2. සේනක වර්‍ගය
1. ඛරපුත්ත ජාතකය (386)
‘සච්චං කිරෙවමාහංසු’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහිකල බිරිය විසින් පොළඹවන ලද භික්‍ෂුවක නිමිති කොටගෙන වදාළ සේක. ඒ භික්‍ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, තොප කලකිරුණු බව සැබෑවක් දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ කුමක් කරණ කොටගෙන කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහිකල බිරිය නිසාය.’ ‘මහණ, මේ තැනැත්තිය තොපට අවැඩ කෙළේ දැන් පමණක් නොවේ, මීට පෙර ද ඔබ මෑ නිසා ගින්නට පැන මැරෙන්නට ගොස්, පඬිවරුන් නිසා දිවි ගලවා ගත්තෙහි යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර ‘සේනක’ නමින් රජෙක් රාජ්‍යය කෙළේය. එකල අප බෝසත් තෙමේ, දෙව්ලොව ශක්‍රයා වී ඉපිද සිටියේය. එකල මේ සේනක රජතුමා කිසියම් නාග රාජයකු සමග මිත්‍රභාවයක් ඇති කොටගෙන සිටියේය. මේ මිත්‍රභාවය ඇති වූයේ අහම්බෙනි. දිනක් ඒ නා රජතුමා සිය නාග භවනයෙන් නික්ම අවුත්, සේනක රජතුමාගේ රාජකීය උයන සමීපයෙහි ගොදුරු සොයමින් සැරි සරයි. මේ දුටු ගම්දරුවෝ පිරිසක් ‘මෙන්න නයෙක් යැ’යි, කියමින් ගල්කැට, කෝටු ආදියෙන් නාග රාජයාට පහර දෙන්නට පටන් ගත්හ. මෙවේලෙහි සේනක රජතුමා උයන් කෙළියට යමින් මේ මාර්ගය දිගේ එමින් සිටියේය. දරුවන් එක් තැනකට රංචු ගැසෙමින්, ඒ මේ අත දුවමින් දඟලනු දුටු රජතුමා රාජ පුරුෂයන් අමතා ‘පුරුෂයෙනි, අර ගම්දරුවෝ කුමක් කෙරෙත්ද, යනු සොයා බලවු යැ’යි අණ කෙළේය. දරුවන් සිටි තැනට ගිය රාජ පුරුෂයෝ, සොයා බලා, කරුණු වටහාගෙන, රජු සමීපයට අවුත් දේවයන් වහන්ස, ඔවුහු එක් නයෙකුට හිංසා කෙරෙති’යි, පැවසූහ. එවිට රජතුමා රාජ පුරුෂයන් ලවා ගම්දරුවන් පලවා හැර, නාග රාජයා මුදවා ගත්තේය. ඉන් අනතුරුව රජතුමා යන්නට ගිය ගමන නැවත ආරම්භ කෙළේය. ඉහත සඳහන් සිද්ධිය සිදුවූ දා මැදියම් රැයේ, සේනක රජතුමාගේ සිරියහන් ගබඩාවට අමුත්තෙක් පැමිණියේය. ඒ බලසම්පන්න නාග රාජයෙකි. නාගරාජයා ඉතා වටිනා මැණික් පොදියක් සේනක රජතුමාට පිළිගන්වා ‘රජතුමනි, අද මම ඔබතුමා නිසා, ජීවිතය ලැබුවෙමි. ඔබතුමා නොඑන්නට අද මා මළවුන් අතරය. එබැවින් ඊට තුටුපඬුරු වශයෙන් මේවා ගනු මැනවැ’යි කීය. සේනක රජතුමා නාග රාජයාගේ කථාවට අතිශයින් පැහැදුනේය. මිනිස් වෙසින් නාගරාජයා පැමිණ සිටි බැවින්, මුලදී නාගරාජයාගේ කථාව තේරුම් ගැනීමට සේනක රජතුමාට මදක් දුෂ්කර විය. මේ සිද්ධියෙන් පසු රජවරු දෙදෙනාම, ප්‍රාණසම මිත්‍රයෝ වූහ. දැන් නාගරාජයා නිතර නිතර සේනක රජුගේ රාජ මාලිගයට පැමිණෙයි. කිසියම් දිනෙක නාගරාජයා සිය මිතුරා වන සේනක රජු බැහැදැකීමට පිටත් වන්නට සූදානම් වී, තමාට අයත් නාග මානවිකාවන් අතරෙහි හුන් තෘප්තියට නොපැමිණෙන, කාමයෙහි ගිජු වූ, එක් නාග මානවිකාවක් ද කැටුව, සේනක රජු හමුවට පැමිණියේය. නාග මානවිකාව සේනක රජුගේ රැකවරණය යටතට පත්කළ නාගරාජයා, රජුට ඈ ගැන සියලු තොරතුරු කියා, ඇය හික්මවා ගැනීම සඳහා ටික කලකට මෙහි ගෙන ආ බව පැවසීය. එසේ නාග මානවිකාව සේනක රජුට භාර කළ නාගරාජයා, ‘ප්‍රිය රජතුමනි, ඔබට පෙනෙන මානයේ මෑ තබාගත මැනව. යම් විටෙක ඇය වෙස්වළා ගතහොත්, ඔබට ඇය දැකගත නොහැකිය. එවිට ඔබ මේ මන්ත්‍රය මතුරනු මැනවි. ඒත් සමගම ඇය සිටින තැන ඔබට පෙනී යනු ඇතැ’යි, කියා කිසියම් මන්ත්‍රයක් රජුට ඉගැන්වීය.
