2. නිද්දේස වාර වර්ණනාව
මෙසේ උදෙසූ කල්හි හාරාදිය නිර්දේශ කරන්නට තත්‍ථ සංඛෙපතො යන ආදිය ආරබ්ධය. එහි තත්‍ථ යනු ඒ උද්දේස පාඨයෙහිය. සංඛෙපතො නෙත්තිකිත්තිතා යනු කෙටියෙන් නෙත්තිප්පකරණය කියන ලදී යනුයි. හාර නය මූල පදයන්ගේ ස්වරූපය දැක්වීම උද්දේස පාඨයෙන් කරන ලදී. මෙහිදී ද නාරනයාදියේ :-
සාමඤ්ඤතො විසෙසෙන පදත්‍ථො ලක්ඛණං කමො,
එත්තාවතා ච හෙත්‍වාදී වෙදිතබ්බානි විඤ්ඤුනා
පදාර්ථය, ලක්‍ෂණය, ක්‍රමය හේත්‍වාදී ප්‍රමාණය, සාමාන්‍ය වශයෙන් ද විශේෂ වශයෙන් ද නුවණැත්තා විසින් දතයුතුය.
ඒවායින් අවිශේෂ වශයෙන් ද විශේෂ වශයෙන් ද හාර නය ආදියේ අර්ථය දක්වන ලදි. ලක්‍ෂණාදියෙහි වනාහි අවිශේෂ වශයෙන් සියලුම හාරයෝ ද න්‍යායයෝ ද පිළිවෙලින් ව්‍යඤ්ජනාර්ථ මුඛයෙන් නවංග සාසනයේ අර්ථ සංවර්ණන ලක්‍ෂණයයි. විශේෂ වශයෙන් වනාහි ඒ ඒ හාරයේ ද න්‍යායයේ ද ලක්‍ෂණ නිද්දේසයේදීම ප්‍රකාශ කරන්නෙමු. ක්‍රමාදිය ද යම්හෙයකින් ඒවායේ ලක්‍ෂණ දත්කල්හි දැනගත යුතු වෙත්. එහෙයින් ඒවා ද නිද්දේසයට පසු ප්‍රකාශ කරන්නෙමු.
හාරසඞ්ඛෙපො
අසසාදාදීනවතො යන යම් ආරම්භක නිද්දේස ගාථා වේ ද ඒවායේ අසසාදාදීනවතා යන තැන අස්සාදො ආදීනවතා යනු පද විභාගයයි. ආදීනවතා යනු ද ආදීනවයමය. ඇතැමෙක් අස්සාදාදීනවතො යැයි කියවත්. එය යහපත් නොවේ. එහි ආශ්වාද කෙරේනුයි අස්සාද නමි. සුඛය ද සොම්නස ද යන දෙකයි. එය ‘යං භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං පඤ්චසු උපාදානක්ඛන්‍ධෙසු අසසාදො’ යැයි (මහා දුක්ඛක්ඛන්‍ධ සූත්‍රයේදී) කියන ලදි. සුඛය ද සොම්නස ද මෙසේ ඉෂ්ටාරම්මණය ද හඟවයි. එය ද ‘සො තදස්සාදෙති තං නිකාමෙතීති. රූපං අසසාදෙති අභිනන්‍දති. තං ආරබ්භ රාගො උපපජ්ජති. සංයොජනීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපසසිනො’ යැයි කියන ලදි. මෙයින් ආශ්වාද කෙරේනුයි හෝ අස්සාද නමි. තණ්හාවයි. හේතුව ඒ තෘෂ්ණාවෙන් පුද්ගලයා සුඛය ද සුඛ සහගත අරමුණ ද ආශ්වාදනය කෙරේ. තෘෂ්ණාව යම්සේ ද විපල්ලාසයෝත් මෙසේමය. සත්ත්වයෝ විපර්යාස වශයෙන් අනිටු අරමුණ ද ඉෂ්ටාකාරයෙන් ආශ්වාදනය කෙරෙත්. මෙසේ වේදනාවේ ද සියලු ත්‍රෛභූමක සංස්කාරයන්ගේ ද තණ්හාවේ ද විපල්ලාසයන්ගේ ද ආශ්වාද විචාරය දත යුතුයි.
