4. සුවණ්ණකක්කටක ජාතකය (389)
‘සිංගීමිගො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනයෙහි වැඩවෙසෙන සේක්, තමන් වහන්සේ වෙනුවෙන් ආනන්ද තෙරුන් සිදුකළ ජීවිත පරිත්‍යාගයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, බුදුරදුන්ට විරුද්ධව දුනුවායන් යෙදවීමේ සිද්ධිය දැක්වෙන ‘ඛණ්ඩහාල’ ජාතකයෙහි ද, ‘ධනපාල’ හස්තිරාජයාගේ ගර්ජනය දැක්වෙන ‘චුල්ල හංස’ ජාතකයෙහි ද, විස්තර කරන ලදි. එක්දිනක් දම් සභාවෙහි රැස්වුණු භික්ෂූහු ‘ඇවැත්නි, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ, සේඛ-සිව්පිළිසිඹියා පත් උතුමෙක්ව ධනපාල හස්තියා බුදුරදුන් ඉදිරියට පැමිණෙද්දී, සිය ජීවිතය බුදුරදුන් වෙනුවෙන් පරිත්‍යාග කළාහු නොවේදැ’යි, ඒ ගැන කථා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව පෙර ද ආනන්ද, මා වෙනුවෙන් දිවි අත් හළේ යැ’යි, වදාරා මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
අතීතයෙහි රජගහ නුවර පෙරදිග ශාලාවෙහි ‘සාලින්දය’ නමින් ප්‍රකට බමුණු ගමක් විය. අප බෝසත් තෙමේ, එදා ඒ ගමේ ගොවි කටයුතු කරන බමුණු කුලයක ඉපිද, තරුණ වියට පත් වූයේ, මුළු පවුලේම බර කරට ගෙන, කටයුතු කෙළේය. ඔහු ඒ ගමට ඊසාන දෙසින් පිහිටි මගධ කෙතෙහි, වී අමුණු දහසක පමණ කුඹුරක් අස්වැද්දීමේ කටයුතුවල නිරතව සිටියේය. මේ තරුණ බ්‍රාහ්මණයා, එක්දිනක් තම මිනිසුන් සමග කෙතට ගොස්, සීසෑම් ආදී ඒ ඒ කටයුතුවලට කම්කරුවන්ට අණකොට, මුහුණ සෝදා ගැනීම පිණිස කෙතෙහි කෙළවර පිහිටා තිබූ විලක් වෙත එළඹියේය. ඒ විලෙහි රන්වන් වූ එක් කකුළුවෙක් වාසය කරයි. ඉතා ලස්සන සතකු වූ, මේ කකුළුවා දුටුවන්ට ප්‍රසාදය එළවයි. දැහැට්ටක් හපමින් පැමිණි බෝසත් බමුණා, විලට බැස්සේය. ඔහු මුව දෝවනය කරන කල්හි, කකුළුවා සෙමින් සෙමින් එතුමා වෙතට ළං වූයේය. ඒ දුටු බෝසත් තෙමේ, ඌ අතින් ගෙන තමාගේ උතුරු සලුවෙහි හොවා, ඌත් රැගෙන ගොස් කෙතෙහි සියලු කටයුතු, අත් නොහැර සිදුකොට, ආපසු නිවෙස බලා යන්නට සූදානම් වී, පෙර පරිද්දෙන්ම විලට ගොස්, කකුළුවා එහි දියට දමා, ගෙදර ගියේය. එතැන් පටන් කෙතට පැමිණෙන බෝසත්තුමා, පළමුකොට විලට යයි. එතැනින් කකුලුවා අතට ගන්නා ඔහු, ඌ උතුරුසළුව අතරත තබා ගෙන, වැඩ කරන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය. මෙසේ මේ දෙදෙනාගේ මිත්‍රත්වය කලක් යනවිට, නොබිඳිය හැකි එකක් බවට පත්විය.