එක් දවසක් ජල ක්‍රීඩාවට යනු සඳහා සූදානම් වූ රජතුමා, ඊට ඉහත කී නාග මානවිකාව ද, එකතුකොට ගත්තේය. උයනට ගිය මේ රාජකීය පිරිස එහි මඟුල් පොකුණට බැස නාන්නට පටන් ගත්හ. රජතුමාත් නාග මානවිකාවත් පොකුණ තුළ ජල ක්‍රීඩා කරමින් නාන අතරතුරේ සෙසු අය පොකුණ අවට ආරක්ෂාව පිණිස රැඳී සිටියහ. මේ අතර අහම්බෙන් මෙන් පොකුණෙහි සිටි දිය නයකු දුටු නාග මානවිකාව ඌ කෙරෙහි පිළිබඳ සිත් ඇතිව, වහා සිය මිනිස් වෙස් අතහැර නාග වෙස් ගෙන, ඒ දිය නයා සමග වරදෙහි යෙදුනාය. රජතුමා ඇය නොදැක ‘කොහි අතුරුදහන් වූවාදැ’යි සොයන්නට විය. පසුව ඇය සොයාගත නොහැකි වූ තැන රජතුමා මන්ත්‍රය මතුරා, අවට විමසා බැලීය. ඇය හුන් ආකාරය දුටු රජතුමා ඉන් කිපී, පොකුණ ළඟ තිබූ උණ පතුරක් ගෙන, ඇයට තැලුවේය. එයින් කෝපයට පත් හැපින්න, වහා නාග ලෝකයට ගියාය. ඈ දුටු නා රජතුමා ‘තී කුමක් නිසා හදිසියේ මෙහි පැමිණියෙහිදැ’යි ප්‍රශ්න කෙළේය. ‘දේවයිනි, ඔබතුමාගේ මිත්‍රයා ඔහුගේ වචනය මා ගණනකට නොගත්තා යැ’යි මා කෙරෙහි කෝපව පිටට පහර දුන්නේයැ’යි කී නාග මානවිකාව තමාගේ පිට රජතුමාට පෙන්නුවාය. ඇත්ත ඇති සැටියෙන් නොදත්, නා රජතුමා එවේලේම නාග මානවකයන් සතර දෙනකුන් ළඟට කැඳවා, ‘මානවකයෙනි, තෙපි වහා පිටත්ව යවු, සේනකයාගේ යහන්ගැබට පිවිස, එකවිට විෂ දුම් නිකුත් කොට ඔහුට හානි පමුණුවවු යැ’යි, ඔවුන්ට කළයුත්ත කියා දී, නාග ලොවින් පිටත්කොට එවීය. එදා රාත්‍රී සේනක රජතුමා සැතපීම සඳහා, සිය සිරියහන් ගැබට ගියේය. සිරි සයනයෙහි වැදහොත් රජතුමා, දහවල් මඟුල් පොකුණේ දී සිදුවූ සිද්ධිය ගැන, කණගාටු වෙමින් හුන්නේය. මේ මොහොතේ විශාල නාග රාජයෝ සතර දෙනෙක් යහන් ගැබේ සතර පැත්තෙන් සැඟවී, අපේක්‍ෂා සහගතව බලා හුන්හ. එවිටම රාජදේවිය රජුගේ යහන වෙත පැමිණියාය. දේවිය දුටු රජතුමා, සොඳුර, කාරණයක් දන්නෙහිදැ’යි ඇගෙන් ඇසුවේය. ‘නො දනිමි, දේවයන් වහන්ස’ ‘සොඳුර, නාග මානවිකාව මා සමග අමනාපව මෙහෙන් පැන ගියාය. අද මා සමග දියකෙළියට මඟල් පොකුණට ගිය ඇය, එහි හුන් දිය නයකු සමග සම්බන්ධයක් ඇතිකොට ගෙන, මගේ අතටම හසු වූවාය. මම එතැනදී ම ඇයට නිසි දඬුවම් දුන්නෙමි. ඉන් කිපුණු ඇය, නාග භවනයට පෙරළා යන්නට ඇතැයි මම සිතමි. එය මට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඇය මා මිත්‍ර නා රජතුමාට කුමක් කියා ඇත්දැ’යි මම නොදනිමි. මට බිය ඈ විසින් අප දෙදෙනාගේ මිත්‍ර භාවය සිඳ දමනු ලැබේද, යන මේ කාරණය ගැන යැ’යි, රජතුමා දේවිය සමග කීවේය.
