8. විඝාස ජාතකය (393)
‘සුසුඛං වත ජීවන්ති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩවෙසෙන සේක්, කෙළිලොල් භික්ෂු පිරිසක් අරබයා වදාළසේක. ඔවුන්ගේ එම හැසිරීමට ප්රතිචාර දැක්වූ මහ මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් විසූ පහය කම්පාකොට ඔවුන් සංවේගයට පත් කළහ. පසුදිනෙක දම්සභාවට රැස්වූ භික්ෂූහු ඉහත සඳහන් කළ කෙළිලොල් භික්ෂූන්ගේ නොහැදුණුකම් ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ගැන, ඔවුන්ගෙන් ම අසා දැන, ‘මහණෙනි, ඔවුහු දැන් පමණක් නොව අතීතයේ දදී ද කෙළිලොල් වූවාහු ම යැ’යි, වදාරා මේ අතීත කථා ප්රවෘත්තිය දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සක්දෙව් රජව ඉපිද සිටියේය. මේ අතර කසී රටට අයත් කිසියම් ගමක සහෝදරවරු සත්දෙනෙක කාමයන්හි දොස් දැක, ගිහි ගෙයින් නික්ම සෘෂි පැවිද්දෙන් පැවිදිව ‘මෙජ්ඣ’ නමින් ප්රසිද්ධ කැලයක වාසය කරමින්, භාවනානුයෝගීව කටයුතු නොකොට, කාය වර්ධන ක්රියාවන්හි නිරතව ඊට අදාල නානා ප්රකාර වූ ක්රීඩාවල යෙදෙමින් වාසය කළහ. මොවුන්ගේ මේ නොකටයුතු දේවල් දුටු සක්දෙව් රජ, ‘මම මොවුන් සංවේගයට පත් කොට, ඔවුන්ට කරුණු වටහා දී, සත් ක්රියාවන්හි යොදවන්නෙමි’යි කල්පනා කොට ගිරවකුගේ වේෂයක් මවාගෙන, ඒ තවුසන් වසන තැනට පැමිණ ඔවුන් අසල තිබූ ගසෙක සැඟව සිට, ඔවුන් සංවේගයට පත් කරමින් මෙසේ කීවේය.
සුසුඛං වත ජීවන්ති - යෙ ජනා විඝාසාදි නො,
දිට්ඨෙව ධම්මෙ පාසංසා - සම්පරායෙව සුග්ගතීති
දිට්ඨෙව ධම්මෙ පාසංසා - සම්පරායෙව සුග්ගතීති
යම් කෙනෙක් විඝාසාදි වෙද්ද? ඒකාන්තයෙන් ඔවුහු සැපසේ ජීවත් වෙති. මෙලොවදී ම පැසසුමට ලක් වෙති. පරලොව සුගතිගාමී වෙති.
මෙහි ‘විඝාසාදිනො’ යනු ‘පරිභෝග කිරීමෙන් ඉතිරි වූ දෙය අනුභව කරනුවන් සඳහා කියන ලදි’ යන අර්ථයි. ‘දිට්ඨෙවධම්මෙ’ යනු ‘යම් කෙනෙක් මෙබඳු වෙද්ද? ඔවුහු මෙලොවදීම ප්රශංසාවට ලක් වෙති.’ යන අර්ථයි. ‘සම්පරායේච’ යනු ‘ඔවුහු සුගතිගාමී වෙති, දෙව්ලොව උපදිති යන අදහසින් කියයි’ යන අර්ථයි.
ගිරවාගේ මේ කථාව අසා සිටි තවුස් පිරිසෙහි හුන් අය අතුරෙන් එක් තවුසෙක්, සෙසු අය අමතා මෙසේ කීවේය.
2. ප්රාඥයිනි, ගිරවාගේ කියමන් වරදවා තේරුම් නො ගනිවු, මේ වචනය අසවු, ඔහු සහෝදරයන් වන අපටම ප්රශංසා කරයි.
මෙහි ‘භාසමානස්ස’ යනු ‘මිනිස් බසින් කථා කරන’ යන අර්ථයි. ‘න නිසාමෙථ’ යනු ‘නො අසවු’ යන අර්ථයි. ‘එදං සුණාථ’ යනු ‘ඔහුගේ මේ වචනය අසවු’ යන අර්ථයි. ‘සොදරියා’ යනු ‘එකම කුසක උපන් බැවින්, ඔවුන් අමතමින් එසේ කී ය’ යන අර්ථයි.
ඉක්බිති ඒ අදහස ප්රතික්ෂේප කරමින් ගිරවා මෙසේ පැවසීය.
3. මළකුණු කන්නෙකි, මගේ වචනය අසවු. මම තොපට ප්රශංසා නොකරමි. තෙපි ඉඳුල් කන අය වෙති. තෙපි ‘විඝාසාදි’ අය නො වෙති.
මෙහි ‘කුණපාදා’ යනු ‘මළකුණු කන්නෙනි යි ඔවුන් අමතයි’ යන අර්ථයි.
තාපසවරු සියලු දෙනා ගිරවාගේ කීම අසා, මෙසේ පැවසූහ.
