1. උද්දේස වාර වර්ණනාව
මෙසේ සංග්‍රහ වාරයෙන් සංක්‍ෂේපව දක්වන ලද හාර ආදිය දැන් (විස්තර) බෙදීම් වශයෙන් දක්වන්නට තත්‍ථ කතමෙ සොළසහාරා යනාදී දේශනාව අරඹන ලද්දේය. එහි තත්‍ථ යනුවෙන් යමක් කියන ලද ද ‘සොළසහාරා නෙත්ති’ යන ඒ වචනයෙහි හෝ ඒ ගාථාවෙහි හෝ යම් හාර නය මූලපදයන් උපුටන ලද නම් ඒවායේ යන අර්ථයයි. කතමෙ යනු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්න කිරීම පස්වැදෑරුම්ය. අදිට්ඨජෝතනා විචාරණය, දිට්ඨ සංසන්දන විචාරණය, විමතිච්ඡෙදනා විචාරණය, අනුමති විචාරණය, කථෙතු කම්‍යතා (කරුණු දක්වනු කැමැත්තෙන් කරන) විචාරණයයි. සොළසා යනු ගණන් වශයෙන් පිරිසිඳ දැක්වීමයි. එම පදයෙන් හාරයන් පිළිබඳ එයින් උඩට හෝ යටට හෝ එකතුවක් නැතැයි ප්‍රමාණයම දක්වයි. ඒ ප්‍රමාණය ද පසුව ප්‍රකට වන්නේය. හාරා යනු ගණන් වශයෙන් පිරිසිඳින ලද දේ සාමාන්‍ය වශයෙන් දැක්වීමයි. දෙසනා විචයො යනාදිය ස්වරූපය දැක්වීමයි.
එහි කවර අර්ථයකින් හාර නම් වේද? සූත්‍ර, ගෙය්‍ය ආදී විෂයයන් පිළිබඳ අඥාන (නොදැනුම්) සැක විපර්යාසයන් යන මේවායින් හෝ මෙහිදී හෝ දුරු කෙරේනුයි යන අර්ථයෙන් හාර නම් වේ. තමන් හෝ ගෙන යයි. නැතහොත් ඒවා හරණ මාත්‍රයක්මය යන අර්ථයෙන් හාර නම් වේ. ඵලූපචාරාර්ථයෙනි. එසේ නැතහොත් ධර්ම සංවර්ණක, ධර්ම ප්‍රතිග්‍රාහකයන් විසින් ධර්ම පිළිබඳ දීම් ගැනීම් වශයෙන් ගෙනයනු ලැබේ. ව්‍යවහාර කරනු ලැබේ යන අර්ථයෙන් හාර නම් වේ. එසේ නැතහොත් හාරයක් මෙන්ය යන අර්ථයෙන් හාර නම් වේ. යම්සේ නොයෙක් රුවන්වැල් සමූහයක් හාර සංඛ්‍යාත වූ තමන්ගේ අවයව වූ රුවන් ස්පර්ශයෙන් හටගනු ලබන ආශ්වාද සැපය බවට පත්වී එය විඳිනු ලබන ජනයාගේ ග්‍රීෂ්ම පරිදාහයෙන් හටගත් ශරීර සන්තාපය සමනය කෙරෙයි ද මෙසේ මෙයින් ද නන්වැදෑරුම් පරමාර්ථ නැමැති රුවන් ප්‍රබන්‍ධ වූ සංවර්ණනා විශේෂයෝ තමාගේ අවයව වූ පරමාර්ථ රත්නාධිගමයෙන් උපදවනු ලබන නිවන් සැපය කාමරාග ආදි කෙලෙස්වලට හේතු වූ ධර්ම ප්‍රතිග්‍රාහක ජනයාගේ සිත්තැවුල් සමනය කෙරේ. එසේ නැතහොත් දුරු කෙරෙත්. අඥානාදීන්ගේ හාරය බැහැර කෙරෙත් හෝ ප්‍රකාශ කෙරෙත් නුයි හාර නම් වේ. එසේ නැතහොත් ශ්‍රාවක ජනයාගේ සිත ගන්නා බැවින් සතුටු කරන බැවින් හාර නම් වේ. ඒ නිරුක්ති න්‍යායයෙහි ‘භවයන්හි වමාරන ලද ගමන් ඇති බැවින් භගවා’ වන ආකාරයෙනි. මේ වනාහි හාරයන්ගේ සාධාරණ වූ අර්ථයයි.
අසාධාරණ වශයෙන් වනාහි මෙයින් සූත්‍රාර්ථය දේශනා කරනු ලැබේ. වර්ණනා කරනු ලබේනුයි දේශනා නම් වේ. දේශනාව සමග එකට හැසිරෙන හෙයින් හෝ දේශනා නමි. අනෙක් හාරයෝ දේශනා සංඛ්‍යාත වූ සූත්‍රයේ අර්ථ සංවර්ණනා කරන හෙයින් දේශනා සහචාරී නොවේ ද? මෙය සත්‍යයකි. මෙම හාරය බොහෝසෙයින්ම පෙර කියන ලද පරිදිම දන්වනු ලබන්නේ දේශනාව සමග හැසිරේනුයි කිය යුතු බවට සුදුසු වේ. එයින් අන්‍ය වූ ආශ්වාද ආදීනව නිස්සරණ ආදී ඉදිරිපත් කිරීම් රහිත වූ සූත්‍ර දේශනාවක් නැත. මේ හාරය ආශ්වාද ආදීනව නිස්සරණ ආදී ඉදිරිපත් කිරීම් විභාවනය කිරීම ලක්‍ෂණ කොට ඇත්තේය.
මෙයින් හෝ මෙහිදී හෝ පද ප්‍රශ්නාදිය විමසනු ලැබේ. නැතහොත් ඒවා පිරික්සනු ලැබේනුයි විචය නම් වේ. පෙළෙහි වනාහි පිරික්සානුයි විචය වේ යන මේ අර්ථය දක්වන ලදි.
යුත්ති යනු පහළවීමයි. සාධන යුක්තියයි. මෙහි වනාහි යුක්ති විචාරණය යුත්ති නමින් ගැනේ. උත්තරපද ලෝපයෙනි. රූපභවො යන්න රූප වන්නා සේය. නැතහොත් යුක්තිය සමග සහචාරී වීමෙනි. මෙහි ද දේශනා හාරයෙහි කී පරිදි අර්ථය විස්තර කළ යුතුය.
පදට්ඨානං යනු ආසන්න කරුණයි. මෙහි ද පදට්ඨාන විචාරණය ආදිය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
මෙයින් හෝ මෙහි හෝ ඒක ලක්‍ෂණ ඇති ධර්ම අභාෂිත වුවත් එකම වචනයෙන් සලකුණු කෙරෙත් නුයි ලක්ඛණ නම් වේ.
මෙයින් හෝ මෙහි හෝ අර්ථයන් විසුරුවා හරී. විභාග වශයෙන් එකතු කෙරේනුයි බ්‍යූහ නම් වේ. නිර්වචනාදී සූත්‍රයෙහි දක්වනු ලබන සතරේ එකතුව චතුබ්‍යූහ නම් වේ.