ඛුද්දකපාඨ අටුවාව
ග්‍රන්ථ ආරම්භ කථා
“බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි,
සංඝං සරණං ගච්ඡාමි”
යන මේ සරණාගමන නිර්දේශය ඛුද්දක ධර්‍මයන්ගේ ආරම්භක දේශනාවයි.
දැන් මෙහි අර්ථය පරමත්‍ථජොතිකා ඛුද්දක අට්ඨකථාවෙහි විවරණය කිරීමට බෙදා දැක්වීමට ප්‍රකට කිරීමට මෙය කියනු ලැබේ.
“වැඳිය යුතු අය අතර උත්තම වූ රත්නත්‍රය වැඳ ඛුද්දක ධර්‍මයන් අතුරෙන් කිසිවකට අර්‍ථ වර්‍ණනාවක් කරන්නෙමි.”
ඛුද්දක ධර්‍මයන්ගේ ගැඹුරු බව නිසා ශාසනය පිළිබඳ අවබෝධයක් නැති මා වැන්නකු විසින් මේ අර්‍ථ වර්‍ණනාව කිරීම අතිශයින් දුෂ්කර නමුදු පූර්‍වාචාර්‍ය්‍යවරුන්ගේ විනිශ්චයන් අද ද නොසිඳී පවත්නා නිසාත්, එසේම නවාඞ්ග ශාස්තෲ ශාසනය පවත්නා නිසාත්,
ඒ පැරණි විනිශ්චයන් හා ශාසනය ද ඇසුරු කොටම මේ අර්‍ථ වර්‍ණනාව කරනු කැමැත්තෙමි. (මේ අර්‍ථ වර්‍ණනාව කරන්නේ) සද්ධර්‍මයට බුහුමන් කරනු පිණිසය. තමා උසස් කොට කීම පිළිබඳ කැමැත්තකින් නොවේ. අනුන්ට අවමන් කිරීම සඳහා ද නොවේ. එබැවින් සන්සුන් සිතින් යුතුව එය අසවු.”
ඛුද්දකවවත්ථානං
එහි “ඛුද්දකානං කරිස්සාමි කෙසඤ්චි අත්‍ථ වණ්ණණං” යයි කී හෙයින් පළමුකොට ඛුද්දක ධර්‍මයන් වෙන් කොට දක්වා පසුව අර්‍ථ වර්‍ණනාව කරන්නෙමි. ඛුද්දකයෝ නම් ඛුද්දක නිකායේ එක් කොටසක් වෙති. ඛුද්දක නිකාය නම් නිකාය පහෙන් එක් කොටසකි. නිකාය පහ නම් :
“ධර්‍ම වශයෙන් ද අර්‍ථ වශයෙන් ද ගැඹුරු වූ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අඞ්ගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන මේ නිකාය පහයි.”
එහි :- බ්‍රහ්මජාල සූත්‍රය මුල්කොට ඇති තිස් හතරක් සූත්‍ර දීඝ නිකායයි. මූල පරියාය සූත්‍රය මුල්කොට ඇති එකසිය පනස් දෙකක් සූත්‍ර මජ්ඣිම නිකායයි. ඔඝතරණ සූත්‍රය මුල්කොට ඇති හත් දහස් හත්සිය හැට දෙකක් සූත්‍ර සංයුක්ත නිකායයි. චිත්ත පරියාදාන සූත්‍රය මුල් කොට ඇති නව දහස් පන්සිය පනස් හතක් සූත්‍ර අඞ්ගුත්තර නිකායයි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්‍ථු, පේත වත්‍ථු, ථේර ගාථා, ථේරී ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, චරියා පිටක, විනය පිටක, අභිධම්ම පිටක හා සතර නිකාය හැර ඉතිරි බුද්ධ වචන ද ඛුද්දක නිකායයි.
කුමක් හෙයින් මෙය ඛුද්දක නිකාය යයි කියනු ලැබේද? බොහෝ වූ ඛුද්දක ධර්‍මස්කන්ධයන්ගේ සමූහය වූ නිසාත්, නිවාස ස්ථානය වූ නිසාත්ය. සමූහය, නිවාස ස්ථානය, “නිකාය” යයි කියනු ලැබේ. යම්සේ වදාළේ ද :- “නාහං භික්ඛවෙ අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි. යං එවං චිත්තං. යථයිදං භික්ඛවේ තිරච්ජාන ගතා පාණා” (මහණෙනි, මේ තිරිසන් ගත ප්‍රාණීහු යම්බඳු වෙත්ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එකද සමූහයක් මම නොදනිමි) “පොණිකි නිකායො වික්ඛල්ලික නිකායො” (පාණිනී) යන මේ ආදිය ශාසනයෙන් හා ලෝක ව්‍යවහාරයෙන් සාධක වේ.