රජතුමා වෙහෙසන්නට සූදානමින් හුන් නාග මානවකයෝ රජුගේ මුළු කථාවම ශ්‍රවණය කොට, ස්වකීය අදහස මොහොතකින් වෙනස් කොට, වහ-වහා නාග භවනයට පිටත්ව ගොස්, නා රජු හමුවේ සේනක රජතුමා කී සියල්ල අකුරක් නෑර පැවසූහ. තම ප්‍රාණප්‍රිය මිතුරාට තමාගෙන් සිදුවන්නට ගිය අනර්ථය ගැන, නා රජතුමා මහත් සංවේගයට පැමිණියේය. එය ඉවසිය නොහුණු තැන, එවේලේම තීරණයකට ආ නා රජතුමා තෑගිබෝග ද ගෙන, සැණෙකින් නාග ලෝකයෙන් පිටත් වී සේනක රජතුමාගේ සිරියහන් ගබඩාවෙහි පෙනී සිටියේය. දේවිය යහන් ගැබෙන් පිටමං කළ සේනක රජතුමා ඉමහත් භක්තියෙන් සිය මිතුරා පිළිගත්තේය. එවිට වරදකට හසුවූවකු මෙන් කථාකළ නා රජතුමා, නාග මානවිකාව තමාට කී දෑත්, තමා සේනක රජුට එරෙහිව ගන්නට යෙදුණු දැඩි පියවරත්, ඒ නිසා ම සිද්ධියේ යථා තත්ත්වය දැන ගන්නට ලැබුණු ආකාරයත්, යන මේ සියල්ල ම සිය මිතුරා වන සේනක රජුට පැහැදිලි කෙළේය. මෙයින් නොනැවතුණු නා රජතුමා, සේනක රජු සමා කරවාගෙන, ‘සබ්බරුත ජානන’ නම් වූ බලසම්පන්න මන්ත්‍රයක් සේනක රජුට දී, ‘මා මිත්‍ර සේනක රජතුමනි, මගෙන් සිදුවූ වරදට දඬුවම් වශයෙන් මේ මන්ත්‍රය ගනු මැනවි. මෙය ඉතා වටිනා මන්ත්‍රයකි. මෙය සිහි කළ පමණින් ඔබට ලොව සියලුම සතුන් කථා කරන භාෂාව වහා වැටහේ. එහෙත් මේ වටිනා මන්ත්‍රය කිසිවකුට නොදිය යුතුය. යම් විදියකින් ඔබ මේ මන්ත්‍රය කාට හෝ කියන්නට යෙදුනොත්, ඒ නිසා ම ඔබට එදාම ගින්නකට පැන, දිවි නහ ගන්නට සිදුවනු ඒකාන්තය. එබැවින් රජතුමනි, පණට ආදරය ඇතොත්, මේ මන්ත්‍රය කිසිවෙකුට නොදෙනු මැනවැ’යි කීවේය. ‘යහපති නා රජතුමනි’යි කී සේනක රජතුමා රජු කී සියල්ල ඒ අයුරින්ම පිළිගත්තේය. සේනක රජතුමා ‘සබ්බරුත ජානන’ මන්ත්‍රය උගත් දා පටන් කුහුඹුවන්ගේ භාෂාව පවා, මැනවින් තේරුම් ගනී. එය රජුට විනෝදයක් ද, මහත් අස්වැසිල්ලක් ද විය.
