6. ධජවිහෙඨ ජාතකය (391)
‘දුබ්බණ්ණා රූපං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ලෝකාර්ථ චර්යාව නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘මහාකණ්හ’ ජාතකයෙහි දක්නට ලැබේ. කිසියම් දවසක බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තථාගත තෙමේ දැන් පමණක් නොව, පෙර ද ලෝකයාට යහපත පිණිස ක්‍රියා කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කථාපුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සක්දෙව් රජව ඉපිද සිටියේය. එකල බරණැස් නුවර විසූ එක් විද්‍යාධරයෙක් රෑ මැදියමේ දී මන්ත්‍ර මතුරා, අහසින් බරණැස් රජුගේ මාලිගාවට අවුත් රජුගේ අන්තඃපුරයේ, අග බිසව නිදන යහන් ගැබවට රහසේ ඇතුළු වී, ඇය සමග රහස් ජීවිතයක් ගත කරයි. අග බිසවගේ පරිවාර ස්ත්‍රීහු, කෙසේ හෝ මේ රහස දැන ගත්හ. ඉන්පසු අග මෙහෙසියම රජු වෙත එළඹ ‘දේවයන් වහන්ස, එක් පුරුෂයක් රෑ මැදියමේ සිරියහන් ගැබට පිවිස, මා දූෂණය කෙළේ යැ’යි කීවාය. ‘දේවිය ඒ පුරුෂයා නැවත ඔබ වෙත පැමිණියහොත්, ඔහුගේ සිරුරේ කිසියම් සලකුණක් තැබීමට හැකිද?’ ‘ස්වාමීනි, එය මට අසීරු කාරණයක් නොවේ යැ’යි කී රාජදේවිය රත්හිරියල් කුඩු භාජනයක්, සේවිකාවක් ලවා සිය යහන් ගැබට ගෙන්වා ගත්තාය. එදා රෑ මැදියමේ දී ද, ඉහත කී විද්‍යාධර පුරුෂයා දේවියගේ යහන්ගැබට පැමිණ, ඇය සමග රාත්‍රිය එහි ගතකොට, ආපසු යන්නට සූදානම් විය. එවිට දේවිය රත්සිරියල් බඳුනෙහි අත තබා, ඒ පුරුෂයාගේ පිට මත ඇගේ අතේ ඇඟලි පසම සිටින සේ සලකුණක් තැබුවාය. පසුදා ඒ සලකුණේ විස්තර, දේවිය රජතුමා හමුවෙහි පැහැදිලි කළාය. රාජපුරුෂයන් කැඳවූ රජතුමා ‘පුරුෂයෙනි, සියලු දිසාවන්හි ගොස් සොයා බලා පිටෙහි සිරියල්වලින් කරන ලද අත් සලකුණක් ඇති, මිනිසකු වී නම්, ඔහු අල්වාගෙන මෙහි ගෙනෙවු යැ’යි අණ කෙළේය. ඉහත කී විද්‍යාධරයා ද රෑට රෑට අනාචාරයේ හැසිර, දිවා කාලයෙහි සුසාන භූමියකට ගොස්, එක් පයින් සිට සූර්ය නමස්කාරයෙහි යෙදෙයි. පරීක්‍ෂණයෙහි යෙදී සිටි රාජපුරුෂයන් අතුරෙන් කිසියම් පිරිසකට, සූර්ය වන්දනා කරන විද්‍යාධරයා දක්නට ලැබුණි. රාජපුරුෂයෝ වහා ඔහු වටකර ගත්හ. රාජපුරුෂයන් තමා ළඟට ළංවෙනු දුටු විද්‍යාධරයා ‘මාගේ කෙරුවාව රජු දැනගෙන ඇති බව පෙනේ යැ’යි තේරුම්ගෙන, කිසියම් මන්ත්‍රයක් මතුරා, අහසට නැගී පලා ගියේය.
