේශයකි. නර වරස්ස යනු ඔහුගේ යැයි නියමකොට දක්වන ලද පදයට සමාන රූප වහයෙන් දැක්වීමකි.
එහි ලොකියං යනු මෙයයි. මෙහි පින් පව් හෝ ඒවායේ විපාක ඇත යන අර්ථයෙන් ‘ලෝක’ නම් වේ. ප්‍රජාව සත්ත්ව කොට්ඨාශය යන අර්ථයයි. ලෝක ශබ්දය වනාහි ජාති ශබ්දයට සමානව විශේෂයකින් තොරව සත්ත්වයන් හැඳින්වීමට යොදයි. කෙසේ වුවත් ලෝක ශබ්දය සංස්කාරයන් බෙදා දැක්වීම් අර්ථයෙහි ද දක්නා ලද ප්‍රයෝග ඇත්තකි. පූජා කිරීමට හේතුවීම් වශයෙන් සත්ත්වලෝක යන වචනයම මෙහි දී ගන්නා ලදැයි දතයුතුය. පූජයං තෙ යනු පූජා කරයි. බුහුමන් යන අර්ථයයි.
ලෝකය පාලනය කරත්නුයි සිව්මහ රජවරු ලෝකපාල නම් වෙති. ලෝකයා නම් ඉන්ද්‍ර, යම, වරුණ, කුවේර (යන සිව්දෙන) ලෝකපාලකයන් යැයි කියත්. ලෝක පාලකයන් සමග සිටීනුයි සලොකපාලා නමි. ලොකො යන මෙය තුල්‍යාධිකරණයකි. එසේ නැතහොත් ඓශ්වර්ය, ආධිපත්‍ය ආදියෙන් සත්ත්ව ලෝකය පාලනය කරන බැවින් ආරක්ෂා කරන බැවින් ක්‍ෂත්‍රිය සිව්මහ රජවරු ද ශක්‍ර, සුයාම, සන්තුසිත, සුනිම්මිත, පරනිම්මිත වසවර්ති, මහා බ්‍රහ්මාදීහු ද ලෝකපාලයෝය. ඔවුන් සමග වූ ඒ ඒ සත්ත්ව කොට්ඨාස සලොකපාල ලෝක යැයි කියන ලදි. නැතිනම් ‘ද්වෙ මෙ භික්ඛවෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති’ යන බුද්ධ වචනයෙන් හිරි ඔතප් දෙක ලෝක පාලකයෝ වෙත්. ඒවායින් යුක්ත වූ ලෝකය සලොකපාල නමි. හිරි ඔතප් දෙකින් යුත් පාපයන්ට ගර්හා කරන, සත්පුරුෂ වූ බෝසත්වරු ධර්මයට කැමැති ඇති නිසා බුදුවරුන් කෙරෙහි පුදසත්කාර කිරීමෙහි යෙදුණාහු වෙත්.
සදා යනු රෑ ද දහවල ද යන සියලු කාලයයි. එසේ නැතහොත් සදා යනු බුදුරදුන් ධරමාන කාලයේ හා ඉන් පසු කාලයේය. එසේත් නැතිනම් සදා යනු අභිනීහාරයේ (බුදු බව පැතීමේ) පටන් සාසන අන්තර්ධානය දක්වා කාලයත් ඉන්පසු කාලයත්ය. මහාභිනීහාරයේ පටන්ම මහබෝසත්වරු බුද්ධත්වය නියත බැවින් බුද්ධාංකුරයෙක්ව දෙවියන් සහිත ලෝකයට පූජනීය ද වන්දනීය ද වෙත්. සුමේධ තාපස වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ කියන ලද ද ඒ ගාථා මෙසේය.
දීපංකරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො,
මම කම්මං පකිත්තෙත්‍වා දක්ඛිණං පාදමුද්ධරි
මම කම්මං පකිත්තෙත්‍වා දක්ඛිණං පාදමුද්ධරි
යෙ තත්‍ථ ආසුං ජිනපුත්තා සබ්බෙ පදක්ඛිණමකංසු මං,
නරා නාගා ච ගන්‍ධබ්බා අභිවාදෙත්‍වා න පක්කමුං
නරා නාගා ච ගන්‍ධබ්බා අභිවාදෙත්‍වා න පක්කමුං
පූජාවන් පිළිගන්නා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ මගේ ක්‍රියාව ප්‍රකාශ කර මා ප්‍රදක්‍ෂිණා කරමින් වැඩි සේක. එහි සිටි සියලුම බුද්ධ ශ්‍රාවකයෝ ද මා ප්‍රදක්‍ෂිණා කරමින් වැඩි සේක. මිනිස්සු ද නාගයෝ ද ගාන්‍ධර්වයෝ ද මා හට වැඳ පිටත්ව ගියහ.
නමස්සති ච යනු කිසිවෙක් කිසිවෙකුට පූජා සත්කාර ආදිය කරන මුත් ඔවුන්ගේ අප්‍රකට ගුණයට නමස්කාර නොකරත්. භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් එසේ නොවේ. සත්‍ය ලෙසම පැන නැගුණ කීර්ති ශබ්දයක් ඇති බැවින් දෙවියන් සහිත ලෝකයා භාග්‍යවතුන් වහන්සේට පූජා කෙරෙත්. එසේම නමස්කාර ද කෙරෙත් යන අර්ථයයි. සදා නරමනුස්සො යන මෙය යහපත් නොවේ යැයි ඇතැමෙක් කියත්. තස්ස යනු යමෙකුට දෙවියන් සහිත ලෝකයා පූජා කෙරෙත් ද නමස්කාර කෙරෙත් ද ඔහුටය. එතං යනුවෙන් දැන් කිවයුතු බුද්ධියෙහි වෙනස්වීම සාමාන්‍යයෙන් දක්වයි. සාසනවරං යැයි එය ස්වරූප වශයෙන් දක්වයි. එහි මෙලොව, පරලොව පරමාර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයන්ට අනුශාසනය කරයි. මෙයින් (ඔවුන්ව) හික්මවයි යන අර්ථයෙන් සාසන නම් වේ. එයම ඒකාන්ත පැමිණවීම් අර්ථයෙන් අනන්‍ය සාධාරණ ගුණ ඇති බැවින් ද උත්තමාර්ථයෙන් ඒ ඒ පැතුම් සමෘද්ධිමත් වීම් හේතුවෙන් ද පණ්ඩිතයන් විසින් තෝරාගත යුතු බැවින් ද වර නම් වේ. සාසන එව වරං යන්න සාසනවරං නමි. විදූහි යනු යථා ස්වභාවයෙන් කර්මඵලයන් ද කුසලාදී භේදයන් ද ධර්මයන් ද දන්නේනුයි විදූ නමි. (එනම්) පණ්ඩිත මනුෂ්‍යයෝය. ඔවුන් විසින් දතයුතු ඤාණයට සුදුසුය යන අර්ථයෙන් ඤෙය්‍ය යැයි යෙදේ. නරවරස්ස යනු උතුම් පුරුෂයාට, අග්‍ර පුද්ගලයාට යන අර්ථයයි.