මෙසේ මේ ඛුද්දක නිකායෙහි එක් කොටසක් වූ ද මේ සූත්‍ර පිටකයට ඇතුළත් වූ ද ඛුද්දක ධර්‍මයෝ අර්‍ථ වශයෙන් විවරණය කිරීමට බෙදා දැක්වීමට ප්‍රකට කිරීමට අදහස් කරන ලදහ. සරණ, සික්ඛා පද, ද්වත්තිංසාකාර, කුමාර පඤ්හ, මඞ්ගල සුත්ත, රතන සූත්ත, තිරොකුඩ්ඩසූත්ත, නිධිකණ්ඩ සූත්ත, මෙත්ත සූත්ත වශයෙන් ප්‍රභේද නමයකින් යුත් ඛුද්දක පාඨය ඒ ඛුද්දක ධර්‍මයන්ගේ ආරම්භක ග්‍රන්ථයයි. ඒ ආචාර්‍ය්‍ය පරම්පරාව විසින් වාචනා මාර්‍ගයට නගන ලද අයුරිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් වනාහි :
“අනෙක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො දුක්ඛාජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි පුනගෙහං නකාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛිතං
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා”
යන මේ ගාථා දෙක සියලුම බුද්ධ වචනයන්ගේ ආරම්භක දේශනාවයි. එයද මනසින් දේශනා කිරීම් වශයෙනි. වචනයට නගා දේශනා කිරීම් වශයෙන් නොවේ. වචනයට නගා දේශනා කිරීම් වශයෙන් වනාහි:
“යදා හවෙ පාතු භවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කඞ්ඛ වපයන්ති සබ්බා
යතො පජානාති සහෙතු ධම්මං”
යන මේ ගාථාව ප්‍රථම බුද්ධ වචනයයි. එහෙයින් ප්‍රභේද නමයකින් යුත් මේ ඛුද්දක පාඨය ඛුද්දක ධර්‍මයන්ගේ ආරම්භක ග්‍රන්ථයයි. එහි ආරම්භයේ සිට අර්‍ථ වර්‍ණනාව ආරම්භ කරන්නෙමි.
නිදානසොධනං
එහිද “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමි” යනු ආරම්භක දේශනා පාඨයයි. මේ එහි අර්‍ථ වර්‍ණනාව සඳහා න්‍යාය මාතෘකාවයි.
“සරණත්‍රය කවරෙකු විසින් කොහිදී කවදා කුමක් හෙයින් දේශනා කරන ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් ආරම්භක වශයෙන් දේශනා නොකරන ලද්දේ නමුදු මෙහි කුමක් හෙයින් ආරම්භයට කියන ලද්දේද?
මෙසේ මෙහි නිදානය පැහැදිලි කොට ඉන් අනතුරුව බුදුන් සරණ යාමත් යන්නාත් පැහැදිලි කරන්නේය.
සරණ භේදය හා අභේදය ද ඵලය ද සරණ යා යුතු ආකාරය ද විස්තර කරන්නේය. දහම් සරණ ආදී දෙකෙහි ද මෙම ක්‍රමයම වේ.
අනුපිළිවෙළින් දැක්වීමෙහි හේතුව ද දක්වන්නේය. එසේම සරණත්‍රය උපමාවන්ගෙන් ද ප්‍රකාශ කරන්නේය.
එහි ප්‍රථම ගාථාවෙහි පළමුකොට - මේ සරණත්‍රය කවරෙකු විසින් කියන ලද්දේද? කොහිදී කියන ලද්දේද? කවදා කියන ලද්දේද? කුමක් හෙයින් කියන ලද්දේද? තථාගතයන් වහන්සේ විසින් පළමුකොට දේශනා නොකරන ලද්දේ නමුදු කුමක් හෙයින් මෙහි මුලටම කියන ලද්දේද? යන ප්‍රශ්න පහකි.
එහි විසදීම මෙසේය :- “කවරෙකු විසින් කියන ලද්දේද” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය. ශ්‍රාවකයින් විසින් නොවේ. සෘෂීන් විසින් නොවේ. දෙවියන් විසින් නොවේ. “කොහිදීද?” යනු බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේදී ය. “කවදාද” යනු ආයුෂ්මත් යස යහළුවන් සමඟ රහත් ඵලයට පැමිණි කල්හි හැට එකක් රහතන් වහන්සේලා බොහෝ ජනයාට හිත පිණිස ලෝකයෙහි ධර්‍මය දේශනා කරන කල්හි, “කුමක් හෙයින්ද යත්?” පැවිද්ද සඳහාත් උපසම්පදාව සඳහාත්ය. යම්සේ වදාළේ ද,
“මහණෙනි, මෙසේ වනාහි පැවිදි කළ යුතුය. උපසම්පදා කළ යුතුය. පළමුව කෙස් රැවුල් බා කසාවත් හඳවා උත්තරාසඞ්ගය (තනිපට සිවුර) ඒකාංශ කරවා භික්ෂූන්ගේ පා වන්දවා උත්කුටිකයෙන් හිඳුවා ඇඳිලි බන්දවා මෙසේ කියවයි කිව යුතුය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනුවෙනි.
කුමක් හෙයින් මෙහි ආරම්භයටම කියන ලද්දේද? යත් මේ නවාඞ්ග ශාස්තෲ ශාසනය පිටක තුනකින් සංග්‍රහ කොට වාචනාමාර්‍ගයට නගන්නා වූ පූර්‍වාචාය්‍යවරුන් විසින් යම් හෙයකින් මේ සරණාගමන මාර්‍ගයෙන් දෙවි මිනිස්සු උපාසක භාවයෙන් හෝ ප්‍රව්‍රජිත භාවයෙන් හෝ ශාසනයට බැස ගනිත්ද එහෙයින් ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්‍ගය වන බැවින් මේ ඛුද්දක පාඨයෙහි මුලින්ම කියන ලද්දේ යයි දත යුතුය.