3. තුණ්ඩිල ජාතකය (388)
‘නවජන්දකෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, මරණයට බියවන එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. ඒ භික්ෂුව සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙකි. සසුනෙහි පැවිද්ද ලැබූ මුත් ඔහු මරණයට නිතර බියෙන් පසුවේ. ඉතා සුලු දෙයකට පවා එනම්, ගසක අත්තක් සෙලවීම, දඬු කැබැල්ලක් බිමට වැටීම, කුරුල්ලකුගේ හෝ සිව්පාවකුගේ හඬක් ඇසීම හා එවැනි අන් කිසියම් ශබ්දයකදී වුවද, ඔහු බියෙන් සැලේ. එසේ බිය වූ අවස්ථාවලදී ඔහු බඩට පහරක් වැදුණු සාවකු මෙන්, බියෙන් ගැහෙමින් වෙවුලමින් ඒ මේ අත ඇවිදී. දිනක් දම්සභාවෙහි රැස්වූ භික්ෂූන් ‘ඇවැත්නි, අසවල් භික්ෂුව සෑම විටම මරණ බියෙන් තැතිගෙන සුලු ශබ්දයක් ඇසුණ විට පවා, බියෙන් ගැහෙමින් පලා යයි. ලොව සියලු සතුන්ට මරණයම ස්ථිරය. ජීවිතය අස්ථිරය. භික්ෂුවක විසින් එය ම සිහි කළ යුතු නොවේදැ’යි කථා කරමින්, හිඳින අතරතුරේදී, ඒ භික්ෂූන් අතරට බුදුරජාණන් වහන්සේ වැඩි සේක. භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගත්, බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඒ භික්ෂුව මෙහි කැඳවවු යැ’යි වදාළ සේක. අදාළ භික්ෂුව ළඟට කැඳවා ගත් බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ මරණය ගැන නිතර බියෙන් පසුවේ ය, යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. එය සැබෑවක් බව භික්ෂුව විසින් පිළිගන්නා ලදි. එවිට සෙසු භික්ෂූන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, මොහු මරණයට තැති ගත්තේ, එයින් බියපත් වූයේ දැන් පමණක් නොවේ. පෙරද ඔහු එසේම යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් ඊරියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මේරූ ගැබ ඇති ඊරිය පැටවුන් දෙදෙනකු වැදුවාය. ඇය එක් දිනක් සිය පැටවුන් රැගෙන ගොස්, එක් වළෙක වැද හොත්තීය. ඉක්බිති බරණැස් නුවර වාසල් දොරටු සමීපයෙහි ජීවත්වන එක් මහලු ස්ත්‍රියක් කපු හේනකින් කූඩයකට පුළුන් පුරවාගෙන, කූඩය හිස මත තබාගෙන, එක් අතෙකින් සැරමිටියක් බිමට අනිමින්, ඉහත කී ඌරු පැටවුන් නිදා හුන් වළ සමීපයෙන් පැමිණියාය. හැරමිටි ශබ්දයෙන් බියපත් වූ ඊරිය, පැටවුන් එහි දමා පැන දිව්වාය. ඒ ශබ්දය ඇසූ මැහැල්ල වළට එබී බලා, ඌරු පැටවුන් දෙදෙනා දැක දරු සෙනෙහස ඉපදී, වහා වළට බැස පැටවුන් දෙදෙනා රැගෙන, පුළුන් කූඩය මත තබාගෙන, ගෙදර පැමිණියාය. ඌරු පැටවුන් ගෙදර ගෙනවුත් හොඳින් සැලකූ මැහැල්ල පැටවුන් දෙදෙනා අතුරෙන් මඳක් තර වූ වැඩිමහල් පැටියාට ‘මහා