10. කාක ජාතකය (395)
‘චිරස්සං වත පස්සාම’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා ලෝක භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව මීට ඉහත ‘වට්ටක’ ජාතකයේදී විස්තර කරන ලද කථාවට සමානය. ඊට අයත් අතීත කථාව මෙසේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ පරෙවි කුලයේ ඉපිද, බරණැස් සිටුතුමාගේ මුළුතැන්ගෙයි, වෙසෙසින් සාදන ලද කූඩුවක වාසය කරයි. කපුටෙක් ද එහි පැමිණ බෝසත් පරෙවියා සමග මිතුරු වී එහිම, කල් ගෙවන්නට පටන් ගත්තේය. මේ හා සමාන ම විස්තරයක් එනම්, කපුටකු හා පරෙවියකු අතරේ පැවති මිතුරුකමක් ගැන මීට ඉහත දක්වන ලද ‘කපෝත’ ජාතකයෙහිදී විස්තර කරන ලදි. ඊට අනුව සියලු විස්තර තේරුම් ගත යුතුය. එහිදී අරක්කැමියා කපුටාගේ පිහාටු ගලවා දමා, ඔහු විසින් සාදාගන්නා ලද ඖෂධ සංයෝගය, කපුටාගේ ඇඟ පුරා තවරා කෙළවරකින් සිදුරු කරන ලද සිප්පි කටුවක් කපුටාගේ බෙල්ලෙහි මාලයක් මෙන් පළඳා, නැවත ඌ හුන් කූඩුව තුළම තැබුවේය. බෝසත් තෙමේ මේ කිසිත් නොදැන වනයේ සිට සිය කූඩුව වෙත පැමිණ, සිය මිතුරු කපුටා දැක. ඌට විහිළු කරමින් මෙසේ කීය.
චිරස්සං වත පස්සාම - සහායං මණි ධාරිනං,
සුගතාය මස්සු කුත්තියා - සොභතෙ වත මෙ සඛාති
සුගතාය මස්සු කුත්තියා - සොභතෙ වත මෙ සඛාති
ඒකාන්තයෙන්, බොහෝ කලෙකින් මැණිකක් පැළඳි මිතුරකු දුටුවෙමි. මගේ යාලුවා රැවුල බෑම නිසා, ඒකාන්තයෙන් ශෝභමානය.
මෙහි ‘මස්සුකුත්තිය’ යනු ‘මේ රැවුල කැපීමේ ක්‍රියාව නිසා’ යන අර්ථයි.
ඒ අසා සිටි කපුටා පරෙවියාට පිළිතුරු දෙමින්, මෙසේ පැවසීය.
2. වැඩ කටයුතුවල නිරතව සිටි මම, වැඩුණු ලෝම-නිය ඇත්තේ වෙමි. හුඟ කලෙකින් කරණවෑමියකු හමු වී, ඒ ලෝම ආදිය ඉවත් කරවීමි.
මෙහි ‘අහං කම්මෙසු ව්යාවටො’ යනු ‘මම මේ රාජකාරිවල යෙදී සිටීම හේතුවෙන් ඉඩක් නොලද නිසා, වැඩුණු කිහිලි රෝම හා නිය ඇත්තේ වීමි’යි කියයි’ යන අර්ථයි.
නැවත බෝසත් පරෙවියා මෙසේ කීවේය.
3. යම් හෙයකින් කරණවෑමියකු ඉතා කලාතුරකින් ලැබ, ලෝම බැහැර කරවූයෙහිය. තවද මිතුර, දැන් ඔබේ ගෙලෙහි කුමක් නම්, කිණි-කිණි ගායිද?
ඔබ බොහෝ කලෙකින් කපුවකු ලැබ, ලෝම ඉවත් කරවූවෙහිය. ලොම් බැහැර කරවූවෙහිය. තවද මිත්‍රය, දැන් ඔබේ ගෙලෙහි කුමක් නම් කිණි-කිණි ගායිද? යන අර්ථයි.
ඊට පිළිතුරු වශයෙන්, කපුටා මෙසේ උත්තර දුන්නේය.
4. සියුමැලි මිනිසුන්ගේ ගෙලවල මැණික් එල්ලෙයි. ඔවුන්ට අනුව මම ද ක්‍රියා කළෙමි. නුඹ එය සෙල්ලමකට කළ දෙයක් ලෙස, නො සිතව.
5. ඉදින් මාගේ මැනවින් කරන ලද රැවුල බෑම ඔබට ප්‍රිය නම්, සබඳ ඔබට ද එය කරවන්නෙමි. මැණිකක් ද ඔබට දෙමි.
