පඤ්හවණ්ණනා
එකං නාම කින්තිපඤ්හවණ්ණනා
දැන් ඒ ප්‍රශ්නයන්ගේ අර්‍ථ වර්‍ණනාව වේ. “එක නාම කිං” (එක නම් කිම?) යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ “භික්ෂුව යම් එක් ධර්‍මයෙක්හි මැනවින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ආයුෂ්මත් සෝපාක තෙමේ යමෙක්හි කලකිරෙන්නේ පිළිවෙලින් දුක් කෙළවර කළේ ද ඒ ධර්‍මය අරමුණු කොට ප්‍රශ්නයක් විමසති. “සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා” (සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයෝය) යනුවෙන් තෙරුන් වහන්සේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් විසඳති. “මහණෙනි, සම්මා සතිය නම් කවරේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව කයෙහි කය අනුව දකිමින් වාසය කරයිද?” (සතිපට්ඨාන සුත්ත) යන මේ ආදී සූත්‍රයෝ මෙසේ විසඳීමෙහි සාධාරණ බවට සාධකයෝ වෙති. මෙහි යම් ආහාරයකින් සියලු සත්ත්වයෝ ආහාරස්ථිතික යයි කියනු ලැබෙත් ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාර ස්ථිතික බව “එක නම් කිමෙක්දැ”යි විචාරණ ලද තෙරුන් වහන්සේ විසින් දක්වන ලද්දේ යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් එයම මෙහි “එක” යන්නෙන් අදහස් කරන ලදී. ශාසනයෙහි හෝ ලෝකයෙහි හෝ වෙනත් ‘එක’ නම් වූ දෙයක් නැත්තේ නොවේ යයි හැඟවීමට කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින්
“මහණෙනි, එක් ධර්‍මයෙක්හි භික්ෂුව මැනවින් උකටලී වන්නේ මැනවින් නොඇලෙන්නේ මැනවින් මිදෙන්නේ මැනවින් කෙළවර දකින්නෙක් වන්නේ සම සභාගත්වය දැන මෙලොවදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. කවර එක් ධර්‍මයෙක්හි ද යත්? සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයහ. මහණෙනි, මේ එක් ධර්‍මයෙහි භික්ෂු තෙම මොනවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකියි මෙසේ යමක් කියන ලද නම් එය මේ පිණිස කියන ලදී. (අංගුත්තර දසක නිපාත) යන මෙය දේශනා කරන ලදී.
“ආහාරට්ඨිතිකා” යන මෙහි යම්සේ “මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ද එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව කරන සුලු වූයේ වේ ද නූපන් හෝ කාමච්ඡාඡන්දයාගේ පහළවීමට මෙය ආහාරයක් වේ (අංගුත්තර නිකාය) යන මේ ආදී තන්හි ප්‍රත්‍යය ආහාර යයි කියනු ලැබේ. මෙසේ ආහාර ශබ්දයෙන් ප්‍රත්‍යයන් ගෙන ප්‍රත්‍යය කරණ කොට ගෙන පවතින්නෝ ආහාර ස්ථිතිකයෝ යයි කියන ලදී. සතර ආහාරයන් අරමුණු කොට ආහාර ස්ථිතිකයෝ යයි කියනු ලබන කල්හි “අසංඥසත්ව දෙවියෝ අහේතුකයෝය. අනාහාරයෝය. අස්පර්‍ශකයෝ ය. අවේදනිකයෝය” (විභඞ්ගප්පකරණ) යයි කීහෙයින් සියල්ලෝ” යන වචනය නුසුදුසු වන්නේය.
