පඤ්ච නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න සතර විසදීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් “පඤ්ච නාම කිං” (පහ නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘පඤ්ච’ යයි පිළිවදන් දී “උපාදානක්ඛන්ධා” (උපාදානස්කන්ධයෝය) යයි විසඳති. එහි ‘පඤ්ච’ යනු ගණන වෙන්කොට දැක්වීමයි. උපාදානයෙන් හටගත් හෝ උපාදාන උපදවන හෝ ස්කන්ධයෝ “උපාදානක්ඛන්ධා” වේ. යම්කිසි රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණයක් ආශ්‍රව සහිත වේ ද දැඩිව අල්වා ගනු ලැබේ. මොවුන්ට මෙය නමකි. පෙර ක්‍රමයටම මෙහිදී “‘පඤ්චුපාදානක්ඛන්ධා” යයි කියන ලදී. වෙනත් පහකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද :-
“මහණෙනි, භික්ෂුතෙම ධර්‍ම පහෙක්හි මැනවින් කලකිරෙන්නේ - පෙ- කෙළවර කරන්නේ වේ. කවර පහෙක්හි ද යත්? පඤ්ච උපාදානස්කන්ධයෙහිය. මහණෙනි, මේ ධර්‍ම පහෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පහෙකි. උදෙසුම් පහෙකි, විසඳුම් පහෙකි යයි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී” යනුයි.
මෙහිදී ද පංචස්කන්ධයෙහි උදයව්‍යය වශයෙන් සිහිපත් කරන්නේ විදර්‍ශනාමෘතය ලැබුයේ පිළිවෙළින් නිර්‍වානාමෘතය ප්‍රත්‍යක්‍ෂ කරයි. යම්සේ වදාළේද :-
“යමෙක් යම් යම් විටෙක ස්කන්‍ධයන්ගේ හටගැනීම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයිද ඒ හැමවිටම ඔහුට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වේ. කරුණු වැටහෙන්නන්ට එය අමෘතයකි. (නිවනකි) (ධම්මපදය) යනුයි.
ඡ නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් ‘ඡ නාම කිං’ (හය නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘ඡ’ (හය) යයි නැවත පිළිවදන් දී “අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යාත්මික ආයතන) යයි විසඳති. එහි “ඡ” (හය) යනු ගණන වෙන්කොට දැක්වීමයි. ආධ්‍යාත්මිකව පැවතියා වූ, තමා ප්‍රධාන කොට පැවතියා වූ = “අජ්ඣත්තිකානි” වේ. රැස්කරගන්නා දෙයට (දුකට) උත්පත්ති ස්ථාන වන හෙයින් හෝ රැස්කරගත් දෙය පතුරුවන නිසා හෝ සංසාර දුකට ගෙන යන හෙයින් = ආයතනානි වේ. මෙය චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන (ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත) යන මේවාට නමකි. පෙර අයුරින්ම මෙහි “ඡ අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යත්මික ආයතන සය) යයි කියන ලදී. අන්‍ය වූ සයකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද
“මහණෙනි, භික්ෂුතෙම ධර්‍ම සයෙක්හි මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. කවර සයෙක්හිද යත්? ආධ්‍යාත්මික ආයතන සයෙහිය; මහණෙනි, මේ ධර්‍ම සයෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි. උදෙසුම් සයෙකි. විසඳුම් සයෙකි’යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.
මෙහිද ආධ්‍යාත්මික ආයතන සය “මහණෙනි, ශුන්‍ය (හිස්) ගම යනු මේ ආධ්‍යාත්මික ආයතන සයට නමකි.” (සංයුත්ත නිකාය) යි වදාළ හෙයින් ශුන්‍ය වශයෙන් ද දිය බුබුළ, මිරිඟුව ආදිය මෙන් වැඩිකල් නොපවත්නා හෙයින් හිස් වශයෙන් ද වංචා කරන්නෙකු වශයෙන් ද මැනවින් දකිමින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කොට මාරයාගේ නොදැකීමට එළඹේ. යම්සේ වදාළේද :-
ලෝකය දිය බුබුළක් සේත්, මිරිගුවක් සේත් දකින තැනැත්තා මරුවාට නොපෙනේ හෙවත් මරුවා එබඳු තැනැත්තා නොදකී” (ධම්මපදය) යනුයි.
සත්ත නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න විසඳීමෙන් සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “සත්ත නාම කිං” (සත නම් කිම) යනුවෙන් තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ - හුදෙක් මහා ප්‍රශ්න විසඳීමේ දී (අංගුත්තර නිකාය - පඨම මහා පඤ්හ සුත්ත) සප්ත විඥාන ස්ථිතීන් දේශනා කරන ලද්දේ නමුදු යම් ධර්‍මයන්හි මැනවින් වැඩූ සිත් ඇති භික්ෂු තෙම දුක් කෙළවර කරන්නේ වේ ද එම ධර්‍මයන් දක්වන්නාහු “සත්ත බොජ්ඣඞ්ගා” (සප්ත බොජ්ඣඞ්ගයෝ) යයි විසඳති. මේ අර්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම වෙයි. යම්සේ වදාළේද -