9. වට්ටක ජාතකය (394)
‘පණිතං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, එක් ලෝල භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙත කැඳවූ, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ ලෝල භික්‍ෂුවක්ය, යනු සැබෑ දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එය එසේ යැ’යි, ඒ භික්‍ෂුව පිළිගත්තේය. ‘මහණ, ඔබ මෙසේ ලොල් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද බරණැස් නුවර ඉපදී ඇතුන්-අසුන්-ගවයන්-මිනිසුන් යන මේ සත්ත්වයන්ගේ කුණපවලින් තෘප්තියට පත් නොවී, ඊටත් වඩා වැඩිමනත් දේ ලැබීම සඳහා, වනයට පිවිසියේදැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වටු ජාතියෙහි ඉපිද කැලෑ ප්‍රදේශයක රළු තණකොළ ඇට ආහාරයට ගනිමින් ජීවත් විය. එකල බරණැස් නුවර විසු, එක් කෑදර කපුටෙක් ඇත් කුණප ආදියෙන් සෑහීමකට පත් නොවී, මීට වඩා වැඩිමනත් යමක් ලබන්නෙමි’යි සිතා මහ වනයට පිවිස පලවැල ආදිය කමින්, ඒ මේ අත ඇවිද යනවිට බෝසතුන් දැක, ‘මේ වටුවා විශාල සිරුරක් ඇත්තෙකි. එකත් එකටම මූ මිහිරි ආහාර වර්ග කනවා විය යුතුය. එබැවින් මුගෙන් ඒ ගැන අසා, ඒවා ම ආහාරයට ගෙන මම ද ඇඟ හදා ගන්නෙමි’යි, සිතා බෝසතුන් වසා සිටි අත්තට, උඩින් පිහිටි අත්තෙහි වසා, බෝසතුන් අමතා ‘පින්වත් වටුවාණෙනි, කුමන ප්‍රණීත වූ ආහාරයක් ඔබ අනුභව කරහිද? කෙසේ නම් සිරුර මහත් කොට ගත්තෙහිදැ’යි, විචාළේය. ඊට පිළිතුරු දෙමින්, කපුටා සමග පිළිසඳර කථාවක ලීලාවෙන් බෝසත් වටුවා මෙසේ කීවේය.
පණීතං භුඤ්ජසෙ භත්තං - සප්පි තෙලඤ්ච මාතුල,
අථ කෙන නුවණ්ණෙන - කිංසා තිමසි වායසාති
කපුටු මාමේ, ඔබ බත්-ගිතෙල්-තෙල් ආදී වූ ප්‍රණීත ආහාර අනුභව කරහිය. එහෙත් කුමන හේතුවකින් කෙට්ටු වෙහිද?
මෙහි ‘භත්තං’ යනු ‘මිනිසුන්ගේ බොජුන් සඳහා පිළියෙල කරන ලද බත්, යන අර්ථයි. ‘මාතුල’ යනුවෙන් ‘ප්‍රිය උපදවන ආකාරයට අමතයි’ යන අර්ථයි. ‘කිසො’ යනු ‘මස් ලේ අඩු’ යන අර්ථයි.
ඔහුගේ වචන ඇසූ කපුටා, මෙසේ පැවසීය.
2. සතුරන් මැද වසන, ඔවුන් අතුරෙහි කෑම සොයන, නිතර කලකිරීමෙන් යුතු හදවතක් ඇති, කපුටාට පුෂ්ටිමත් බවක් කොයින්ද?
3. ‘ධංක’ නම් වූ කපුටෝ, නිතර බියෙන් පසුවෙති. පව්කමින් ලබන ලද ආහාර, නො පිනවයි. වටුව, ඒකාන්තයෙන් ඒ නිසා මම කෙට්ටු වෙමි.
4. වටුව, ඔබ රළු වූ ද, තෙල් අඩු තෘණ බීජ අනුභව කෙරෙහි. එසේ වුවත් ඔබ කවර කරුණක් නිසා, මහත් වෙහිද?
