සාසන පට්ඨාන වාර වර්ණනාව
මෙසේ සර්වප්‍රකාරයෙන් නය සමුට්ඨානය බෙදා දක්වා දැන් සාසන පට්ඨානය බෙදා දක්වන්නේ යම්හෙයකින් සංග්‍රහ වාර ආදියේ දී මූල පදයන්ගෙන් ම පට්ඨානය සංග්‍රහ කොට ස්වරූප වශයෙන් නොදක්වන ලද ද එහෙයින් යම්සේ මූලපදයන්ගෙන් පට්ඨානය වෙන්කළ යුතු ද මෙසේ පට්ඨානයෙන් ද මූලපදයන් වෙන්කළ යුතුයයි දැක්වීම පිණිස අට්ඨාරද මූලපදා කුහිං දිට්ඨබ්බා, සාසන පට්ඨානෙ යි කියන ලදි. මූලපද සාසන පට්ඨානයන්ගේ අන්‍යොන්‍ය සංග්‍රහය පූර්වයෙහි දක්වන ලද්දේ ම ය. ඉක්බිති සාසන පට්ඨානං යනු කවර වචනාර්ථයක් ද? සාසනයාගේ පිහිටීම සාසන පට්ඨාන නමි. සාසන යනු දේශනාවයි. ඒ හික්මවිය යුතු පුද්ගලයන්ගේ අදහස්වලට අනුරූප වූ ඔවුන්ට හිතසුව ඇතිකරවනු පිණිස ඒ ඒ ආකාරවලින් තැනක් තිබීම සාසන පට්ඨානයයි. මෙහිදී වනාහි එහි එබඳු ස්වරූපය ඉදිරිපත් කිරීම සාසන පට්ඨානය යැයි දතයුතුය. එසේ නැතහොත් සාසන යනු අධිශික්‍ෂා ආදියයි. ඒවායේ පැවැත්මට උපාය බැවින් ‘මේවා කරණකොටගෙන පිහිටන්නේය’ යන අර්ථයෙන් පට්ඨාන නම් වේ. එනම් සංකිලේස ධර්මයෝ ය. ඒවා ප්‍රකාශ කරන බැවින් ඊට උපචාර ලෙසින් සූත්‍රයන් ද පට්ඨාන නම් වේ. ඒවා සමූහ ලෙසින් ගෙන මේ ප්‍රකරණ ප්‍රදේශය පට්ඨාන නම් වේ.
වෙනත් ක්‍රමයක් ද වේ. කවර අර්ථයකින් පට්ඨාන නම් වේ ද? පිහිටීම් අර්ථයෙනි. ගමනාර්ථයෙන් යන අර්ථයයි. ‘යෙ තෙ ගොට්ඨා පට්ඨිතගාවො’ යනුවෙන් පැමිණි තන්හි යම් පට්ඨානයකින් ඒ ගවගාලවල් පට්ඨිතගාවොයි කියන ලද ද එය අර්ථ වශයෙන් යාම නම් වේ. මෙසේ වැඩි විස්තර නැති ක්‍රම ඇති හාර නයවල ඇලීම් නැති දේශනා ඥානයේ සංකිලෙස භාගිය ආදී ලෞකික භේදයන්හි ද ඒ දෙකෙන් මිශ්‍ර වූ භේදයන්හි ද විස්තර කරන ලද ක්‍රම ලැබීමෙන් නොඇලීම් වශයෙන් පවතින ගමන් ඇති බැවින් ඒ සංකිලෙස භාගිය ආදියද ලෞකිකාදිය ද වෙන වෙනම මිශ්‍රව අධිකරණ වශයෙන් පට්ඨාන නම් වේ. ඒවා ප්‍රකාශ කරන බැවින් මේ ප්‍රකරණ ප්‍රදේශය පට්ඨානයැයි දතයුතුය.
සංකිලෙසභාගියං යනාදියෙහි මෙය කරණ කොටගෙන කෙලෙස්නුයි සංකිලෙස නම් වේ. සංකිලේස භාගියේ සංකිලෙස කොටස් පවතිනුයේ සංකිලෙස භාගිය නම් වේ. වාසනාව පිනේ වැඩීමයි. වාසනා භාගයෙහි පැවතියේ වාසනාභාගිය නම් වේ. වාසනාව ඇසුරු කරවා නුයි වාසනා භාගිය නම් වේ. ලෝභ සමූහය ආදියේ බිඳීම, පැලීම නිබ්බේධ නමි. නිබ්බේධ භාගියෙහි පැවතියේ හෝ නිබ්බේධය ඇසුරු කරවූයේ නිබ්බෙධභාගිය නම් වේ. නිමා වූ ශික්‍ෂා ධර්මය අසෙක්ඛ නමි. අසේඛ භාගයෙහි පැවතියේ හෝ අසේඛය ඇසුරු කරවූයේ අසේඛභාගිය නම්වේ. ඒවා අතුරෙන් යම්තැනක තණ්හා ආදි සංකිලේසයන් බෙදන ලද්දේ ද එය සංකිලෙස භාගිය වේ. යම්තැනක දාන ආදි පින් කිරියවත් බෙදා දක්වන ලද ද එය වාසනාභාගිය වේ. යම්තැනක අශෛක්‍ෂ වූ සීල ස්කන්ධ ආදිය බෙදා දක්වන ලදද එය අසෙක්ඛභාගිය නම් වේ. ඉතිරි ඒවා ඒවායේ මිශ්‍ර ක්‍රමය ලෙසින් කියන ලදි.
ඒවා වනාහි දුක සය තික තුන චතුක්ක එක අන්‍ය වූ චතුෂ්ක එක යන දොළසක් වේ. ඒවායින් දුක සතර ද තික දෙක ද දක්වන ලදි. අනෙක්වා නොදක්වන ලදී. නොදැක්වීමෙහි හේතුවක් නැත. මේ ක්‍රමයෙන් ඒවා ද ගන්නට හැකියයි. පෙළෙහි සංක්‍ෂෙප කරන ලදැයි දතයුතුය. එසේම ඉමානි චත්තාරි සුත්තානි සාධාරණානි කතානි අට්ඨ භවන්ති යනාදිය කියන ලදි. එහිදී යම්හෙයකින් කිසියම් සූත්‍රයකදී තණ්හා සංකිලේශයම දක්වනු ලැබේ ද කිසියම් එකකදී දෘෂ්ටි සංකිලේසය ම (දක්වනු ලැබේ) කිසියම් එකකදී දුශ්චරිත සංකිලෙසය ම දක්වනු ලැබේ ද, එහෙයින් සංකිලෙස භාගිය සූත්‍රය තෙපරිදිව බෙදා තණ්හා සංකිලෙස භාගියං සුත්තං යනාදියෙන් දක්වන ලදි. එසේම සංකිලේසය ඇතිකල්හි වොදානය වේයැයි වොදාන භාගිය සූත්‍රය සංකිලෙස විභාගයෙන් තෙපරිදිව දක්වන ලදි. තණ්හා වොදාන භාගියං සුත්තං යනාදියෙනි. එය වනාහි අර්ථ වශයෙන් වාසනා භාගිය ආදිය ම වේ. මේ ක්‍රමය කිසි පොතක නැත.