මෙසේ කියනු ලබන කල්හි “කවර ධර්‍මයෝ සප්‍රත්‍ය වෙත්ද? රූපස්කන්ධය -පෙ- විඥානස්කන්‍ධය යන පංචස්කන්‍ධයෝය”යි කී හෙයින් ස්කන්‍ධයන්ගේම ප්‍රත්‍යස්ථිතික බව සුදුසුය. සත්ත්වයන් සම්බන්ධයෙන් වනාහි මේ වචනය නුසුදුසුම වන්නේය යයි අදහසක් විය හැකිය. මෙය මෙසේ නොදත යුතුය. කුමක් හෙයින්ද යත්? සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධයන්ගේ උපචාරය සිද්ධ හෙයිනි. සත්ත්වයන් කෙරෙහි ද ස්කන්‍ධොපචාරය සිද්ධ වේ. කුමක් හෙයින්ද යත්? ස්කන්‍ධයන් අරමුණු කොට පැනවිය යුතු හෙයිනි. කෙසේද? ගෘහයන්ට ගාමෝපචාරය මෙනි. ගෙවල් අරමුණු කොට පැනවිය යුතු හෙයින් ගමක එක් ගෙයක් හෝ දෙකක් හෝ තුනක් හෝ ගෙවල් දැවුණු කල්හි “ගම දැවුණේ” යයි ප්‍රකාශ කරන්නේ යම්සේද මෙසේ ගෙය අරමුණු කොට ගාමෝපචාරය සිද්ධ වේ. ඒ ආකාරයට ප්‍රත්‍යවීම් අර්‍ථයෙන් ස්කන්‍ධයන් ආහාරයෙන් පැවති කල්හි “සත්වයෝ ආහාරස්ථිතිකයහ” යන මේ උපචාරය සිද්ධ වීයයි දත යුතුය. පරමාර්‍ථ වශයෙන් ද “භික්ෂුව නුඹ, ස්කන්ධයන් උපදින කල්හි ද දිරන කල්හි ද මිය යන කල්හි ද ක්‍ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නේ ද දිරන්නේ ද මිය යන්නේ ද වේ” යයි දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධොපචාරය සිද්ධ වේ යයි දක්වන ලද්දේම යයි දත යුතුය.
යම් හෙයකින් යම් ප්‍රත්‍ය නම් වූ ආහාරයකින් සියලු සත්ත්වයෝ පවතිත්ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාරයෙන් පවතින බව “එකං” (එක) යයි දත යුතුය. ආහාරය හෝ ආහාරයෙන් පවතින බව වනාහි අනිත්‍යයට කරුණු වන හෙයින් කලකිරීමට හේතුවක් වේ. ඉක්බිති ඒ සියලු සත්ත්ව සංඛ්‍යාත සංස්කාරයන්හි අනිත්‍ය වශයෙන් දැකීමෙන් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්ථ විසුද්ධියට පැමිණේ. යම්සේ වදාළේද? -
“යමෙක් යම් දිනෙක සියලු සංස්කාරයන් අනිත්‍ය යයි නුවණින් දකීද ඉක්බිති දුකෙහි කලකිරේ. මෙය විසුද්ධිය හෙවත් නිවනට මග වේ” යනුයි.
මෙහිද “එකනාම කිං” යයි ද “කිහා” යයි ද පාඨ දෙකකි. එහි සිංහලයන්ගේ “කිහා” යන පාඨයයි. ඔවුහු “කිං” යයි කිවයුතු කල්හි “කිහා” යයි කියති. සමහරු මෙසේ කියති. “හ” යනු නිපාතයකි. ථේරවාදීන්ගේ ද මෙම පාඨයම වේ” යනුවෙනි. දෙආකාරයෙන්ම එකම අර්‍ථයකි. එබැවින් යම්සේ රුචිකෙරේද එසේ ශබ්ද කළ යුතුය. යම්සේ වනාහි “සුඛෙන ඵුට්ඨා අථවා දුඛෙන” “දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති” යන මේ ආදී තන්හි කිසියම් තැනක “දුබං” කියාද කිසියම් තැනක “දුක්ඛං” කියාද කියනු ලැබේ. එසේ කිසියම් තැනක “එකං” කියාද කිසියම් තැනක “එක” කියාද කියනු ලැබේ. මෙහි වනාහි “එකනාම” යන පාඨයම වේ.