4. ‘මෙජ්ඣ’ නම් ආරණ්යයෙහි, හිස මුදුනේ පමණක් කෙස් ටිකක් ඇතිව වසන අපට, පැවිද්දෙන් සත් වසක් ගතවිය. ඒ අපි සිංහ, ව්යාඝ්රාදීන් විසින් කා ඉතිරි වූ දේ කමින් යැපෙමු. ඉදින් අපි ඔබගේ ගැරහුමට ලක්වෙමු නම්, ඔබේ පැසසුමට ලක්වන්නෝ කවරහුද?
මෙහි ‘සිඛණ්ඩිනො’ යනු ‘හිස මුදුනේ පමණක් කෙස් ඇති’ යන අර්ථය. ‘විසාසේන’ යනු ‘මෙපමණ කලක් එනම්, සත් වසරක් සිංහ ව්යාඝ්රයන් කා ඉතිරි වූ දැයින් යැපුනෙමු. ඉදින් අපි ඔබගේ ගැරහුමට ලක් වෙමු නම්, ඔබේ ප්රශංසාවට ලක්වන්නෝ කවරහුද?’ යන අර්ථයි.
අනතුරුව තවුසන් ලජ්ජාවට පත් කරමින්, බෝසත් ගිරවා මෙසේ කීවේය.
5. සිංහයන්ගේ ද, ව්යාඝ්රයන්ගේ ද, වෙනත් නපුරු සතුන්ගේ ද ආහාරවලින් ඉතිරි වූ දෑ අනුභව කිරීමෙන් යැපෙන තෙපි, එසේ ‘විඝාසාදීහු’ යැයි සිතන බව පෙනේ.
මෙහි ‘වළානඤ්චාවසිට්ඨකං’ යනු ‘වෙනත් නපුරු සතුන් කා ඉතිරි වූ දෑ එනම්, ඉඳුල් කෑම’ යන අර්ථයි.
ගිරවාගේ කථාව ඇසූ තාපසවරු ‘ඉදින් අපි විඝාසාදීහු නොවෙමු නම්, එකල්හිා කවුරු නම් විඝාසාදීහු වෙත්ද? එය අපට කියනු මැනවැ’යි ගිරවාගෙන් අයැද සිටියහ. ඉක්බිති බෝසත් ගිරවා, තාපසවරුන්ට ‘විඝාසාදීන්’ යනු කවුරුන්දැ’යි පැහැදිලි කරමින් මේ අවසාන ගාථාව පැවසුවේය.
6. යම් කෙනෙක් බමුණන්ට, ශ්රමණයන්ට හා වෙනත් පුලන්නන්ට දන් දී, ඉතිරි වූ දෙය අනුභව කරත්ද? ඔවුහු ‘විඝාසාද’ නම් වෙති.
මෙහි ‘වණිබ්බිනො’ යනු ‘ඒ ඒ දෑ ඉල්ලන්නාට’ යන අර්ථයි. මෙසේ තවුසන් ලජ්ජාවට පත්කළ බෝසත් ගිරවා, ස්වකීය භවනය බලා පිටත්ව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්යය ප්රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. එදා ඒ සහෝදරවරු සත්දෙනා නම්, මේ කෙළිලොල් භික්ෂු පිරිසය. ශක්රයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
9. වට්ටක ජාතකය (394)
‘පණිතං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, එක් ලෝල භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව තමන් වහන්සේ වෙත කැඳවූ, බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ ලෝල භික්ෂුවක්ය, යනු සැබෑ දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එය එසේ යැ’යි, ඒ භික්ෂුව පිළිගත්තේය. ‘මහණ, ඔබ මෙසේ ලොල් වූයේ දැන් පමණක් නොවේ. පෙර ද බරණැස් නුවර ඉපදී ඇතුන්-අසුන්-ගවයන්-මිනිසුන් යන මේ සත්ත්වයන්ගේ කුණපවලින් තෘප්තියට පත් නොවී, ඊටත් වඩා වැඩිමනත් දේ ලැබීම සඳහා, වනයට පිවිසියේදැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කථා පුවත මෙසේ දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ වටු ජාතියෙහි ඉපිද කැලෑ ප්රදේශයක රළු තණකොළ ඇට ආහාරයට ගනිමින් ජීවත් විය. එකල බරණැස් නුවර විසු, එක් කෑදර කපුටෙක් ඇත් කුණප ආදියෙන් සෑහීමකට පත් නොවී, මීට වඩා වැඩිමනත් යමක් ලබන්නෙමි’යි සිතා මහ වනයට පිවිස පලවැල ආදිය කමින්, ඒ මේ අත ඇවිද යනවිට බෝසතුන් දැක, ‘මේ වටුවා විශාල සිරුරක් ඇත්තෙකි. එකත් එකටම මූ මිහිරි ආහාර වර්ග කනවා විය යුතුය. එබැවින් මුගෙන් ඒ ගැන අසා, ඒවා ම ආහාරයට ගෙන මම ද ඇඟ හදා ගන්නෙමි’යි, සිතා බෝසතුන් වසා සිටි අත්තට, උඩින් පිහිටි අත්තෙහි වසා, බෝසතුන් අමතා ‘පින්වත් වටුවාණෙනි, කුමන ප්රණීත වූ ආහාරයක් ඔබ අනුභව කරහිද? කෙසේ නම් සිරුර මහත් කොට ගත්තෙහිදැ’යි, විචාළේය. ඊට පිළිතුරු දෙමින්, කපුටා සමග පිළිසඳර කථාවක ලීලාවෙන් බෝසත් වටුවා මෙසේ කීවේය.