5. මය්හක ජාතකය (390)
‘සකුණො මය්හකො නාම’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ‘ආගන්තුක’ සිටුවරයා අරබයා වදාළ සේක. සැවැත් නුවර ආගන්තුක සිටුවරයා නමින් ප්‍රසිද්ධ, සම්පතින් ආඪ්‍ය, ඉතා ධනවත් සිටුතුමෙක් විය. කෙතරම් ධනය තිබුණත්, ඒ සම්පත් තෙමේ ද, පරිහරණය නොකරයි. අනුන්ට ද නොදෙයි. විවිධ රස ඇති ප්‍රණීත භෝජනයක් ඔහුට ලැබුණත්, එය අනුභව නොකරන ඔහු, ඒ වෙනුවට කාඩි හොදි සමග සුණුසහල් බත් ම කයි. සුවඳ කවන ලද කසී සළු ලැබුණුවිට, ඔහු ඒවා සඟවා තබා, දළ රෙදි සාටක ම හඳයි. ආජානීය අසුන් යොදන ලද, මැණික් හා රනින් විසිතුරු කරන ලද, වාහන ලැබුණු කල්හි, ඒවා ඉවත්කොට තබා, කොළ අතුවලින් වහලය ආවරණය කරන ලද ඉතා කුඩා කරත්තයකින් ගමන් කරයි. ජීවත්ව සිටි තාක් කල්, දානාදී පින්කම් අතුරෙන් එකකුදු නො කළ ඔහු මරණින් මතු, රෞරව නරකයේ උපන්නේය. අඹුදරුවන් නොසිටි, ඔහුගේ සියලු සම්පත් රාජ සන්තක වූ බැවින්, රජුගේ ඇනවුමෙන් රාජපුරුෂයෝ දිවා රාත්‍රී දින හතක් මුළුල්ලේ ඒවා, රාජ භාණ්ඩාගාරයට ඇද්දාහුය. මේ කටයුතු සියල්ල හමාර කළ රජතුමා, පසුදා උදයේ ආහාරයෙන් පසු දෙව්රමට ගොස්, බුදුරදුන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ රජු අමතා ‘කිමෙක් ද? මහරජතුමනි, ඔබ දින කිහිපයකින් බුද්ධෝපස්ථානය සඳහා පැමිණියේ නැහැ නොවේදැ’යි, ඇසූහ. ‘ස්වාමීනි, මේ සැවැත්නුවර විසූ ආගන්තුක සිටුවරයා කලුරිය කෙළේය. අස්වාමික වූ ඔහුගේ සියලු ධනය රාජකීය භාණ්ඩාගාරයට බැර කිරීමේ කටයුත්තෙහි යෙදීමෙන්ම, දින හතක් ගතවිය. ස්වාමීනි, ඔහු මෙපමණ විශාල ධනයක් ඇතිව සිටියත්, හරිහැටි කෑම වේලක් අනුභව කෙළේවත්, කිසිවක් අනුන්ට දුන්නේවත් නැත. ඔහුගේ ධනය රකුසකු අරක් ගත් පොකුණක් වැනි විය. ස්වාමීනි, එක් දිනක්වත් ප්‍රණීත රස බොජුනක් අනුභව නොකරම ඔහු මිය ගියේය. මෙවැනි මසුරු පව්කාරයෙක් කුමක් නම් සිදුකොට, මෙපමණ ධනයක් ලැබුවේ ද? කුමක් නිසා තම සම්පත් භුක්ති විඳීමට, ඔහුගේ සිත නොනැමුණේ දැ’යි, රජතුමා බුදුරදුන්ගෙන් විමසා සිටියේය. ‘මහරජතුමනි, ධන ලාභයට හේතු වූ කාරණයත්, ලැබූ ධනය පරිභෝග කරන්නට තරම් වාසනාවක් නොමැති වූ කාරණයත්, ඔහු විසින් ම සිදුකොට ගත්තකි’යි, වදාළ බුදුරජාණන් වහන්සේ, රජුගේ අයැදුමෙන් මේ අතීත කථාව, මෙසේ වදාළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බරණැස් සිටුතුමා