තුණ්ඩිල’ යැයි ද, කුඩා පැටියාට ‘චුල්ල තුණ්ඩිල’ යැයි ද, නම්කොට තමාගේ ම දරුවන් මෙන්, මැනවින් පෝෂණය කළාය. පසු කලෙක ඌරු පැටවු දෙදෙනා සිරුරුවලින් ඉතා විශාල වූහ. විවිධ උදවිය මැහැල්ල හමුවට පැමිණ මුදල් දී, ඌරු පැටවුන් ඉල්ලා සිටි මුත්, ‘මේ මගේ දරුවෝ යැ’යි, කී මැහැල්ල ඒ සියලු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළාය. මේ අතර නුවර පුරා මහත් සැණකෙළියක් ආරම්භ විය. එය නුවරුන්ට ඉතා ප්‍රීතිමත් සමයක් විය. බේබදු මිනිසුන් පිරිසක් සැණකෙළි භූමියෙහි සුරා බොමින්, මස් කමින්, විනෝදයෙන් කල් යැවූහ. ටික වේලාවකින් ඔවුන්ගේ මස් අවසන් විය. ‘කොහෙන් නමුත් මස් ටිකක් සොයාගත යුතුයැ’යි, සිතූ බේබද්දෝ මස් මිලදී ගත හැකි තැනක් ආරංචි කරන්නට පටන් ගත්හ. මෙසේ විමසමින් ඒ මේ අත යන ඔවුන්ට, මැහැල්ලගේ ගෙදර තර ඌරන් සිටින බව, දැනගන්නට ලැබුණි. සුරා කළ ද රැගෙන වහා එහි ගිය බේබදු පිරිස, මැහැල්ල හමු වී ‘මෑණියෙනි, මුදල් ගෙන අපට එක් ඌරකු දෙනු මැනවැ’යි කීහ. ‘දරුවනි, ඔය ඉල්ලීමෙන් වැඩක් නැත. තම දරුවන් මස් පිණිස විකුණන රටක් ඇත්දැ’යි ඇසූ ඇය මේ ගනුදෙනුවට කිසිසේත් කැමති නොවූවාය. එවිට ඉන් නතර නොවුණු බේබදු පිරිස, ‘මෑණියෙනි, මනුෂ්‍යයන්ට ඌරු දරුවන් ඇති බවක්, අපි මෙතෙක් අසා නැත්තෙමු, එබැවින් අපට එකකු දෙනු මැනවැ’යි කියමින්, නැවත නැවත ඇවිටිලි කළ නමුත් මැහැල්ල ඊට එකඟ නොවූවාය. කොපමණ මුදල් දුන්නත්, අන් කුමන තෑගිභෝග පිරිනැමුවත්, මොනවා කීවත්, මැහැල්ලගෙන් ඌරු පැටියෙකු ලබාගත නොහැකි බව, තේරුම් ගත් බේබදු පිරිස කෙසේ හෝ ඇයට සුරා පෙවූහ. සුරාවෙන් හොඳටම මත්වූ, මැහැල්ලගේ අතෙහි මුදල් පොදියක් තැබූ ඔහුවු ‘මෑණියනි, මේ ඌරන්ගෙන් ඔබ මොනවා නම් කරන්නද? එබැවින් මේ මුදල් ගෙන, ඒවා ඔබේ එදිනෙදා වියදමට තබාගෙන අපට එක් ඌරකු දෙනු මැනවැ’යි කීහ.
මත්වී සිටි ඇය කහවණු පොදිය දැක, පෙර නොවූ උනන්දුවකින් පිරිස දෙස බලා ‘දරුවනි, මහා තුණ්ඩිලයා නම් කොහොමවත් දිය නොහැකිය. අවශ්‍යම නම්, චුල්ල තුණ්ඩිලයා ගනිවු’ යැයි කීවාය. ‘මෑණියනි, ඌ දැන් කොහිද?’ ‘දරුවනි, නිතර ඌ සිටින්නේ අර පඳුරු අතරය. ‘මෑණියනි, ඌට කථා කරනු මැනවි’. ‘දරුවනි, ඌ කැඳවිය හැක්කේ ආහාර පෙන්වීමෙනි. දැනට මා ළඟ ආහාර කිසිවක් නැතැ’යි මැහැල්ල කීවාය. එවිට ඒ ධූර්තයෝ ඔවුන් අතුරෙන් එකකු, අසල පිහිටි කඩයකට යවා, බත් භාජනයක් මිලදී ගෙන්වාගෙන, එය මැහැල්ල අතට පත් කළහ. අහර බඳුන අතට ගත් මැහැල්ල දොරකඩ තබන ලද ඌරන්ට කෑම දෙන භාජනයෙහි ඒ බත් පුරවා, එතැනම හිස් බඳුන අත තබාගෙන සිටියාය. තිහක් පමණ වූ බේබදු පිරිස ඌරා අල්ලා ගැනීමට