ඡ නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් ‘ඡ නාම කිං’ (හය නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘ඡ’ (හය) යයි නැවත පිළිවදන් දී “අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යාත්මික ආයතන) යයි විසඳති. එහි “ඡ” (හය) යනු ගණන වෙන්කොට දැක්වීමයි. ආධ්‍යාත්මිකව පැවතියා වූ, තමා ප්‍රධාන කොට පැවතියා වූ = “අජ්ඣත්තිකානි” වේ. රැස්කරගන්නා දෙයට (දුකට) උත්පත්ති ස්ථාන වන හෙයින් හෝ රැස්කරගත් දෙය පතුරුවන නිසා හෝ සංසාර දුකට ගෙන යන හෙයින් = ආයතනානි වේ. මෙය චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන (ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත) යන මේවාට නමකි. පෙර අයුරින්ම මෙහි “ඡ අජ්ඣත්තිකානි ආයතනානි” (ආධ්‍යත්මික ආයතන සය) යයි කියන ලදී. අන්‍ය වූ සයකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද
“මහණෙනි, භික්ෂුතෙම ධර්‍ම සයෙක්හි මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. කවර සයෙක්හිද යත්? ආධ්‍යාත්මික ආයතන සයෙහිය; මහණෙනි, මේ ධර්‍ම සයෙහි භික්ෂුතෙම මැනවින් කලකිරෙන්නේ -පෙ- කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි. උදෙසුම් සයෙකි. විසඳුම් සයෙකි’යි යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී යනුයි.
මෙහිද ආධ්‍යාත්මික ආයතන සය “මහණෙනි, ශුන්‍ය (හිස්) ගම යනු මේ ආධ්‍යාත්මික ආයතන සයට නමකි.” (සංයුත්ත නිකාය) යි වදාළ හෙයින් ශුන්‍ය වශයෙන් ද දිය බුබුළ, මිරිඟුව ආදිය මෙන් වැඩිකල් නොපවත්නා හෙයින් හිස් වශයෙන් ද වංචා කරන්නෙකු වශයෙන් ද මැනවින් දකිමින් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කොට මාරයාගේ නොදැකීමට එළඹේ. යම්සේ වදාළේද :-
ලෝකය දිය බුබුළක් සේත්, මිරිගුවක් සේත් දකින තැනැත්තා මරුවාට නොපෙනේ හෙවත් මරුවා එබඳු තැනැත්තා නොදකී” (ධම්මපදය) යනුයි.
සත්ත නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න විසඳීමෙන් සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ “සත්ත නාම කිං” (සත නම් කිම) යනුවෙන් තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ - හුදෙක් මහා ප්‍රශ්න විසඳීමේ දී (අංගුත්තර නිකාය - පඨම මහා පඤ්හ සුත්ත) සප්ත විඥාන ස්ථිතීන් දේශනා කරන ලද්දේ නමුදු යම් ධර්‍මයන්හි මැනවින් වැඩූ සිත් ඇති භික්ෂු තෙම දුක් කෙළවර කරන්නේ වේ ද එම ධර්‍මයන් දක්වන්නාහු “සත්ත බොජ්ඣඞ්ගා” (සප්ත බොජ්ඣඞ්ගයෝ) යයි විසඳති. මේ අර්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම වෙයි. යම්සේ වදාළේද -
“ගෘහපතියෙනි, කජඞගලා භික්ෂුණිය පණ්ඩිතය, කජඞගලා භික්ෂුණිය මහ පැණැතියක, ගැහැවියෙනි, ඉදින් තෙපි මා කරා එළඹ මේ අර්‍ථය විමසන්නහු නම් යම් පරිද්දෙකින් එය කජඞගලා භික්ෂුණිය විසින් විසඳන ලද නම් මම ද එපරිද්දෙන්ම විසඳන්නෙමි” යනුවෙනි.
එම භික්ෂුණිය විසින් ද මෙසේ ප්‍රකාශ කරන ලදී.
“ඇවැත්නි, භික්ෂුතෙම ධර්‍ම සතෙක්හි මොනොවට වැඩු සිතැතියේ -පෙ- ඉහාත්මයෙහිම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතෙක්හිද යත්? සප්ත බොජ්ඣඞ්ගයන්හිය. ඇවැත්නි, මේ ධර්‍ම සතෙහි මොනොවට වැඩූ සිත් ඇති භික්ෂුතෙම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සතෙකි. උදෙසුම් සතෙකි. විසඳුම් සතෙකියි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් දේශනා කරන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී” යනුවෙනි.
මෙසේ මේ අර්‍ථය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම යයි දත යුතුය.
එහි “සත්ත” යනු අඩු වැඩි වලක්වන සංඛ්‍යාව වෙන්කොට දැක්වීමයි. “බොජ්ඣඞ්ගා” යනු සති ආදී ධර්‍මයන්ට පර්‍ය්‍යාය පදයකි. මේ එහි පදාර්ථයයි. ලෞකික ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි උපදින ලීන, උද්ධචච, පතිට්ඨාන, ආයූහන, කාම, සුඛ, අත්තකිලමථානුයොග, උච්ඡේද, සස්සත, අභිනිවෙස ආදී නොයෙක් උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂ වූ සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා, සඞ්ඛ්‍යාත වූ මේ ධර්‍ම සාමග්‍රියෙන් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ අවබෝධ කෙරෙනුයි බෝධි වේ. ක්ලේශ සන්තාන නිද්‍රාවෙන් නැගිටියි. නැතහොත් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගනී. නැතහොත් නිර්‍වාණයම ප්‍රත්‍යක්‍ෂ කරයි යයි කියන ලද්දේ වෙයි. යම්සේ වදාළේද :- සත්ත බොජ්ඣඞ්ගයන් වඩා අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරගත්හ” යනුවෙනි. නැතහොත් කියන ලද ආකාරයට මේ ධර්‍ම සාමග්‍රියෙන් අවබෝධ කර ගනියිනුයි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ ද බෝධි නම් වේ. මෙසේ ඒ ධර්‍මසාමග්‍රි සඞ්ඛ්‍යාත බෝධියට අඞ්ග වූ හෙයින්ද “බොජ්ඣඞ්ග වේ. සේනාඞ්ග, රථාඞ්ග ආදිය මෙනි;
තවද “බොජ්ඣඞ්ග යනු කවර අර්‍ථයකින් බොජ්ඣඞ්ග වේද? සම්බෝධිය සඳහා හේතු වෙත්නුයි බොජ්ඣඞ්ග වේ. වටහා ගනිත්නුයි = බොජ්ඣඞ්ග වේ. අවබෝධ කරත්නුයි = බොජ්ඣඞ්ග වේ. පිබිදෙත්නුයි = බොජ්ඣඞ්ග වේ. යන පටිසම්භිදාවෙහි කියන ලද මේ ක්‍රමයෙන් ද බොජ්ඣඞ්ගයන්ගේ බොජ්ඣඞ්ගාර්ථය දත යුතුය. මෙසේ මේ සත්ත බොජ්ඣඞ්ගයන් වඩන්නේ බහුලව කරන්නේ නොබෝ කලකින්ම ඒකාන්ත නිර්‍වේදය ආදී ගුණ ලබන්නෙක් වෙයි. එය කරණකොට ගෙන මේ ආත්ම භාවයේදීම දුක් කෙළවර කරන්නෙක් වේ යයි කියනු ලැබේ. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී -