අට්ඨ නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “අට්ඨ නාම කිං” (අට නම් කිම) යනුවෙන් තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ - මහා ප්‍රශ්න ව්‍යාකරණයේ දී (අංගුත්තර නිකාය පඨම මහා පඤ්හ සුත්ත) අෂ්ට ලෝක ධර්‍මයෝ කියන ලද්දාහු ද එසේ වුවත් යම් ධර්‍මයන්හි මැනවින් වැසූ සිත් ඇති භික්ෂු තෙම දුක් කෙළවර කරන්නේ වේ ද ඒවා දක්වන්නාහු “අරියානි අට්ඨ මග්ගඞ්ගානි” (ආර්‍ය්‍ය වූ මාර්‍ගඞ්ග අට) යයි දේශනා නොකොට යම්හෙයකින් අෂ්ටාඞ්ගයෙන් විනිර්මුක්ත වූ මාර්‍ගයක් නම් නැත්තේ ද අෂ්ටාඞ්ගයම මාර්‍ගය වේ ද එහෙයින් එම අර්‍ථය ප්‍රකට කරමින් දේශනා විලාසයෙන් “අරියො අට්ඨඞ්ගිකො මග්ගො” (ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය) යයි විසඳති. භාග්‍යවතුන් වහන්සේ විසින් ද මෙම අර්‍ථය ද දේශනා ක්‍රමය ද අනුමත කරන ලද්දේමය. යම්සේ වදාළේද?
“ගෘහපතියෙනි, කජඞ්ගලා භික්ෂුණිය පණ්ඩිතය. -පෙ- යම්සේ කජඞ්ගලා භික්ෂුණිය ප්‍රකාශ කළා ද මම ද මෙසේ ප්‍රකාශ කරන්නෙමි” යනුයි. (අංගුත්තර නිකාය)
එතුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“ඇවැත්නි ධර්‍ම අටෙක්හි භික්ෂුතෙම මැනවින් වැඩු සිත් ඇත්තේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටෙකි, උදෙසුම් අටෙකි, විසඳුම් අටෙකි”යි යමක් දේශනා කරන ලද්දේ ද එය භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සඳහා දේශනා කරන ලදී” යනුයි.
මෙසේ මේ අර්ථය ද දේශනා ක්‍රමය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම යයි දත යුතුය.
එහි “අරියො” යනු නිර්‍වාණයෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පැමිණිය යුතු තවද කෙලෙස් වලින් දුරින් පවත්නා හෙයින් ආර්‍ය්‍යභාවය කරන හෙයින්ද ආර්‍ය්‍ය ඵල ලබන හෙයින්ද ආර්‍ය්‍ය යයි දත යුතුය. අඞ්ග අටක් ඇත්තේනුයි = අට්ඨඞ්ගිකො වේ. සේනාව අග සතරකින් යුක්ත වීමද තූර්‍ය්‍ය අඞ්ග පහකින් යුක්ත වීමද මෙන් ඒ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය අග බෙදා වෙන් කිරීමෙන් නොලැබෙන ස්වභාව ඇති හෙයින් අප මාත්‍රයක් පමණෙකැයි දත යුතුය. මෙය කරණකොට ගෙන නිර්‍වාණය සොයයි හෝ තෙමේ සොයයි හෝ ක්ලේශයන් මරමින් යයි නුයි = මග්ග වේ.
මෙසේ අර්‍ථප්‍රභේද සහිත මේ අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන්නා වූ භික්ෂුව අවිද්‍යාව බිඳියි. විද්‍යාව උපදවයි, නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරයි. එය කරණකොට ගෙන මෙලොවදීම දුක් කෙළවර කරන්නේ වේ යනුයි. මෙය දේශනා කරන ලද්දේ ද වේ.
“මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන මේ කරුණ ඇත. ඒ කවර හෙයින්ද යත්? මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින්ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ග භාවනාවෙන් අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිවන පසක් කරන්නේය යන මේ කරුණ ඇත. (සංයුත්ත නිකාය) යනුයි.
නව නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න විසඳීමෙන්ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “නව නාම කිං” (නවය නම් කිම) යයි මතුවටත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ ‘නව’ (නවය) යයි පිළිවදන් දී “සත්තාවාසා” (සත්වාවාස) යයි විසඳති. එහි “නව” යනු ගණන වෙන්කොට දැක්වීමයි. “සත්තා” යනු ජීවිතින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්කන්ධයන් අරමුණු කොට පනවන ලද ප්‍රාණීහුය. නැතහොත් ප්‍රඥප්තියයි. “ආවාසා” යනු මේවායෙහි වසත්නුයි = ආවාසා වේ. සත්තානං ආවාසා (සත්ත්වයන්ගේ ආවාසයෝ) = සත්තාවාසා වේ. මේ දේශනා මාර්‍ගයයි. අර්‍ථ වශයෙන් වනාහි නවවිධ වූ සත්ත්වයන්ට මෙය පර්‍ය්‍යාය නාමයකි. යම්සේ වදාළේද :-
“ඇවැත්නි, නානත්ව කාය, නානත්ව සංඥ සත්ත්වයෝ වෙති. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ ද (දුගතියේ උපදින්නෝ) යම් බඳු ද එමෙනි. මේ ප්‍රථම සත්වාවාසයයි. ඇවැත්නි, නානත්වකාය එකත්වසංඥ සත්වයෝ වෙති. පළමුව පහළ වූ බ්‍රහ්මකායික දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ දෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය නානත්වසංඥ සත්ත්වයෝ වෙති. ආභස්වර දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ තෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය එකත්වසංඥ සත්ත්වයෝ ඇත. සුභකිණ්ණ දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ සිවුවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ප්‍රතිසංවේදනා රහිත අසංඥ සත්ත්වයෝ වෙති. අසංඥ සත්ත්ව දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ පස්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, සම්පූර්‍ණයෙන් රූප සංඥාවන් (ඉක්ම වූ) -පෙ- ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සයවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, විඤ්ඤානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සත්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ අටවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ නවවෙනි සත්වාවාසයයි (අංගුත්තර නිකාය) යනුයි
පෙර අයුරින්ම මෙහි ද “නව සත්තාවාසා” (සත්වාවාස නමයකි) යි කියන ලදී. අන්‍ය වූ නවයකගේ නොමැතිබව නිසා නොවේ. යම් සේ වදාළේද :-
මහණෙනි, ධර්‍ම නවයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි. උදෙසුම් නවයෙකි. විසඳුම් නවයෙකි”යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.
මෙහිදී “ධර්‍මයෝ නවය විශේෂයෙන් දත යුතුය. කවර නවයක්ද යත්? නව සත්වාවාසයෝය” යයි කී හෙයින් නව සත්වාවාසයන් පිළිබඳව ඥාත පරිඥාවෙන් ධුව, (ස්ථිර) සුභ, සුඛ, ආත්මභාව වශයෙන් දැකීම දුරුකොට ශුද්ධ සංස්කාර සමූහයක් පමණකැයි දැකීම කරණකොට ගෙන කලකිරෙන්නේ තීරණ පරිඥාවෙන් අනිත්‍ය වශයෙන් දැකීම කරණකොට ගෙන නොඇලෙන්නේ දුක් වශයෙන් දැකීම කරණකොට ගෙන මිදෙන්නේ අනාත්ම වශයෙන් දැකීම කරණකොට ගෙන මැනවින් කෙළවර දකින්නේ පහාණ පරිඥාවෙන් ආර්‍ය මාර්‍ගයට එළඹ මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. එහෙයින් දේශනා කරන ලදී :-