ශ්‍රද්ධාවක් නැති මසුරෙක් විය. ඔහු කිසිවක් කිසිවකුට නොදෙන සුලුය. එබැවින් කිසිම සංග්‍රහයක් කා වෙනුවෙන්වත් නො කරයි. ඔහු කිසියම් දවසක රජුට උපස්ථාන පිණිස රජ මැදුරට යද්දී ‘තගරසිඛී’ නම් පසේ බුදුරදුන් පිඬු පිණිස චාරිකාවේ යෙදෙනු දැක, උන්වහන්සේ වෙත ගොස් නමස්කාර කොට, ‘ස්වාමීනි, පිණ්ඩපාතය ලැබුණු සේක් දැ’යි විචාළේය. එවිට පසේබුදුරදහු ‘සිටුතුමනි, තවම නැත, මේ පිඬුසිඟා යන ගමන් යැ’යි වදාළහ. ඒ ඇසූ සිටුතුමා තම පුරුෂයකු කැඳවා ‘පුරුෂය, වහා අප නිවසට මේ පසේ බුදුරදුන් වඩම්මා ගෙන ගොස්, මාගේ අසුනෙහි උන්වහන්සේ වැඩහිඳුවා, මා වෙනුවෙන් පිළියෙල කරන ලද භෝජනය පාත්‍රයෙහි පුරවා, උන්වහන්සේට පිළිගන්වව’යි, අණ කෙළේය. ඒ මිනිසා ද පසේ බුදුරදුන් සිටු මාලිගයට කැඳවා ගෙන ගොස්, සිටුතුමාගේ අසුනෙහි වඩා හිඳුවා, ඊළඟට කළයුතු කාරිය, සිටු බිරියට දැනුම් දුන්නේය. ඇය ද නා නා රසයෙන් යුත් ව්‍යඤ්ජන සහිතව දානය පාත්‍රය පුරවා, පසේ බුදුරදුන්ට පූජා කළාය. බත් පාත්‍රය අතට ගත් පසේ බුදුරජාණන් වහන්සේ, සිටු නිවසින් නික්ම වීදියට පිළිපන් සේක. රජගෙදර සිට පෙරළා පැමිණෙන සිටුවරයාට පසේ බුදුරදුන් මුණගැසුණි. උන්වහන්සේ දුටු සිටුතුමා වහා ගොස්, උන්වහන්සේට නමස්කාර කොට ‘ස්වාමීනි, දානය ලැබුණු සේක්දැ’යි ඇසීය. ‘ලදිමි, සිටුතුමනි’ යි, පසේ බුදුරදහු වදාළහ. උන්වහන්සේගේ පාත්‍රය වෙතට නැඹුරු වී බැලූ සිටුතුමාට සිත පහදවා ගැනීමට නොහැකි විය. ‘මාගේ මේ භෝජනය දාසයන්ට හෝ කම්කරුවන්ට හෝ දුන්නේ නම්, දුෂ්කර වැඩක් වුවද, පහසුවෙන් කරගත හැකිව තිබුණා නොවේද? අහෝ මට වූ හානියක තරමැ’යි, සිතූ ඔහුගේ අපර චේතනාව ද පරිපූරණය කරගැනීමට නොහැකි විය. ‘දානයක් නම්, ත්‍රිවිධ චේතනා පරිපූරණය කරගැනීමෙන් පමණක්ම මහත් ඵල වේ.’
පුබ්බෙව දානා සුමනා භවාම, දදම්පි චෙ අත්තමනා භවාම,
දත්‍වාපි චෙ නාත්‍රතපාම පච්ඡා, තස්මාහි අම්හර පච්ඡා
අපි දානයට පෙරම සතුටු වෙමු. ඒකාන්තයෙන් දන් දෙන විටද, සතුටු සිතින් යුක්ත වෙමු. දීමෙන් අනතුරුව පසුතැවිලි නොවෙමු. මේ හේතුවෙන් අපේ අය කුඩා කල නො මියෙති.
පුබ්බෙව දානා සුමනො - දදා චිත්තං පසාද යෙ,
දත්‍වා අත්තමනො හොති - එසා යඤ්ඤස්ස සම්පදා
දානයට පෙර සතුටු සිත් ඇතිකොට ගැනීමත්, දන් දෙන අවස්ථාවේ සිත පහදවා ගැනීමත්, දීමෙන් පසු ඒ ගැන සතුටු වීමත් යන මේවා දානයේ පරිපූර්ණත්වයට අදාල කරුණු වේ.
