4. කුමාරප්‍රශ්න වර්ණනාව
අට්ඨුප්පත්ති
දැන් “එක නාම කිං” යන මේ ආදී කුමාර ප්‍රශ්නයන්ගේ අර්‍ථ වර්‍ණනාව පිළිවෙළින් පැමිණියේය. එම කුමාර ප්‍රශ්නයගේ ඇති වීමට හේතුවක් මේ ඛුද්දක පාඨයෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයත් කියා වර්‍ණනාව කරන්නෙමි.
ඔවුන්ගේ පහළ වීමට හේතුව පළමුකොට (කියමි) : භාග්‍යවතුන් වහන්සේගේ සෝපාක නම් මහා ශ්‍රාවකයෙක් විය. ඒ අයුෂ්මතුන් වහන්සේ විසින් උපතින් සත්වන වියේදීම රහත්ඵලය අවබෝධ කරගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට ප්‍රශ්න විසඳීම තුළින් උපසම්පදාව අනුදැනීමට කැමැත්තාහු තමන් වහන්සේ විසින් අදහස් කරන ලද අර්‍ථ ඇති ප්‍රශ්නයක් විසඳීමට සමත් බව බලන්නාහු “එකං නාම කිං” යන මේ ආදී වශයෙන් ප්‍රශ්නයක් විචාළහ. උන්වහන්සේ විසඳුහ. ඒ විසඳීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත සෑහීමට පත් කළහ. එයම ඒ ආයුෂ්මතුන් වහන්සේට උපසම්පදාව විය.
මේ ඒ කුමාර ප්‍රශ්නයන්ගේ පහළ වීමට හේතුවයි;
නික්ඛෙපප්පයොජනං
යම් හෙයකින් වනාහි සරණාගමනයන්ගෙන් බුද්ධ, ධම්ම, සංඝානුස්සති වශයෙන් චිත්ත භාවනාව ද ශික්ෂාපදයන්ගෙන් ශීල භාවනාව ද ද්වතිංසාකාරයෙන් කාය භාවනාව ද දේශනා කරන ලද්දේ ද එහෙයින් දැන් නොයෙක් ආකාරයෙන් ප්‍රඥා භාවනාවේ ආරම්භය දැක්වීමට මේ ප්‍රශ්න විසඳීම මෙහි ඇතුළත් කරන ලදී. නැතහොත් යම්හෙයකින් සමාධිය ශීලය පදනම් කොට වේ ද ප්‍රඥාව සමාධිය පදනම් කොට වේ ද ප්‍රඥාවන්ත මිනිසා ශීලයෙහි පිහිටා සිත හා ප්‍රඥාව වඩන්නේය”යයි යම්සේ වදාළේ ද එහෙයින් ශික්ෂාපදයන්ගෙන් ශීලයත් ද්වත්තිංසාකාරයෙන් එයට ගෝචර වූ සමාධියත් දක්වා සන්සුන් සිත් ඇත්තාගේ නොයෙක් ධර්‍මයන් පිරික්සන ප්‍රඥාවගේ ප්‍රභේද දැක්වීම සඳහා (කුමාර ප්‍රශ්නය) මෙහි ඇතුළත් කරන ලද්දේ යයි දත යුතුය.
මේ කුමාර ප්‍රශ්නයන් මෙහි ඇතුළත් කිරිමේ ප්‍රයෝජනයයි.
පඤ්හවණ්ණනා
එකං නාම කින්තිපඤ්හවණ්ණනා
දැන් ඒ ප්‍රශ්නයන්ගේ අර්‍ථ වර්‍ණනාව වේ. “එක නාම කිං” (එක නම් කිම?) යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ “භික්ෂුව යම් එක් ධර්‍මයෙක්හි මැනවින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ආයුෂ්මත් සෝපාක තෙමේ යමෙක්හි කලකිරෙන්නේ පිළිවෙලින් දුක් කෙළවර කළේ ද ඒ ධර්‍මය අරමුණු කොට ප්‍රශ්නයක් විමසති. “සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා” (සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයෝය) යනුවෙන් තෙරුන් වහන්සේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් විසඳති. “මහණෙනි, සම්මා සතිය නම් කවරේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂුව කයෙහි කය අනුව දකිමින් වාසය කරයිද?” (සතිපට්ඨාන සුත්ත) යන මේ ආදී සූත්‍රයෝ මෙසේ විසඳීමෙහි සාධාරණ බවට සාධකයෝ වෙති. මෙහි යම් ආහාරයකින් සියලු සත්ත්වයෝ ආහාරස්ථිතික යයි කියනු ලැබෙත් ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාර ස්ථිතික බව “එක නම් කිමෙක්දැ”යි විචාරණ ලද තෙරුන් වහන්සේ විසින් දක්වන ලද්දේ යයි දත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් එයම මෙහි “එක” යන්නෙන් අදහස් කරන ලදී. ශාසනයෙහි හෝ ලෝකයෙහි හෝ වෙනත් ‘එක’ නම් වූ දෙයක් නැත්තේ නොවේ යයි හැඟවීමට කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින්
“මහණෙනි, එක් ධර්‍මයෙක්හි භික්ෂුව මැනවින් උකටලී වන්නේ මැනවින් නොඇලෙන්නේ මැනවින් මිදෙන්නේ මැනවින් කෙළවර දකින්නෙක් වන්නේ සම සභාගත්වය දැන මෙලොවදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. කවර එක් ධර්‍මයෙක්හි ද යත්? සියලු සත්ත්වයෝ ආහාර ස්ථිතිකයහ. මහණෙනි, මේ එක් ධර්‍මයෙහි භික්ෂු තෙම මොනවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකියි මෙසේ යමක් කියන ලද නම් එය මේ පිණිස කියන ලදී. (අංගුත්තර දසක නිපාත) යන මෙය දේශනා කරන ලදී.