ද්වෙ නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර ක්‍රමයටම “ද්වෙ නාම කිං” (දෙක නම් කිම?) යයි තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ “ද්වෙ” යයි නැවත ඒ අනුව කියා “නාමඤ්ච රූපඤ්ච” (නාමය ද රූපය ද වේ) යයි ධර්‍මාධිෂ්ඨාන දේශනයෙන් විසඳති. එහි අරමුණට අභිමුඛව නැමෙන හෙයින් සිතට ද නැමීමට හේතුවන බැවින් සියලුම අරූප නාම යයි කියනු ලැබේ. මෙහි වනාහි කලකිරීමට හේතුවන බැවින් ආශ්‍රව සහිත ධර්‍මයම අදහස් කරන ලදී. වෙනස් වීම් අර්‍ථයෙන් සතර මහා භූතයෝ ද එය උපාදාය කොට පවතින සියලු රූප ද රූප යයි කියනු ලැබේ. ඒ සියල්ලම මෙහි අදහස් කරන ලදී. අදහස් කළ දේ වශයෙන්ම මෙහි දෙක නම් “නාමයත් රූපයත්” යයි කියන ලදී. අනෙකුත් දෙකක් නොමැති නිසා නොවේ. යම්සේ වදාළේ ද :-
“මහණෙනි, ධර්‍ම දෙකෙක්හි භික්ෂුව මැනවින් කලකිරෙන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වෙයි. කවර දෙකෙක්හිද යත්? නාමයෙහි හා රූපයෙහියි. මහණෙනි, මේ ධර්‍ම දෙකෙක්හි භික්ෂුව මනාව කලකිරෙන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වෙයි. ප්‍රශ්න දෙකෙකි. උදෙසුම් දෙකෙකි. විමසුම් දෙකෙකැයි මෙසේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා කියන ලදී. (අංගුත්තර දසක නිපාත) යනුවෙනි.
මෙහිද නාමරූප මාත්‍ර වශයෙන් දැක්වීමෙන් ආත්ම දෘෂ්ටිය අත්හැර අනාත්මානුස්සනා මුඛයෙන්ම කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්‍ථ විසුද්ධියට පැමිණේ යයි දත යුතුය. යම්සේ වදාළේ ද :-
“යමෙක් යම් විටෙක සියලු ධර්‍ම අනාත්ම යයි නුවණින් දැකගනී ද එවිට දුක ගැන කලකිරේ. එයම විසුද්ධියට මග වේ” යනුයි.
තීණි නාම කින්තිපඤ්හවණ්ණනා
දැන් මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම “තීණි නාම කිං” (තුන නම් කිම) යයි තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ “තීණි” යයි පිළිවදන් දී නැවත විසඳිය යුතු අර්‍ථයෙහි ලිඞ්ගයට අනුව සඞ්ඛ්‍යාව දක්වන්නාහු “තිස්සො වෙදනා” (වේදනා තුනය) යයි විසඳති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් “වේදනා තුන” යයි දේශනා කරන ලද්දේ ද මේ අර්‍ථය මම “තීණි” යයි විශ්වාස කරමි’යි දක්වමින් වදාළේ යයි මෙසේද මෙහි අර්‍ථය දත යුතුය. පටිසම්භිදා ප්‍රභේද වශයෙන් දේශනා විලාසයන්ට පැමිණී ඇත්තන්ගේ දේශනාවෝ විවිධ ස්වරූප ඇත්තාහ. සමහරු වනාහි “තීණි”යන මෙය අධික පදයකැයි කීහ. පෙර ක්‍රමයටම මෙහි “තිස්සො වෙදනා” (වේදනා තුනකි) යි දේශනා කරන ලදී. වෙනත් තුනක් නොමැති හෙයින් නොවේ. යම්සේ වදාළේද :-