මෙහි ‘මණි’ යනු ‘මිනිසුන්ගේ ගෙලවල මෙබඳු එක් මැණිකක් බැගින් එල්ලෙයි’ යන අර්ථයි. ‘තෙසාහං’ යනු ‘මම ඔවුන්ට’ යන අර්ථයි. ‘මා ත්වං මඤ්ඤි’ යනු ‘ඔබ වනාහි මා විසින් මෙය විහිළුවට කරන ලද්දකැ’යි නො සිතව’ යන අර්ථයි. ‘පියහසි’ යනු ඉදින් මාගේ මේ රැවුල බෑමේ ක්‍රියාවට ඔබ කැමති වෙහිද?’ යන අර්ථයි.
ඉන්පසු බෝසත් පරෙවියා අවසාන වශයෙන්, මෙසේ කීවේය.
6. මැණිකට සුදුස්සා ඔබ ම ය. මනා වූ රැවුල බෑමට ද ඔබ ම සුදුසුය. ඔබේ දර්ශනය ද, මට ප්‍රියය. ඔබ හා කථාකොට මම යන්න යමි.
මෙහි ‘මණිනා’ යනු ‘මැණිකට’ යන අර්ථයි. මෙහි ‘මණිනො’ යන මේ පදය ම නිවැරදි පාඨය විය හැකිය. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම් ‘සබඳ, කවුඩුව, මේ මැණිකට සුදුස්සා ඔබමය. මෙලෙස රැවුල කැපීමට ද ඔබ සුදුසුය. මට වනාහි ඔබේ නොදැක්ම ම පියය. එබැවින් ඔබ අමතා මම යමි’ යන අර්ථයි.
බෝසත් පරෙවියා මෙසේ කියා අහසට පැන, අන් තැනක් බලා පියඹා ගියේය. කපුටා වනාහි ටික වේලාවකට පසු, එතැන ම ජීවිතක්ෂයට පත්විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව මෙසේ ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී ඉහත කී ලෝල භික්ෂුව අනාගාමි ඵලයෙහි පිහිටියේය. එදා කපුටා නම් මෙකී ලෝල භික්ෂුවය. පරෙවියා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
දෙවෙනි සේනක වර්ගය යි.
ඡක්ක නිපාත වර්ණනාව නිමියේය.
7. සත්තක නිපාතය
1. කුක්කු වර්ගය
1. කුක්කු ජාතකය (396)
‘දියඩ්ඪ කුක්කු’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, රජුට දුන් අවවාදයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තේසකුණ’ ජාතකයෙහි විස්තර වේ. එහි අතීත කථාව මෙසේය.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතිවරයා විය. අගතියෙහි පිහිටි රජතුමා අධර්මයෙන් රාජ්‍ය පාලනය ගෙන ගියේය. ජනපදවාසීන් පෙළා ධනය ම එකතු කිරීම, රජුගේ අභිලාෂය විය. බෝසත් ඇමතිතුමා රජුට අවවාද කරනු සඳහා ඊට අවස්ථාවක් සොයමින් සිටියේය. රජතුමාගේ මඟුල් උයනෙහි රජු විසින් අරඹන ලද විවේකාගාරයක් විය. එහි කටයුතු අඩකින් අවසන් ව තිබුණි. කුමක් හෝ හේතුවකින් හෝ එම විවේකාගාරයෙහි වහලයේ කටයුතු පමා වී තිබුණි. එහි වහලයේ දැව කර්ණිකාව සකස්කොට, පරාල යොදා තිබුණ මුත්, එකදු පරාලයක්වත්, කර්ණිකාවට සම්බන්ධකොට තිබුණේ නැත. කිසියම් දවසක උයන්කෙළි පිණිස රාජකීය උද්‍යානයට සපිරිවරින් ගිය රජතුමා, එහි දී අඩක් නිමකොට තිබූ ශාලාව වෙත ගොස්, එය විවෘතකොට ඇතුළට පිවිස වහලය පිරික්සා කොට බලා ‘වහලේ කැණිමඬල සිය හිස මත වැටේ’ය යන බියෙන් වහා ශාලාවෙන් ඉවතට පැන, එලියේ සිට එය නැවත නරඹා ‘කිමෙක්ද? කුමක ආධාරයෙන් මේ කැණිමඬල නො වැටී මෙසේ පවතීද? කුමක් නිසා පරාල ඉවතට නො ඇදී මෙසේ පවතීදැ’යි කල්පනා කරමින්, බෝසතුන්ගෙන් ඒ ගැන විමසමින් මෙසේ පැවසීය.
දියඩ්ඪකුක්කු උදයෙන කණ්ණිකා - විදත්ථියො අට්ඨපරික්ඛි පන්තිනං,
සසිංසපා සාරමයා අඵෙග්ගකා - කුහිං ඨිතා උපරිතො න ධංසතී ති
සසිංසපා සාරමයා අඵෙග්ගකා - කුහිං ඨිතා උපරිතො න ධංසතී ති