7. භිසපුප්ඵ ජාතකය (392)
‘යමෙතං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. ඉහත කී භික්ෂුව ජේතවනාරාමයෙන් නික්ම කොසොල් රටේ එක්තරා කැලෑබද ප්රදේශයක් ඇසුරුකොට වාසය කෙළේය. එක්දිනක් ඒ කැලෑවෙහිම පිහිටි පියුම් විලක් දැක එහි බැසගත් ඔහු, මුහුණ කට සෝදන අතරේදී, සමීපයෙහි තිබූ පිපුණු පියුමක් දැක, ඊට ළංව පියුමට යටි සුළඟෙහි සිට පහත් වී, එහි සුවඳ ආඝ්රාණය කෙළේය. ඒ කැලයෙහි එම වනපියසෙහි ම අධිගෘහිත ව ජීවත් වූ දේවතාවෙක් භික්ෂුවගේ ඒ ක්රියාව දැක ‘නිදුකාණෙනි, ඔබ සුවඳ සොරෙකි. ඔබ කළ ක්රියාව සොරකමේ එක් අංගයකැ’යි කියා, භික්ෂුව සංවේගයට පත් කෙළේය. දේවතාවා විසින් සංවේගයට පත්කරන ලද, භික්ෂුව පෙරළා ජේතවනයට ගියේය. එහිදී බුදුරදුන් බැහැදුටු, ඔහු උන්වහන්සේට වැඳ එකත්පසෙක වාඩි විය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ මෙතෙක් කොහි විසුවෙහිදැ’යි, විචාළ සේක. ‘ස්වාමීනි, මම පසුගිය දිනවල අසවල් වනලැහැබෙහි විසුවෙමි. එහිදී මාගේ ක්රියාවක් දුටු දේවතාවෙක් මේ මේ අයුරින් මා, සංවේගයට පත් කෙළේ යැ’යි, එහිදී වූ සියලු සිදුවීම්, පැහැදිලි කරමින් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේට, කරුණු කීවේය. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔය වැනි අවස්ථාවන්ට මුහුණපාන්නට සිදුවූයේ, ඔබට පමණක් නොවේ. පෙර විසූ පඬිවරු පවා යම් යම් අය විසින් එසේ සංවේගයට පත් කරන ලදහ’යි වදාරා, ඒ භික්ෂුවගේ ඇරයුමින් මේ අතීත කථාව මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, අප බෝසත් තෙමේ එක්තරා නියම්ගමක බමුණු පවුලක ඉපිද තරුණවියට පත් වූයේ. නිසිකාලයේ දී තක්ෂිලාවට ගොස් ශිල්ප-ශාස්ත්ර ඉගෙන ගත් ඔහු පසුකලෙක ගිහිගෙය කලකිරී සෘෂි පැවිද්දෙන් පැවිදි ව, විශාල කැලෑ ප්රදේශයක පියුම් විලක් සමීපයේ ජීවත් විය. එක් දිනක් හිමිදිරි උදයේ, විලට බැසගත් ඔහු, සුපිපුණු පියුම් දෙස බලමින් සිටියේය. ළඟම තිබූ පිපුණු පියුමකට නැඹුරු වූ මේ තරුණ තාපසයා, මහත් අභිරුචියෙන් එය සිප ගත්තේය. ඒ අසල තිබූ රූස්ස විවරයක හුන්, එක් දෙව්දුවක් තවුසාගේ ඒ ක්රියාව දැක, ඔහු සංවේගයට පත් කරමින් මෙසේ කීවාය.
යමෙතං වාරිජං පුප්ඵං - අදින්නං උපසිඞ්ඝසී,
එකංග මෙතං ථෙය්යාන - ගන්ධත්ථෙ නොසි මාරිසාති
එකංග මෙතං ථෙය්යාන - ගන්ධත්ථෙ නොසි මාරිසාති
නිදුකාණෙනි, යම් ඒ ජලයෙහි හටගත්, නොදුන් නෙලුම් මලක් සිම්ඹෙහි ද, එය සොරකමේ එක් අංගයකි. (එබැවින්) ඔබ සුවඳ සොරෙකි.
මෙහි ‘එකංගමෙතං’ යනු ‘එය එක් කොටසකි’ යන අර්ථයි.
දේවතාවියට පිළිතුරු දෙමින්, බෝසත් තවුසා මෙසේ පැවසුවේය.
2. (මම) නෙලුම සොරකම් නොකෙළෙමි. නොකැඩුවෙමි. දුර තියා ආඝ්රාණය පමණක් කෙළෙමි. එසේ ඇතිකල්හි, කවර කාරණයක් නිසා (මට) ‘සුවඳ සොරා’ යැයි කියනු ලැබේද?
මෙහි ‘ආරා සිංඝාමි’ යනු ‘දුර සිට සුවඳ බලමි’ යන අර්ථයි. ‘වණ්ණෙන’ යනු ‘කාරණයකින්’ යන අර්ථයි.