‘මහරජතුමනි, මෙසේ මේ ආගන්තුක සිටුවරයා තගරසිඛී පසේ බුදුරජාණන් වහන්සේට දුන් දානය කරණ කොටගෙන, බොහෝ ධනය ලැබීය. දන් දීමෙන් පසු අපර චේතනාව පරිපූර්ණය කරගැනීමට බැරිවීම නිසා, ඇති සම්පත් පරිභෝග කිරීමට අපොහොසත් වී යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් නිසා ඔහුට දරුඵල අහිමිවී දැ’යි රජතුමා පෙරළා විමසුවේය. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ, ‘මහරජතුමනි, පුත්‍ර ලාභය අහිමි කරගන්නා ලද්දේ ද, ඔහු විසින්ම යැ’යි වදාරා, රජුගේ අයැදුමෙන් මේ අතීත කථා පුවත ද දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ අසූ කෙළක් ධනය ඇති මහත් සම්පත්තියෙන් හෙබි සිටු කුලයක ඉපදුණේය. තරුණ වියට පත් ඔහු සිය මවුපියන්ගේ ඇවෑමෙන්, තම කණිටු මලණුවන් ද රැකගෙන පවුලේ සියලු කටයුතු මැනවින් විචාරමින්, සොයා බලමින් සිටු මාලිගය ඉදිරිපිට දන්සැල් කරවා, මහ දන් පවත්වමින්, ගිහිගෙයි ජීවිතය මැනවින් ගත කෙළේය. නිසි කල විවාපත් වූ ඔහුට එකම පුතෙක් විය. ඒ දරුවාට පයින් ඇවිද යා හැකි සමය වනවිට, කාමයන්හි ආදීනව හොඳින් තේරුම් ගත්, එසේ ම නෙක්ඛම්මයෙහි ආනිසංස ද මැනවින් වටහා ගත් බෝසත් සිටුතුමා, තම අඹු දරුවන් ද, සියලු සම්පත් හා සෙසු වස්තූන් ද, සිය මලණුවන්ට පවරා දී ‘මලණුවනි, නොපමා ව සියලු කටයුතු කරව. මේ දන් වැට ද නොකඩවා පවත්වාගෙන යන්නට කටයුතු යොදව’යි, අවවාද දී සෘෂි පැවිද්දෙන් පැවිදි වී, අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගෙන හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. සිය අයියණ්ඩිය නිවසින් පිටත්ව ගොස් ටික කලකට පසු, බාල සොයුරා විවාහ දිවියට ඇතුළත් විය. කලෙකදී ඔහුගේ ඇඹේණියට ද පුතකු ලැබිණි. සිය වැඩිමල් සොහොයුරාගේ කදිමට වැඩෙන පුත්‍රයා දුටු කණිටු සොයුරා ‘මාගේ අයියණ්ඩියගේ මේ පුත්‍රයා තවදුරටත් ජීවත් වුවහොත්, අපගේ පවුලේ සියලු වස්තුව කොටස් දෙකකට බෙදන්නට සිදුවනු, නිසැකය. එබැවින් මොහු දැන් දැන් ම, මරා දමන්නේ නම්, මැනවැ’යි සිතුවේය. එක් දවසක් බෝසතුන්ගේ බාල සොයුරා සිය ඤාති පුත්‍රයා සමග නෑම පිණිස නදියට ගියේය. ඔහු දරුවා නාවන විලාශයෙන් ළඟට කැඳවා, හුස්ම යනතුරු දිය යට ඔබාගෙන සිටියේය. අනතුරුව වතුර නා සිය නිවෙසට පැමිණි ඔහුගෙන්, වැඩිමල් සොහොයුරාගේ බිරිය, ‘සොයුර, ඔබ කැටුව ගිය මගේ පුතා කොහිද? ඔහුට කුමක් විණිදැ’යි ඇසුවාය. ‘සොයුරිය, මා දියෙහි ගිලෙමින් නාන අතර, ඔහු ජල ක්‍රීඩා කළේය. නෑමෙන් පසු සොයා බලනවිට, ඔහු පෙනෙන්නට සිටියේ නැත. කොහි ගියාදැ’යි, සොයා බැලූමුත් ඔහු සොයාගත නොහැකි වීයැ’යි, බාල සොයුරා පිළිතුරු දුන්නේය. දරුවාගේ මෑණියෝ තම පුතා සිහි කරමින්, කඳුළු බොමින් කල්ගත කළහ.