බෝසත්තුමා නිබඳව කෙතට පැමිණෙයි. ඔහුගේ දෑසෙහි ප්‍රසාද පහකි. මණ්ඩල තුනකි. එබැවින් අතිශය දීප්තිමත් වූ ඒ ඇස්වලට හැමදේම ඉතා පිරිසිදුව පෙනෙයි. මේ කෙතේ කෙළවරක එක් තල්ගසක් ඇත. එහි කපුටු කූඩුවකි. කූඩුවෙහි කපුටු ජෝඩුවක් වෙසෙති. බෝසතුන්ගේ ඇස් දැකීමෙන් පසු, කපුටියට ඒවා කෑමට තදබල ආශාවක් ඇතිවිය. ඒ නිසා සිය සැමියා වන කපුටාට කථා කළ ඇය ‘හිමියනි, මට දොළදුකක් ඇතිවී යැ’යි කීවා යි. ‘සොඳුර, ඒ කිනම් දොළදුකක්ද?’ ‘හිමියනි, අර බමුණාගේ ඇස් භක්ෂණය කිරීමට, මට ආශාවක් ඇතිවිය.’ ‘සොඳුර, ඔබට ඇතිවූයේ ඉටුකොට ගැනීමට ඉතා අමාරු දොළදුකකි. එය ගෙන එන්නට කවුරු නම්, සමත් වෙත්ද?’ ‘ස්වාමීනි, ඔබට එය කළ නොහැකි නම්, මම ඊට කදිම උපායක් කියන්නෙමි. අප වෙසෙන මේ තල්ගසට නුදුරෙහි, අර පෙනෙන තුඹසෙහි. කළු නයෙක් වෙසේ. ඔබ ඌට උදව් කළ යුතුය. පසුව ඌ ලවා බමුණා මරවා, බමුණාගේ ඇස් උපුටාගෙන ඒමට ඔබ සමත් නොවේදැ’යි කපුටිය ඇසුවාය. ‘මැනව සොඳුර, මම එසේ කරන්නෙමි’යි, පැවසූ කපුටා එතැන් පටන්, කළු නයාට උපස්ථාන කරයි. මේ අතර බෝසත් තෙමේ. කුඹුරෙහි බණ්ඩි ගොයම් හටගන්නා කාලය වනවිට, දවසට කීපවිටක් කුඹුරට පැමිණීනම පුරුද්දක් කොටගත්තේය. මේ වනවිට රන් කකුළුවා ද, ශරීරයෙන් ඉතා විශාලත්වයට පැමිණ සිටියේය. එක් දිනක් නයා කපුටාට කථා කොට, ‘යහලුව, ඔබ නිරතුරු මට උදව් කරයි. මම ඔබ වෙනුවෙන් කල යුත්තේ කුමක්දැ’යි ඇසීය. ‘ස්වාමීනි, ඔබේ දාසියට, අර කෙත් හිමියා වන බමුණාගේ ඇස් උපුටා කන්නට දොළදුකක් ඇතිවිය. ඒ නිසා එය ඔබතුමාගේ උදව් ඇතිව, ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔබට මෙතෙක් උපස්ථාන කෙළෙමි. ඉතින් ඔබ මට ඊට උදව් වෙනවා නොවේදැ’යි කපුටා ඇසීය. ‘කපුට, එසේම වේවා! මෙය මට එතරම් ලොකු වැඩක් නොවේ. ස්ථිරවම ඔබට බමුණාගේ ඇස් ලැබෙන්නේයැ’යි කී කළු නයා කපුටා අස්වසා, පසුදා බමුණා කුඹුරට පැමිණෙන ගමන් මගෙහි, කෙත පටන් ගන්නා සීමාවෙහි, ඒ සමීපයේ වූ තණකොළ ගොමුවක සැඟවී, බමුණාගේ ආගමනය බලාපොරොත්තුවෙන්, ඒ මේ අත බලමින්, නො ඉවසිල්ලෙන් හුන්නේය.