3. පටිනිද්දේස වාර වර්ණනාව
විභඞ්ග
දේශනා හාර විභංග වර්ණනාව
සුවසේ ග්‍රහණය කරගනු පිණිස ගාථා බැඳීම් වශයෙන් මෙසේ හාරාදිය ස්වරූප වශයෙන් දක්වා දැන් ඒවායින් හාරයන් පළමුව පටිනිද්දේස වශයෙන් බෙදා දක්වන්නට තත්‍ථ කතමො දෙසනාහාරො යනාදිය අරඹන ලදි. එහි කතමො යනු කියනු කැමති විමර්ශනයයි. දෙසනාහාරො යනු ඇසිය යුතු (ධර්මය) කරුණ දක්වාලීමයි. කෙසේ වුවත් දේසනා හාරය නිද්දේස වාරයේදී ස්වරූප වශයෙන් දක්වන ලදි. පටිනිද්දේසයේ විෂය දක්වමින් අස්සාදාදීනවතා යන ගාථාව ඒකදේශයකින් ස්පර්ශ කෙරෙයි. මේ දේශනාහාරය පූර්වාපර අපේක්‍ෂා ඇත්තකි. එහි පූර්වාපේක්‍ෂකත්‍වයෙහි කතමො දෙසනාහාරො යැයි විමසා අස්සාදාදීනවතා යැයි ස්වරූප වශයෙන් දක්වන ලද්දෙහි නිගමනය වෙයි. පරාපේක්‍ෂකත්‍වයෙහි වනාහි අයං දෙසනාහාරො කිං දෙසයති යනු වර්ණනා කරයි යනුයි. විස්තර කරයි යන අර්ථයයි.
දැන් මෙයින් දේශනා කළයුතු ධර්ම ස්වරූප වශයෙන් දක්වමින් අස්සාදං යනාදිය කීවේය. එය පෙර කියන ලද නය අනුව ප්‍රකට කරන ලද්දේමය. එහෙයින් මින් පසුද නොකියන ලද දෙයම වර්ණනා කරමු. මේ හාරය කොතැනක ආ ආශ්වාදාදිය වර්ණනා කෙරේදැයි ගැටළුව සිහිකොට දේශනා හාරයෙන් වර්ණනා කළයුතු ධර්මය දක්වමින් ධම්මං වො භික්ඛවෙ දෙසෙස්සාමි යනාදී සියලු පර්යාප්ති ධර්මය සංග්‍රහ කරන භාග්‍යවතුන් වහන්සේගේ ඡඡක්ක දේශනාව ඒකදේශයකින් දක්වාලයි.
එහි ධම්මං යන මේ ධම්ම ශබ්දය පර්යාප්ති, සත්‍ය සමාධි, ප්‍රඥා, ප්‍රකෘති, පුණ්‍ය, ආපත්ති, ඤෙය්‍ය ආදී බොහෝ අර්ථවල දක්නා ලද ප්‍රයෝග ඇත්තකි. ඒ එසේමය. ‘ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති’ ආදියෙහි පර්යාප්ති ධර්මයේ දක්නා ලැබේ. ‘දිට්ඨධම්මො පත්තධම්මො’ යනාදිය සත්‍යයෙහි (දක්නා ලැබේ) ‘එවං ධම්මා තෙ භගවතො අහෙසුං’ යනාදිය සමාධියෙහි (දක්නා ලැබේ) ‘සච්චං ධම්මො ධිතී චාගො’ යන මේ ආදිය ප්‍රඥාවෙහි (දක්නා ලැබේ.) ‘ජාති ධම්මානං භික්ඛවෙ සත්තානං’ යනාදිය ප්‍රකෘතියෙහි (දක්නා ලැබේ) ‘ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී’ යනාදිය පුණ්‍ය අර්ථයෙහි දක්නා ලැබේ. ‘චත්තාරො පාරාජිකා ධම්මා’ යන මේ ආදිය ආපත්තියෙහි දක්නා ලැබේ. ‘කුසලා ධම්මා අකුසලා ධම්මා’ ආදිය ඥෙයාර්ථයෙහි දක්නා ලැබේ. මෙහි වනාහි පර්යාප්ති අර්ථයෙහි දතයුතුය.
වො යන තැන මේ වො ශබ්දය ‘හන්‍දදානි භික්ඛවෙ පවාරයාමි වො’ යන මෙතැන උපයෝගාර්ථයේ ආයේය. ‘සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං’ යනාදියෙහි (වො ශබ්දය) කරණාර්ථයෙහි ආයේය. ‘යෙහි වො අරියා පරිසුද්ධකාය කම්මන්තා’ යනාදියෙහි (වො ශබ්දය) පද පූරණාර්ථයෙහි ආයේය. ‘ආරොචයාමි වො භික්ඛවෙ’ යනාදියෙහි (වො ශබ්දය) සම්ප්‍රදානාර්ථයෙහි ආයේය. මෙහි ද සම්ප්‍රදානාර්ථයෙහිම යැයි දතයුතුය. සිඟීම් ස්වභාවය ආදි ගුණ යෝගයෙන් භික්ඛු නම් වේ.
බිඳුණු කෙළෙස් ඇති බව ආදී ගුණයෝගයෙන් හෝ භික්ඛු නම් වේ. එසේ නැතහොත් සංසාර බිය දක්නේනුයි භික්ඛු නම් වේ. භික්ඛවෙ යනු ඔවුන්ට ආමන්ත්‍රණයකි. එයින් ඔවුන්ව ධර්මශ්‍රවණයෙහි යොදවමින් තමාගේ මුවට අභිමුඛ කෙරෙයි. දෙසෙස්සාමි යනු කියන්නෙමි යනුයි. එහෙයින් මම ධර්මේශ්වර බැවින් ඔබලාට අන් කිසිවක් නොකරමි. අනාවරණ ඤාණයෙන් සියලු ඥෙය්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කරවීමට ධර්මය දේශනා කරන්නෙමි’යි දැන් පවත්වනු ලබන ධර්මදේශනය දනියි. ‘ආදි කල්‍යාණං’ යනාදියේ ආදියේ යහපත් වූයේ ආදි කල්‍යාණයයි. ආදි කල්‍යාණය මොහුට ඇත යනු හෝ ආදි කල්‍යාණං නමි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමය. එහි සීලයෙන් ආදි කල්‍යාණය ඇතිවේ. සමාධියේ මජ්ඣෙ කල්‍යාණය ඇති වේ. ප්‍රඥාවෙන් පරියොසාන කල්‍යාණය ඇතිවේ. බුදුන් මනාව අවබෝධ කරගත් බැවින් ආදියෙහි යහපත්ය. ධර්මය මනා ලක්‍ෂණවලින් යුත් බැවින් මධ්‍යයේ යහපත්ය. සංඝයා මනා ප්‍රතිපත්ති ඇති බැවින් කෙළවර යහපත්ය. එසේ නැතහොත් උග්ඝටිතඥයා හික්මවන බැවින් ආදියෙහි යහපත්ය. විපඤ්චිතඥයා හික්මවන බැවින් මධ්‍යයෙහි යහපත්ය. නෙය්‍ය පුද්ගලයා හික්මවන බැවින් කෙළවර යහපත්ය. මේ අර්ථයම මෙහිදී අධිප්‍රේතය.