මෙහි ‘දළ්හියං’ යනු ‘මෙබඳු ස්වරූප ඇති කපුටකු වන මගේ මහත් බවක්, පුෂ්ටිමත් බවක් කොයින්ද?’ යන අර්ථයි. ‘උබ්බෙධිනො’ යනු ‘බියෙන් පසුවන’ යන අර්ථයි. ‘ධංක’ යනු ‘කපුටන් සඳහා කියන නමකි. ‘පාපෙන කම්මුනා ලද්ධො’ යනු කාක්කකු විසින් මිනිසුන්ට අයත් දෑ පැහැර ගැනීම් වශයෙන් වූ, පව්කමින් ලබන ලද ආහාර’ යන අර්ථයි. ‘න පිණෙති’ යනු ‘සන්තර්පණය නොකෙරේ’ යන අර්ථයි. ‘තෙනස්මි’ යනු ‘ඒ කාරණය නිසා මම කෙට්ටු වෙමි’ යන අර්ථයි. ‘අප්පස්නෙහානි’ යනු ‘ඕජෝ ගුණය අඩු’, යන අර්ථයි. කපුටා බෝසතුන් ප්‍රණීත භෝජන කනු ඇතැයි යන හැඟීමෙන්, වටුවන්ට ස්වභාවයෙන් ලැබෙන ගොදුරු ගැන සලකා ගෙන එසේ කීවේය.
ඒ අසා බෝසත් තෙමේ, තමාගේ මතහ්වීමට හේතුව පැහැදිලි කරමින් මෙසේ කීවේය.
5. අල්පේච්ඡතාව නිසා ද, ලොකු ලොකු සිතිවිලි නැති බැවින් ද, වැඩිදුර ගමන් නැති නිසාද, ලද දෙයින් යැපෙමින් වසමි. කපුට, මා මහත් වූයේ එබැවිනි.
6. අල්පේච්ඡ වූ, සැප ගැන ලොකුවට නො සිතන, පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ ජීවිත පැවැත්ම, මැනවින් පවත්වාගෙන යා හැකිය.
මෙහි ‘අප්පිච්ඡා’ යනු ‘ආහාරයෙහි අල්පේච්ඡතා ඇති බැවින්ද, ආශා නැති බැවින්ද, හුදෙක් ශරීරයේ පැවැත්ම සඳහා ම ආහාර ගන්නා බවය’ යන අර්ථයි. ‘අප්පචින්තාය’ යනු ‘අද කොහෙන් ආහාර ලබන්නෙම්ද? හෙට කොහෙන් දැයි මෙසේ ආහාර ගැන සිතිවිල්ලක් නැති බැවින්’ යන අර්ථයි. ‘අවිදූර ගමණෙන ච’ යනු ‘අසවල් තැන මිහිරි ආහාර ඇතැ’යි සිතා ඒ වෙනුවෙන් දුර ගමන් නොයන’, යන අර්ථයි. ‘ලද්ධා ලද්ධෙන’ යනු ‘රළු හෝ වේවා, ප්‍රණීත හෝ වේවා යමක් ලැබුණි නම් එයින් ම යැපෙන’ යන අර්ථයි. ‘ථූලො තෙනස්මි’ යනු ‘ඒ කාරණා සතර නිසා තර වූයෙමි’ යන අර්ථයි. ‘වායස’ යනු ‘එනමින් කපුටා අමතයි’ යන අර්ථයි. ‘අප්පචින්ති සුඛස්ස’ යනු ‘ආහාර ගැන සිතිවිලි නැති, අල්ප වූ අදහස්, ‘උතුමන්ගේ සැපය මොහුට ඇතැ’යි යන අර්ථයෙන් ‘අප්පචින්තී සුඛ’ නම් වේ. එවැනි සැපයෙන් යුතු ඒ පුද්ගලයාගේ’ යන අර්ථයි. ‘සුසංගහිත පමාණස්ස’ යනු ‘මෙපමණක් අනුභවකොට දිරවා ගන්නට හැකි වන්නෙමැ’යි මැනවින් ප්‍රමාණවත් කොට ආහාර ගන්නා පුද්ගලයාට’ යන අර්ථයි. ‘වුත්තී සුසමුදානියා’ යනු ‘එබඳු පුද්ගලයාගේ ජීවිත පැවැත්ම සැපසේ පවත්වා ගෙන යන්නට, මැනවින් පාලනය කරගන්නට හැකිය’ යන අර්ථයි.