දුක්ඛ අදුක්ඛ අසුබ වේදනාවන්ගේ ආශ්වාදනීයත්වය කෙබඳු ද? විපර්යාස වශයෙන් ද සුඛ පර්යාය සද්භාවයෙන් ද එය වේ. එහෙයින්ම ‘සුඛා ඛො ආවුසො විසාඛ වෙදනා ඨිතිසුඛා විපරිනාම දුක්ඛා, දුක්ඛාවෙදනා ඨිති දුක්ඛා විපරිනාම සුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණ සුඛා අඤ්ඤාණ දුක්ඛා’ යයි (චුල්ලවෙදල්ල සූත්‍රයේදී) කියන ලදි. එහි වේදනාවට අෂ්ටශත (එක්සිය අටක්) පර්යාය වශයෙන් ද, ත්‍රෛභූමක සංස්කාරයන්ට නික්ඛෙප කාණ්ඩ, රූප කාණ්ඩ වශයෙන් ද, තෘෂ්ණාවට සංකිලෙස වස්තු විභංගයෙහි ද නික්ඛෙප කාණ්ඩයේ ද තණ්හා නිර්දේශ වශයෙන් ද, විපල්ලාසයන්ට සුභ සංඥා ආදී වශයෙන් දෙසැටක් වූ දෘෂ්ටි වශයෙන් ද විභාගය දතයුතුයි.
ආදීනවය නම් දුක් වේදනාවයි. තෙවැදෑරුම් වූ දුක්ඛ භාවයයි. එසේ නැතහොත් සියලුම ත්‍රෛභූමික සංස්කාරයෝ ආදීනවයෝය. අදීන වූ ඉතා කෘපණ වූ පැවැත්ම පවතීනුයි ආදීනව නමි. දිළිඳු මනුෂ්‍යයාය. අනිත්‍යාදියෝගයෙන් ත්‍රෛභූමක ධර්මයෝ මෙවැනි ස්වභාව ඇත්තාහ. යම්හෙයකින් එහි ආදීනවානුපස්සනය අරඹන ලද විදර්ශනාව ඇත්තවුන්ගේ භූත නය යැයි කියනු ලැබේ. එසේ ද කියන ලදි. ‘යං භික්ඛවෙ පඤ්චුපාදානක්ඛන්‍ධා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මා. අයං පඤ්චසු උපාදානක්ඛන්‍ධෙසු ආදීනවො’ යනුවෙනි. එහෙයින් දුක්ඛ සත්‍යය නිර්දේශ වූ ජාති ආදී අනිත්‍යාදියේ ආදීනවය දෙසාළිස් ආකාර වශයෙන් බෙදා නිර්දේශ කළයුතුය.
මෙය කරණ කොටගෙන යේනුයි නිස්සරණ නම් වේ. ආර්ය මාර්ගයයි. නැතහොත් නික්මේ නුයි නිස්සරණ නම් වේ. නිවනයි. දෙකම සාමාන්‍ය නිර්දේශයෙන් හෝ එකකින් හෝ යෑම වේ යැයි කියන ලද්දේ වෙයි. පි ශබ්දය පළමු පදවල ද පසුපදවල ද එක්කිරීම් අර්ථයයි. එහිදී ආර්ය මාර්ග පක්‍ෂයෙහි සතිපට්ඨාන ආදී සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ගේත් කායානුපස්සනා ආදියේත් නිස්සරණය ඊට ඇතුළත් ප්‍රභේද ලෙසින් බෙදා දැක්විය යුතුය.
නිර්වාණ පක්‍ෂයෙහි දී අසංඛත ධාතුවේ නිෂ්පර්යාය විභාගයක් කෙසේවත් නැත. පර්යාය වශයෙන් වනාහි සොපාදිසේස නිරුපාදිසේස භේදයෙන් (විභාගයක් ඇත.) යම්හෙයකින් එය නිදහස් වූයේ ද පටිසම්භිදා මග්ගයෙහි දක්වන ලද ඒ චක්‍ෂු ආදී සදොර, රූපාදී අරමුණු හය, ඒ ඒ දොරටුවෙහි පැවති සයක් සයක් වූ විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, තෘෂ්ණා, විතර්ක, විචාරයන්, පඨවි ධාතු ආදී ධාතු සය, දස කසිණ, කෙස් ආදී දෙතිස් ආකාර ඇති අසුභයන්, පංචස්කන්ධය, දොළොස් ආයතන, අටළොස් ධාතු, ලෞකික ඉන්‍ද්‍රිය, කාමධාතු ආදී ත්‍රිවිධ ධාතු, කාම භව ආදී ත්‍රිවිධ භවයන්, අප්පමඤ්ඤා හා ආරුප්‍ය වූ ධ්‍යාන සතර, ද්වාදශ පටිච්ච සමුප්පාද අංග යන මේ ආදී සංඛත ධර්මයන්ගේ නිස්සරණ භාවයෙන් ද බෙදා දැක්විය යුතුයි.