නව නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න විසඳීමෙන්ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “නව නාම කිං” (නවය නම් කිම) යයි මතුවටත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ ‘නව’ (නවය) යයි පිළිවදන් දී “සත්තාවාසා” (සත්වාවාස) යයි විසඳති. එහි “නව” යනු ගණන වෙන්කොට දැක්වීමයි. “සත්තා” යනු ජීවිතින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්කන්ධයන් අරමුණු කොට පනවන ලද ප්‍රාණීහුය. නැතහොත් ප්‍රඥප්තියයි. “ආවාසා” යනු මේවායෙහි වසත්නුයි = ආවාසා වේ. සත්තානං ආවාසා (සත්ත්වයන්ගේ ආවාසයෝ) = සත්තාවාසා වේ. මේ දේශනා මාර්‍ගයයි. අර්‍ථ වශයෙන් වනාහි නවවිධ වූ සත්ත්වයන්ට මෙය පර්‍ය්‍යාය නාමයකි. යම්සේ වදාළේද :-
“ඇවැත්නි, නානත්ව කාය, නානත්ව සංඥ සත්ත්වයෝ වෙති. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද ඇතැම් විනිපාතිකයෝ ද (දුගතියේ උපදින්නෝ) යම් බඳු ද එමෙනි. මේ ප්‍රථම සත්වාවාසයයි. ඇවැත්නි, නානත්වකාය එකත්වසංඥ සත්වයෝ වෙති. පළමුව පහළ වූ බ්‍රහ්මකායික දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ දෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය නානත්වසංඥ සත්ත්වයෝ වෙති. ආභස්වර දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ තෙවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, එකත්වකාය එකත්වසංඥ සත්ත්වයෝ ඇත. සුභකිණ්ණ දෙවියෝ යම්බඳු ද එමෙනි. මේ සිවුවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ප්‍රතිසංවේදනා රහිත අසංඥ සත්ත්වයෝ වෙති. අසංඥ සත්ත්ව දෙවියෝ යම් බඳු ද එමෙනි. මේ පස්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, සම්පූර්‍ණයෙන් රූප සංඥාවන් (ඉක්ම වූ) -පෙ- ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සයවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, විඤ්ඤානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ සත්වෙනි සත්වාවාසයයි. ඇවැත්නි, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ අටවෙනි සත්වාවාසයයි. ඇවැත්නි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ වෙති. මේ නවවෙනි සත්වාවාසයයි (අංගුත්තර නිකාය) යනුයි
පෙර අයුරින්ම මෙහි ද “නව සත්තාවාසා” (සත්වාවාස නමයකි) යි කියන ලදී. අන්‍ය වූ නවයකගේ නොමැතිබව නිසා නොවේ. යම් සේ වදාළේද :-
මහණෙනි, ධර්‍ම නවයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි. උදෙසුම් නවයෙකි. විසඳුම් නවයෙකි”යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.
මෙහිදී “ධර්‍මයෝ නවය විශේෂයෙන් දත යුතුය. කවර නවයක්ද යත්? නව සත්වාවාසයෝය” යයි කී හෙයින් නව සත්වාවාසයන් පිළිබඳව ඥාත පරිඥාවෙන් ධුව, (ස්ථිර) සුභ, සුඛ, ආත්මභාව වශයෙන් දැකීම දුරුකොට ශුද්ධ සංස්කාර සමූහයක් පමණකැයි දැකීම කරණකොට ගෙන කලකිරෙන්නේ තීරණ පරිඥාවෙන් අනිත්‍ය වශයෙන් දැකීම කරණකොට ගෙන නොඇලෙන්නේ දුක් වශයෙන් දැකීම කරණකොට ගෙන මිදෙන්නේ අනාත්ම වශයෙන් දැකීම කරණකොට ගෙන මැනවින් කෙළවර දකින්නේ පහාණ පරිඥාවෙන් ආර්‍ය මාර්‍ගයට එළඹ මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. එහෙයින් දේශනා කරන ලදී :-
“මහණෙනි, ධර්‍ම නවයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. කවර නවයෙක්හිද යත්? නව සත්වාවාසයන්හිය (අංගුත්තර නිකාය) යනුයි.