කිසිවක් කරකියා ගත නොහුණු රාජ පුරුෂයෝ, රජ වාසලට පැමිණ සිදුවූ සියල්ල රජුට දැනුම් දුන්හ. එවිට රජතුමා ‘රාජපුරුෂයෙනි, තෙපි ඒ පුරුෂයා හොඳින් දැක ගත්තහු දැ’යි ඇසීය. ‘එසේය දේවයන් වහන්ස, අපි ඔහු මැනවින් දැක ගත්තෙමු. රාජපුරුෂයෙනි, ඔහු කවරෙක්ද?’ ‘දේවයන් වහන්ස, ඔහු තවුසෙකි. ඔහු රාත්‍රී කාලයෙහි අනාචාරයේ යෙදෙමින් දිවා කාලයෙහි තවුස් වෙස්ගෙන හැසිරෙන්නෙකි’යි, රාජපුරුෂයෝ උත්තර දුන්හ. මින් කිපුණු රජතුමා ‘මේ රටේ වෙසෙන සියලු තවුසෝ, මෙබඳු වූ ම චරිත ඇත්තෝ වෙති’යි, යන මිථ්‍යා විශ්වාසයක් ඇතිකොටගෙන, සියලු රාජපුරුෂයන් කැඳවා ‘පුරුෂයෙනි, මාගේ විජිතයෙහි වෙසෙන සියලු තවුසන් රටින් පිටුවහල් කරව. දුටු දුටු තවුසන්ට එසේ කළ යුතු බවට රටවැසියන්ට ද, මා රාජාඥා නිකුත් කළ බව දැනුම් දෙවු, ඒ වෙනුවෙන් අණබෙර ද, හසුරවවු යැ’යි නියෝග කෙළේය. මේ ව්‍යසනය නිමිති කොටගෙන රටෙහි විසූ සියලු තපස්වීවරු, යොදුන් තුන්සියයක් වූ කසී රටින් පලා ගොස්, වෙන වෙන රාජධානිවල ලැගුම් ගත්හ. මුළු කසී රට වැසියන්ට අවවාදයක් දීමට පමණවත් එකදු දැහැමි මහණ බමුණෙක්, රට තුළ නොවීය. අවවාද - අනුශාසනාවලින් බැහැර වූ මිනිස්සු, ටිකෙන් ටික පරුෂ වචන කථා කරන්නට, රළු පැවතුම් ඇතිකර ගන්නට පටන් ගත්හ. දාන-ශීල-ආදියෙන් තොර මිනිස්සු, මැරී ගොස් බෙහෙවින් අපායවල උපන්හ. දෙව්ලොවට යන කිසිදු කෙනෙක් එරට නොවූහ.
‘දෙව්ලොවට පැමිණෙන සත්ත්වයන් මෙපමණ හිඟ වූයේ, කුමන හේතුවක් නිසාදැ’යි, සිතා බැලූ සක්දෙව් රජ සියලු හේතූන් පරීක්‍ෂා කර බලා, සියල්ල තත්ත්වාකාරයෙන් දැන ‘බරණැස් රජුගේ මේ මිථ්‍යා දෘෂ්ටිය බිදීමට, මා හැර අන් කවරෙක් ඊට සමත් වේදැ’යි කල්පනා කොට බලා, ‘මේ රජුටත් රට වැසියන්ටත් පිහිට වන්නෙමි’යි, අදිටන් කර ගත්තේය. මෙසේ තීරණයකට බැසගත් ශක්‍රයා ‘නන්‍දමූලක’ පර්වත ප්‍රාන්තයට ගොස්, එහි වැඩවෙසෙන පසේබුදුවරුන් හමු වී, උන්වහන්සේට නමස්කාර කොට කසී රටට සිදුවී ඇති විපත උන්වහන්සේ හමුවෙහි පැහැදිලි කොට, ‘ස්වාමීනි, මට එක් මහලු පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලබාදෙනු මැනව, මම