“ආහාරට්ඨිතිකා” යන මෙහි යම්සේ “මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ද එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුලව කරන සුලු වූයේ වේ ද නූපන් හෝ කාමච්ඡාඡන්දයාගේ පහළවීමට මෙය ආහාරයක් වේ (අංගුත්තර නිකාය) යන මේ ආදී තන්හි ප්‍රත්‍යය ආහාර යයි කියනු ලැබේ. මෙසේ ආහාර ශබ්දයෙන් ප්‍රත්‍යයන් ගෙන ප්‍රත්‍යය කරණ කොට ගෙන පවතින්නෝ ආහාර ස්ථිතිකයෝ යයි කියන ලදී. සතර ආහාරයන් අරමුණු කොට ආහාර ස්ථිතිකයෝ යයි කියනු ලබන කල්හි “අසංඥසත්ව දෙවියෝ අහේතුකයෝය. අනාහාරයෝය. අස්පර්‍ශකයෝ ය. අවේදනිකයෝය” (විභඞ්ගප්පකරණ) යයි කීහෙයින් සියල්ලෝ” යන වචනය නුසුදුසු වන්නේය.
මෙසේ කියනු ලබන කල්හි “කවර ධර්‍මයෝ සප්‍රත්‍ය වෙත්ද? රූපස්කන්ධය -පෙ- විඥානස්කන්‍ධය යන පංචස්කන්‍ධයෝය”යි කී හෙයින් ස්කන්‍ධයන්ගේම ප්‍රත්‍යස්ථිතික බව සුදුසුය. සත්ත්වයන් සම්බන්ධයෙන් වනාහි මේ වචනය නුසුදුසුම වන්නේය යයි අදහසක් විය හැකිය. මෙය මෙසේ නොදත යුතුය. කුමක් හෙයින්ද යත්? සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධයන්ගේ උපචාරය සිද්ධ හෙයිනි. සත්ත්වයන් කෙරෙහි ද ස්කන්‍ධොපචාරය සිද්ධ වේ. කුමක් හෙයින්ද යත්? ස්කන්‍ධයන් අරමුණු කොට පැනවිය යුතු හෙයිනි. කෙසේද? ගෘහයන්ට ගාමෝපචාරය මෙනි. ගෙවල් අරමුණු කොට පැනවිය යුතු හෙයින් ගමක එක් ගෙයක් හෝ දෙකක් හෝ තුනක් හෝ ගෙවල් දැවුණු කල්හි “ගම දැවුණේ” යයි ප්‍රකාශ කරන්නේ යම්සේද මෙසේ ගෙය අරමුණු කොට ගාමෝපචාරය සිද්ධ වේ. ඒ ආකාරයට ප්‍රත්‍යවීම් අර්‍ථයෙන් ස්කන්‍ධයන් ආහාරයෙන් පැවති කල්හි “සත්වයෝ ආහාරස්ථිතිකයහ” යන මේ උපචාරය සිද්ධ වීයයි දත යුතුය. පරමාර්‍ථ වශයෙන් ද “භික්ෂුව නුඹ, ස්කන්ධයන් උපදින කල්හි ද දිරන කල්හි ද මිය යන කල්හි ද ක්‍ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නේ ද දිරන්නේ ද මිය යන්නේ ද වේ” යයි දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සත්ත්වයන් කෙරෙහි ස්කන්‍ධොපචාරය සිද්ධ වේ යයි දක්වන ලද්දේම යයි දත යුතුය.
යම් හෙයකින් යම් ප්‍රත්‍ය නම් වූ ආහාරයකින් සියලු සත්ත්වයෝ පවතිත්ද ඒ ආහාරය හෝ ඔවුන්ගේ ඒ ආහාරයෙන් පවතින බව “එකං” (එක) යයි දත යුතුය. ආහාරය හෝ ආහාරයෙන් පවතින බව වනාහි අනිත්‍යයට කරුණු වන හෙයින් කලකිරීමට හේතුවක් වේ. ඉක්බිති ඒ සියලු සත්ත්ව සංඛ්‍යාත සංස්කාරයන්හි අනිත්‍ය වශයෙන් දැකීමෙන් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්ථ විසුද්ධියට පැමිණේ. යම්සේ වදාළේද? -