දස නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ මතුවටත් “දසනාම කිං” (දහය නම් කිම?) යයි ප්‍රශ්නයක් විමසති. එහිදී හුදෙක් මේ ප්‍රශ්නයට මෙයින් වෙනත් තැන්වල විසඳීම්වල දී දශ අකුශල කර්‍ම පථයෝ දේශනා කරන ලද්දාහුය. යම්සේ වදාළේද -
මහණෙනි ධර්‍ම දහයෙක්හි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- මේ ආත්මභවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. කවර දහයෙක්හිද යත්? දශ අකුශල කර්‍ම පථයන්හිය. මහණෙනි, මේ ධර්‍ම දහයෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙතේ -පෙ- මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයකි, උදෙසුම් දහයකි. විසඳුම් දහයෙකියි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.
මෙහි වනාහි යම් හෙයකින් මේ (සෝපාක) ආයුෂ්මතුන් වහන්සේ තමන් ඉදිරිපත් නොකොට රහත්බව ප්‍රකාශ කරනු කැමැත්තේ වේ ද නැතහොත් යම්හෙයකින් මේ ආකාරයෙන් විසඳන ලද්දේ මැනවින් විසඳන ලද්දේ වේ ද එහෙයින් යම් දශ අඞ්ගයකින් සමන්විත තැනැත්තේ ‘අරහත්’ යයි කියනු ලැබේද එතුමන්ගේ අධිගමය ප්‍රකට කරමින් “දසහඞ්ගෙහි සමන්තාගතො අරහාති වුච්චති” (දශ අඞ්ගයන්ගෙන් යුක්ත වූ රහත්තෙමේ යයි කියනු ලැබේ) යනුවෙන් පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් විසඳති. යම් හෙයකින් මෙහි යම් දශ අඞ්ගයන්ගෙන් යුත් තැනැත්තේ “අර්හත්” යයි කියනු ලැබේද ඒ දශ අඞ්ගයෝ “දහය නම් කිම?” යයි විමසනු ලැබූ තෙරුන් වහන්සේ විසින් දක්වන ලද්දාහු යයි දත යුතුය. එම දහය ද
“ස්වාමීනි, අසෙඛයා අසෙඛයා යයි කියනු ලැබේ. ස්වාමීනි, භික්ෂුව කෙතෙක් කරුණින් අසෙඛ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම අසේඛ වූ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් සංකල්පයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් වචනයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් කර්‍මාන්තයෙන් යුක්ත වූයේ වෙයි. අසෙඛ වූ සම්‍යක් ආජීවයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ස්මෘතියෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් සමාධියෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් ඥානයෙන් යුක්ත වූයේ වෙයි. අසේඛ වූ සම්‍යක් විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, භික්ෂු තෙම මෙසේ අසෙඛ වේ.” (අංගුත්තර නිකාය)
යන ආදී සුත්‍රයන්හි දේශනා කරන ලද ආකාරයෙන්ම දත යුතුය.
කුමාර ප්‍රශ්න වර්‍ණනාව නිමියේය.
5. මඞ්ගල සූත්‍රය වර්ණනාව
නික්ඛෙපප්පයොජනං
දැන් කුමාර ප්‍රශ්නයෙන් අනතුරුව ඇතුළත් කරන ලද මඞ්ගල සූත්‍රයෙහි වර්‍ණනාව පිළිවෙළින් පැමිණියේය. එය මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනය කියා අර්‍ථ වර්‍ණනාව කරන්නෙමු. ඒ කෙසේද යත්? මේ සූත්‍රය වනාහි මේ පිළිවෙළින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේ නමුදු සරණාගමනයන්ගෙන් යම් මේ ශාසනයට බැස ගැනීම ද සික්ඛාපද ද්වත්තිංසාකාර, කුමාර පඤ්හයන්ගෙන් පිළිවෙළින් සීල, සමාධි, පඤ්ඤා ප්‍රභේද ද දක්වන ලද්දේය. මේ සියල්ල උතුම් මඞ්ගල වූයේ මඞ්ගලයෙන් ප්‍රයෝජන ඇත්තා විසින් මෙහිම නැවත නැවත යෙදීම යම්හෙයකින් කළයුතු වන්නේ ද හෙතෙමේ මෙහි මඞ්ගලභාවය මේ සූත්‍රය අනුසාරයෙන් දතයුතු යයි දැක්වීම සඳහා දේශනා කරන ලදී.