උන්වහන්සේගේ මාර්ගයෙන් කසී රටට යහපතක්, ශාන්තියක් කරන්නෙමි. කසී රට පහදවන්නෙමි’යි කීය. උතුම් පරමාර්ථයක් පෙරදැරි කොටගත්, සක්දෙව් රජුට, තම කාර්යය ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා සංඝත්‍ථෙර (පැවිද්දෙන් හා උපසම්පදාවෙන් සියලු දෙනා වහන්සේට වැඩිමහලු වූ) පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම ලැබුණි. පසේ බුදුරජාණන් වහන්සේ පෙරටු කොටගත්, ශක්‍රයා උන්වහන්සේගේ පාසිවුරු ගෙන, දොහොත් මුදුන් දී වැඳගෙන, පසුපසින් ඉතා සන්සුන් ලීලාවෙන් අහසින් ගමන් කෙළේය. බරණැස් නුවර පුරා අහසෙහි, ඉතා පහළ මට්ටමකින් ගමන් කරන මේ පසේ බුදුරජාණන් වහන්සේ හා උසස් රූපශ්‍රීයෙන් යුත්, මේ තරුණ මානවකයා දුටු බොහෝ අය පුදුමයට පත්වූහ. වට තුනක් නුවර පුරා මෙසේ ගමන් කළ ශක්‍රයා, ඉන්පසු පසේ බුදුරදුන් කැටුව රාජ මාලිගාවට ගොස්, රජ දොරටුව සමීපයෙහි බුදුරදුන් පෙරටු කොටගෙන නමස්කාර කරමින් සිටියේය. ඒ දුටු රාජ පුරුෂයෝ රජු වෙත ‘දේවයන් වහන්ස, අභිරූපී වූ එක් මානවකයෙක් තවත් ශ්‍රමණයකු සමග මෙහි අවුත්, රාජකීය දොරටුව අබියස අහසෙහි සිටී යැ’යි, දැනුම් දුන්හ. වහා අසුනින් නැගිට ගත් රජතුමා, සීමැදුරු කවුළුව සමීපයට පැමිණ, ‘මානවකය, ඔබ විශිෂ්ට රූපශ්‍රී ඇත්තෙකි. එතකුදු වුවත් මේ විරූපී මහණකුගේ, පාසිවුරු ගෙන වඳිමින් කුමට නම් සැරිසරාදැ’යි, ශක්‍රයා සමග කථා කරමින් මෙසේ කීය.
අබ්බණ්ණ රූපං තුව මරිය වර්ණී පුරකචත්‍වා පඤ්ජිලිකො නමස්සසී,
සෙය්‍යාන තෙසො උදවා සරීක්ඛො නාමං පරස්සත්ත නො චාපි බ්‍රෑහී
සුන්දර රූ සිරි ඇති ඔබ, දුර්වර්ණ ස්වරූප ඇති තැනැත්තකු පෙරටු කොට ගෙන දොහොත් මුදුනේ තබා වඳින්නෙහිය. ඔබ තැනැත්තා ඔබතුමාට වඩා උතුමෙක්ද? නැතිනම් ඔබ හා සමානයෙක්ද? ඔහුගේත්, ඔබේත් නම කියනු මැනව.
මෙහි ‘අරියවණ්ණි’ යනු ‘සුන්දර රූසිරි ඇති’ යන අර්ථයි. ‘සෙය්‍යොනුතෙ තො’ යනු ‘මේ විරූපී පැවිද්දා කවරෙක්ද? ඔබට වඩා උතුම් කෙනෙක්ද? නැතහොත් ඔබ හා සමාන කෙනෙක්ද?’ යන අර්ථයි. ‘පරස්සත්තනො ච’ යනු ‘ඒ ඔහුගේ ද, ඔබගේ ද නම කියව යි, කියා ප්‍රශ්න කෙළේය’ යන අර්ථයි.