මේ දෙදෙනා මෙසේ තර්ක කරන අතරේ විලට පැමිණි එක් පුරුෂයෙක්, ඒ විලෙහි බැස නෙලුම් අල ද සාරයි. පිපුණු පියුම් ද නෙලයි. ඒ දුටු බෝසත් තවුසා, දෙව්දුව අමතා ‘දේවතාවිය, නෙලුම් මලක් සිපගත් පමණකින් ඔබ මට ‘සුවඳ සොරෙකැ’යි කියයි. අර අතන නෙලුම් අල ගලවන, නෙලුම් මල් කඩන ඒ මිනිසාට ඔබ කුමක් නිසා නොබණින්නෙහිද? ඔහුටද දොස් කියව’යි කීය. බෝසත් තවුසා ඒ අදහස දේවතාවියට පැහැදිලි කරමින් මෙසේ ද කීවේය.
3. කිසියම් තැනැත්තෙක් නෙලුම් අල සාරයි. හෙල පියුම් නෙලයි. මෙසේ විවිධ වැඩකරන ඒ මිනිසාට, කුමක් හෙයින් කිසිවක් නො කියනු ලැබේද?
මෙහි ‘ආකිණ්ණ කම්මන්තො’ යනු ‘රළු වැඩ කරන - නපුරු කටයුතු කරන’ යන අර්ථයි.
නෙලුම් මල් නෙලන පුරුෂයාට, නො බණින කාරණය පැහැදිලි කරමින් දෙව්දුව මෙසේ පැවසුවාය.
4. නපුරුකම් බහුල මිනිසා කිරිමවකගේ වස්ත්රයක් මෙන් කිළිටිය. එවැන්නෙකුට කීමට, මට වචන නැත. එහෙත් ඔබට කියාදීමට (මම) සුදුසු වෙමි.
5. නිතර නිවැරදි දේ සොයන, නිර්දෝෂ වූ පුද්ගලයකුට, කෙස් අගක් පමණ වූ පාපයක් වුවත්, මහා මේඝයක් මෙන් වැටහේ.
මෙහි ‘ධාතිචෙළං වා’ යනු ‘කෙළ - සොටු - මළ - මුත්ර තැවරුණු කිරිමව් දාසියකගේ ඇඳිවතක් මෙන්, ඔහු පවෙහි ගැලී ඇත. ඒ කාරණය නිසා ඔහුට කීමට මට වචන නැත’ යන අර්ථයි. ‘තඤ්ච අරහාමි’ යනු ‘ශ්රමණයෝ වනාහි අවවාද කැමැත්තෝය. ප්රියශීලීය. එබැවින් හිමියනි, ඔබ අල්පමාත්ර වූ නුසුදුසු යමක් කළොත්, එය කියාදීමට සුදුසු වෙමි’ යන අර්ථයි. ‘අනංගණස්ස’ යනු ‘නිර්දෝෂ වූ ඔබ වැනි අයට’ යන අර්ථයි. ‘අබ්භාමත්තංව ඛායති’ යනු ‘මහා මේඝයක් තරම් ම වැටහේ. දැන් කුමක් නිසා, මෙවැනි දෝෂයක් ගණන් නොගත යුතු ලෙස කටයුතු කෙරේද?’ යන අර්ථයි.
මෙසේ ඒ දෙවඟන විසින් සංවේගයට පත්කරන ලද බෝසත් තෙමේ, එම සංවේගයෙන් යුතුවම මෙසේ පැවසීය.
6. දේවතාවිය, ඒකාන්තයෙන් ඔබ මා හඳුනයි. එබැවින් ම මට අනුකම්පා දක්වයි. දෙව්දුව, නැවත යම්දිනෙක එබන්දක් දුටුවහොත්, මට එය කියා දෙන්න.
මෙහි ‘යක්ඛා’ යනුවෙන් දේවතාවිය අමතයි. ‘වජ්ජාසි’ යනු ‘කියන්නෙහිය’ යන අර්ථයි. ‘යදා පස්සසි ඵදිසං’ යනු ‘යම් දිනෙක මගේ එබඳු වූ දෝෂයක් දුටුවොත්, එකල මෙපරිද්දෙන් ම, මා වළක්වා ලන්න යැ’යි කියයි යන අර්ථයි.
බෝසතුන්ගේ මේ ඉල්ලීමට පිළිතුරු සපයන, දේවතාවිය මෙසේ පැවසුවාය.
7. තවුසාණෙනි, මම ඔබ නිසා ජීවත් වන්නියක් නොවෙමි. ඔබේ බැලමෙහෙවරෙහි යෙදුනියක් ද නොවෙමි. යමක් නිසා සුගතියට යන්නේ නම්, ඔබ ම එය තේරුම් ගන්න.
මෙහි ‘භතකම්හසෙ’ යනු ‘ඔබේ බැල මෙහෙවර කරන වැඩකාරියක් නොවෙමි. කුමන කරුණක් නිසා, හැමදාම ඔබ රකිමින් හැසිරෙන්නෙම් දැ’යි දක්වයි’ යන අර්ථයි. ‘යෙන ගච්ඡෙය්ය’ යනු ‘තවුසාණෙනි, යම් ක්රියාවකින් ඔබ සුගතියට යන්නෙහිද? එය ඔබ ම දැනගන්න’ යන අර්ථයි.