එක් දවසක් උඩුමහල්තලයට වී සේනක රජතුමා කැවිලි ආදී වූ, අතුරුපස භෝජනයක් ගනිමින් හුන්නේය. කැවිලි කන රජුගේ ඇඟිලි අතරින් මීපැණි බිඳක් ද, පැණි බින්දුවක් ද, කැවුම් කැබැල්ලක් ද බිම වැටුණි. එතැනට පැමිණි කූඹියෙක් ඒ දැක, ‘යහලුවනි, රජුගේ මේ උඩුමහලෙහි මීපැණි කළයක් බිඳී ඉහිරී ඇත. ඒ හැර පැණි සහ කැවුම් කරත්තයක් ද පෙරළී ඇත. වරෙවු, පැණි-කැවුම් ඇති තාක් අනුභව කරවුයැ’යි කියමින් මහ හඬින් කෑගසමින්, ඒ මේ අතර දුවන්නට පටන් ගත්තේය. මේ අසා සිටි රජුට මහ හඬින් සිනහ පහළ විය. රජු සමීපයෙහි හුන් දේවිය අන්ද-මන්ද වී ‘මේ රජතුමා කුමක් දැක සිනාසේදැ’යි, සිතූමුත් ඒ ගැන තම සැමියාගෙන් අසන්නට තරම් ධෛර්යවත් නොවූවාය. කැවිලි කා අවසන් වූ රජතුමා එතැනින් නැගිට ගොස්, ස්නානය කෙළේය. රජවරුන් ස්නානය කොට පැමිණි කල්හි, අදාල රාජකාරියෙහි නියුතු රාජ සේවකයෝ, ඒ රජුන් වෙත පැමිණ, තෙත මාත්තු කිරීම්, සුවඳ ගැල්වීම්, සුවඳ සුණු තැවරීම්, විලවුන් ආලේප කිරීම් යන මේ ආදිය සිරිත් වශයෙන් කෙරෙති. ඒ අනුව සේනක රජතුමා ද, ස්නානයෙන් පසු මාලිගය තුළට පැමිණ නියමිත ස්ථානයෙහි, සෙසු රාජකාරිවලට සේවකයන් හෝ, සේවිකාවන් හෝ පැමිණෙන තෙක්, සෝපාවක හිඳගෙන බලා හුන්නේය. එවිට එතැනට පැමිණි මැසි ජෝඩුවක් අතුරින් මැස්සා රජුගේ පිට මත වැසුවේය. මැස්සිය අසුන කෙළවරෙහි හුන්නාය. රජුගේ පිට මත හුන් මැස්සා, සිය බිරිඳ වන මැස්සියට කථා කොට ‘සොඳුර, මෙහි එනු මැනව. අපි දෙදෙනා රජුගේ පිට මත හිඳ කම්සුව විඳිමුදැ’යි මැස්සියට යෝජනා කෙළේය. එවිට මැස්සිය කථා කරමින්, ‘හිමියනි, මඳක් ඉවසුව මැනව. දැන් සේවිකාවෝ රජුට සුවඳ වර්ග රැගෙන එති. ඔවුන් රජුගේ සිරුරෙහි තවරන සුවඳ වර්ග බිමටද වැටේ. මම එහි ලැග, සුවඳ ද තවරා ගෙන, සුවඳවත්වම පැමිණෙන්නෙමි, එවිට රජුගේ පිට මත වැද හෙව, අපට රිසි සේ සතුටු වන්නට හැකි නොවේදැ’යි කීවාය. මැස්සාගේ සහ මැස්සියගේ සංවාදයට කන් දුන් රජතුමා, හඬ නගා සිනාසෙන්නට පටන් ගත්තේය. මේ අතර රජු හුන් තැනට එමින් සිටි රාජ දේවිය, ‘මේ රජතුමා කුමක් දැක, මෙසේ හඬ නගා සිනාසේදැ’යි සිතූ මුත් රජුගෙන් ඒ ගැන කිසිවක් නොඅසන්නට වගබලා ගත්තාය. රාත්‍රී ආහාර ගැනීම සඳහා භෝජනාගාරයට ගිය රජතුමා බොජුන් අනුභව කරමින් හුන් කල්හි, එක් බත් ඇටයක් බිම වැටුණි. එතැනට රැස් වූ කුහුඹුවෝ ‘රජගෙයි බත් කරත්තයක් පෙරළී ඇත. වහා අවුත් බත් අනුභව කරවු යැ’යි කියමින් මහ හඬින් කෑ ගැසූහ. එවිට ද, රජුට සිනා ගියේය. රන් හැන්දකින් රජුට බත් බෙදමින් සිටි රාජ දේවිය, ‘රජතුමා මේ සිනාසෙන්නේ මාගේ අඩුපාඩුවක් දැකීමෙන්දැ’යි, කල්පනා කළමුත්, ඒ ගැන රජුගෙන් ප්‍රශ්න නොකළාය.