තීණි නාම කින්තිපඤ්හවණ්ණනා
දැන් මේ ප්‍රශ්න විසඳීමෙන් ද සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර අයුරින්ම “තීණි නාම කිං” (තුන නම් කිම) යයි තවත් ප්‍රශ්නයක් විමසති. තෙරුන් වහන්සේ “තීණි” යයි පිළිවදන් දී නැවත විසඳිය යුතු අර්ථයෙහි ලිඞ්ගයට අනුව සඞ්ඛ්‍යාව දක්වන්නාහු “තිස්සො වෙදනා” (වේදනා තුනය) යයි විසඳති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් “වේදනා තුන” යයි දේශනා කරන ලද්දේ ද මේ අර්ථය මම “තීණි” යයි විශ්වාස කරමි’යි දක්වමින් වදාළේ යයි මෙසේද මෙහි අර්ථය දත යුතුය. පටිසම්භිදා ප්‍රභේද වශයෙන් දේශනා විලාසයන්ට පැමිණී ඇත්තන්ගේ දේශනාවෝ විවිධ ස්වරූප ඇත්තාහ. සමහරු වනාහි “තීණි”යන මෙය අධික පදයකැයි කීහ. පෙර ක්‍රමයටම මෙහි “තිස්සො වෙදනා” (වේදනා තුනකි) යි දේශනා කරන ලදී. වෙනත් තුනක් නොමැති හෙයින් නොවේ. යම්සේ වදාළේද :-
“මහණෙනි, ධර්ම තුනෙක්හි මහණතෙම මොනොවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරනුයේ වෙයි. කවර තුනෙක්හි ද යත්? වේදනා තුනෙහිය. මහණෙනි, මේ ධර්ම තුනෙහි මහණතෙම මොනොවට උකටලී වනුයේ -පෙ- දුක් කෙළවර කරනුයේ වෙයි. ප්‍රශ්න තුනෙකි, උදෙසුම් තුනෙකි, විමසුම් තුනෙකියි මෙසේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා කියන ලදී” යනුයි.
මෙහිදී ද “විදිය යුතු යම් කිසිවක් වේ ද ඒ සියල්ලම දුකෙහි ඇතුළත් යයි කියමි”යි වදාළ සූත්‍රානුසාරයෙන් හෝ
“යම් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් සැප වේදනාව දුක් වශයෙන් දුටුවේ වේ ද දුක්ඛ වේදනාව ශල්‍යයක් මෙන් දුටුවේ වේ ද ශාන්ත වූ ඒ උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දුටුවේ වේ ද (ඉතිවුත්තක පාලි) යනුවෙන්
මෙසේ දුඛදුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා යන මේවායේ අනුසාරයෙන් හෝ ත්‍රිවිධ වේදනාවන්ගේ දුක් සහිත බව දැකීමෙන් සැපය යන හැඟීම අත්හැර දුක අනුව බැලීම අනුසාරයෙන් කලකිරෙන්නේ පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ. පරමාර්ථ විසුද්ධියට පැමිණේ යයි දත යුතුය. යම්සේ වදාළේද :-
“යමෙක් යම්විටෙක සියලු සංස්කාර දුක් යයි නුවණින් දැනගනී ද එවිට දුක ගැන කලකිරේ. එයම පිරිසිදුවීමට (නිවන් ලැබීමට) මගය.” (ධම්ම පදය)
චත්තාරි නාම කින්තිපඤ්හවණ්ණනා
මෙසේ මේ ප්‍රශ්න විසඳීම කරණකොට ගෙන සතුටු වූ සිත් ඇති ශාස්තෲන් වහන්සේ පෙර ක්‍රමයටම තවත් ප්‍රශ්නයක් “චත්තාරි තාම කිං” (සතර නම් කිම?) යයි විමසති. එහිදී මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී කිසියම් තැනක පෙර සඳහන් අයුරින්ම සතර ආහාරයෝ අදහස් කරන ලදහ. යම්සේ වදාළේද :-
“මහණෙනි, භික්ෂුතෙම සතර ධර්මයෙක්හි මොනොවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ ද, කවර සතරෙක්ද යත්? සතර ආහාරයන්හිය; මහණෙනි, මේ සතර ධර්මයන්හි භික්ෂුතෙම මොනවට උකටලී වන්නේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්රශ්නයකි, සතර උදෙසුමකි සතර විසඳුමකියි මේ යමක් කියන ලද්දේ ද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.
කිසියම් තැනෙක්හි යම් ධර්මයන්හි මැනවින් වැසූ සිත පිළිවෙළින් දුක් කෙළවර කරන්නේ වේ ද ඒ සතර සතිපට්ඨානයෝ (අදහස් කරන ලදහ) කජඞ්ගලා භික්ෂුණිය යම්සේ වදාළේද?:
“ඇවැත්නි, සතර ධර්මයෙක්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ මොනොවට පර්‍ය්‍යන්තය දක්නා සුලු වූයේ සම සභාගත්‍වයට පැමිණ ඉහාත්මයෙහිම දුක් කෙළවර කරනුයේ වෙයි. කවර සතරෙක යත්? සතර සතිපට්ඨානයන්හිය. ඇවැත්නි, මේ සතර ධර්මයන්හි භික්ෂුතෙම මොනොවට වැඩු සිත් ඇත්තේ -පෙ- දුක් කෙළවර කරන්නේ වේ. සතර ප්‍රශ්නයෙකි. සතර උදෙසුමකි. සතර විසඳුමෙකැයි මෙසේ යමක් කියන ලද එය මේ සඳහා දේශනා කරන ලදී. (අංගුත්තර නිකාය) යනුයි.