චත්තාරි නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීම කරණකොට ගෙන සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර ක්‍රමයටම තවත් ප්‍රශ්නයක් “චත්තාරි තාම කිං” (සතර නම් කිම?) යයි විමසති. එහිදී මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී කිසියම් තැනක පෙර සඳහන් අයුරින්ම සතර ආහාරයෝ අදහස් කරන ලදහ. යම්සේ වදාළේද :-
“මහණෙනි, භික්ෂුතෙම සතර ධර්‍මයෙක්හි මොනොවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ ද, කවර සතරෙක්ද යත්? සතර ආහාරයන්හිය; මහණෙනි, මේ සතර ධර්‍මයන්හි භික්ෂුතෙම මොනවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්‍රශ්නයකි, සතර උදෙසුමකි සතර විසඳුමකියි මේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.
කිසියම් තැනෙක්හි යම් ධර්‍මයන්හි මැනවින් වැසූ සිත පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ඒ සතර සතිපට්ඨානයෝ (අදහස් කරන ලදහ) කජඞ්ගලා භික්ෂුණිය යම්සේ වදාළේද?:
“ඇවැත්නි, සතර ධර්‍මයෙක්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්වයට පැමිණ ඉහාත්මයෙහිම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්? සතර සතිපට්ඨානයන්හිය. ඇවැත්නි, මේ සතර ධර්‍මයන්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්‍රශ්නයෙකි. සතර උදෙසුමකි. සතර විසඳුමෙකැයි මෙසේ යමක් කියන ලද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.
මෙහි වනාහි යම් ධර්‍මයක් අවබෝධ කරගැනීමෙන් ප්‍රතිවේධ කරගැනීමෙන් භව තෘෂ්ණාවගේ සිඳීම වේ ද යම්හෙයකින් ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ අදහස් කරන ලද්දාහු වෙත්ද නැතහොත් යම් හෙයකින් මේ ආකාරයෙන් විසඳන ලද්දේ මැනවින් විසඳන ලද්දේම වේ ද එහෙයින් තෙරුන් වහන්සේ “චත්තාරි” (සතර) යයි නැවත පිළිවදන් දී “අරිය සච්චානි” (ආර්‍ය්‍ය සත්‍යයෝ) යයි විසඳති. මෙහි ‘චත්තාරි’ යනු සඞ්ඛ්‍යාව වෙන්කොට දැක්වීමයි. “අරිය සච්චානි” යනු ආර්‍ය්‍ය වූ සත්‍යයෝය. වෙනස් නොවන, විසංවාද නොවන යන අර්‍ථයයි. යම්සේ වදාළේ ද :-
“මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ ස්වභාවය, නොඉක්මවන හෙයින් “තථ” වෙති. එයට විරුද්ධ නොවන හෙයින් “අවිතථ” වෙති. අන්‍ය සත්‍යයකට නොපෙරළෙන හෙයින් “අනඤ්ඤථ” වෙති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබේ’’ යනුයි.
නැතහොත් දෙවියන් සහිත ලෝකයා විසින් අවබෝධ කළයුතු හෙයින් එළඹිය යුතු හෙයින් (ආර්‍ය්‍ය සත්‍යය යයි) කියන ලද්දේ වෙයි. උත්සාහ කළයුතු තැන් ලෙස හැඳින්වෙන යහපතෙහි පවතින හෙයින් හෝ අයහපතෙහි නොපවතින හෙයින් හෝ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන් හා එක්වන හෙයින් හෝ ආර්‍ය්‍ය සම්මත බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයෝ මේවා අවබෝධ කරගනිත්. එම නිසා හෝ ආර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබෙත්. යම්සේ වදාළේද
මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙකි. -පෙ-මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයෝය. ආර්‍ය්‍යයෝ මේවා අවබෝධ කර ගනිති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබෙත්.” යනුයි.
තවද ආර්‍ය්‍ය වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යයෝය යන අර්‍ථයෙන් ද ආර්‍ය්‍ය සත්‍ය වේ. යම්සේ වදාළේද? :-
“මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි) -පෙ දෙවි මිනිසුන්ට තථාගතයන් වහන්සේ ආර්‍ය්‍ය වෙති. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබෙත්.” යනුයි.
නැතහොත් මේවා අවබෝධ කළ හෙයින් ආර්‍ය්‍යභාවය සිද්ධ වන නිසාද ආර්‍ය්‍ය සත්‍ය වේ. යම්සේ වදාළේ ද? –
“මහණෙනි, මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ඇති සැටියෙන් අවබෝධ කළ හෙයින් තථාගතයන් වහන්සේ අර්හත් සම්මා සම්බුද්ධ යයි කියනු ලැබේ” යනුයි.
මේ මෙහි පදාර්ථයයි. මේ ආර්‍ය්‍ය සත්‍යයන්ගේ අවබෝධයෙන් හා ප්‍රතිවේදයෙන් භව තෘෂ්ණාවෙහි සිදීම වේ. යම්සේ වදාළේද
“මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය දක්නා ලදී. පිළිවිදුනා ලදී. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය දන්නා ලදී. පිළිවිදුනා ලදී. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය දන්නා ලදී. පිළිවිදුනා ලදී. භව තෘෂ්ණාව සිඳින ලදී. භව රැහැන ගෙවිණ. දැන් පුනර්භවයක් නැත” යනුවෙනි.
පඤ්ච නාම කින්තිපඤ්හවණ්ණනා
මේ ප්‍රශ්න සතර විසදීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම තවත් ප්‍රශ්නයක් “පඤ්ච නාම කිං” (පහ නම් කිම) යයි විමසති. තෙරුන් වහන්සේ ‘පඤ්ච’ යයි පිළිවදන් දී “උපාදානක්ඛන්ධා” (උපාදානස්කන්ධයෝය) යයි විසඳති. එහි ‘පඤ්ච’ යනු ගණන වෙන්කොට දැක්වීමයි. උපාදානයෙන් හටගත් හෝ උපාදාන උපදවන හෝ ස්කන්ධයෝ “උපාදානක්ඛන්ධා” වේ. යම්කිසි රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණයක් ආශ්‍රව සහිත වේ ද දැඩිව අල්වා ගනු ලැබේ. මොවුන්ට මෙය නමකි. පෙර ක්‍රමයටම මෙහිදී “‘පඤ්චුපාදානක්ඛන්ධා” යයි කියන ලදී. වෙනත් පහකගේ නොමැතිවීම නිසා නොවේ. යම්සේ වදාළේද :-