සූදානම්ව, මළපුඬු සහිත රැහැන් අත්හි දරා, ඌරා පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් වටේට සිටියහ. මැහැලිය ‘පුත, චුල්ල තුණ්ඩිල, මෙහි වර බොල’ යැයි හඬ ගෑවාය. ඒ ඇසූ මහා තුණ්ඩිල නම් වූ බෝසත් ඌරු පැටියා, ‘මෙපමණ කලක් මගේ අම්මා අපට කෑම දෙනවිට, මුලින් මට කතා කිරීම සිරිතකි. කවදාවත් මගේ මලණුවන්ගේ නම කියා කථා කළ බවක්, මම නො දනිමි. එබැවින් නිසැකව ම මෙය අපට බිය ගෙනදෙන කරුණක් විය යුතු යැ’යි, ඉවෙන් මෙන් තේරුම් ගත්තේය. අනතුරුව සිය මලණුවන් දෙසට හැරුණු, මහා තුණ්ඩිල ‘මලණුවෙනි, අපේ අම්මා ඔබ කැඳවයි. එබැවින් වහා ගොස් කරුණු දැන එව’යි කීය. එසැණින් පඳුරු අතරින් නික්මුණු චුල්ල තුණ්ඩිලයා මඳක් තැන් ගොස්, බත් භාජනය සමීපයෙහි සූදානමින් සිටි මහ පිරිස දැක, ‘අද මාගේ මරණය ස්ථිර යැ’යි, මරණ බියෙන් බියපත්ව ආපසු හැරී වෙවුලමින් සිය සොයුරා වෙත පැමිණි නමුත්, පියෙවි ස්වභාවයෙන් සිට ගත නොහැකිව, ගැහෙමින් කරකැවෙන්නට පටන් ගත්තේය. ඒ දුටු මහා තුණ්ඩිල ‘මලණුවෙනි, ඔබ ගැහෙයි, කැරකෙයි, සැඟවීමට තැනක් සොයයි, ඔබ මේ කරන්නේ කුමක්දැ’යි විචාළේය. ඊට පිළිතුරු වශයෙන් චුල්ල තුණ්ඩිල තමා දුටු කරුණ පැහැදිලි කරමින් මෙසේ කීය.
නව ඡන්ද කෙදානි දිය්යති, පුණ්ණායං දොණි සුවාමිණී ඨිතා,
බහුකෙ ජනෙ පාස පාණිකෙ, නො ච ඛො මෙ පටිභාතු භුඤ්ජිතන්ති
බහුකෙ ජනෙ පාස පාණිකෙ, නො ච ඛො මෙ පටිභාතු භුඤ්ජිතන්ති
අලුත් තාලේ දානයක් දෙනු ලැබේ. මේ කෑම දෙන ඔරුව බතින් පිරී ඇත. ස්වාමි දුව ද එතැන සිටියා ය. මළපුඬු ගත් අත් ඇති බොහෝ ජනයෝ ද, වෙති. (අඬ ගසන්නේ) කෑමට දැයි, මට නොවැටහේ.
මෙහි ‘නවඡන්දකෙදානි දිය්යති’ යනු ‘සොඳුර, පෙර අපට (සහල්) කුඩු කැඳ හෝ, දන්කුඩ හෝ දෙනු ලැබේ. අද වනාහි අලුත් තාලේ, අලුත් ආකාරයේ දානයක් දෙනු ලැබේ’ යන අර්ථයි. ‘පුණ්ණායං දොණි’ යනු ‘අපගේ මේ බත් ඔරුව පිරිසිදු බතින් පිරී ඇත’, යන අර්ථයි. ‘සුවාමිනී ඨීතා’ යනු ‘අපගේ උත්තමාවිය ද, ඒ සමීපයේ සිටියා ය’ යන අර්ථයි. ‘බහුකෙ ජනෙ’ යනු උත්තමාව පමණක් නොව, වෙනත් බොහෝ ජනයෝ ද, මළපුඬු ගත් අත් ඇතිව සිටියහ’ යන අර්ථයි. ‘නො ච ඛො මො පටිභාතී’ යනු මෙසේ මේ අය මෙහි සිටින කාරණයත්, මේ බත් කෑමට කථා කිරීමත්, මට නො වැටහේ. එය මට රුචි නොවේ’ යන අර්ථයි.
මේ ඇසූ බෝසත් තෙමේ මහා තුණ්ඩිල, ‘මලණුවෙනි, අපේ අම්මා මේ ගෙදර ඌරු පැටවුන් ඇති කෙළේ යම් ප්‍රයෝජනයකටද? අද ඇයගේ ඒ අදහස ඉටුවන දිනයයි. එබැවින් අමුත්තක් නොසිතනු මැනවැ’යි, කියා මිහිරි හඬින් ප්රබුද්ධ ලීලාවෙන් දහම් දෙසමින් මෙසේ කීය.
2. ‘තුණ්ඩිලය, (නුඹ) ත්‍රස්ත වෙහිද? භ්‍රමණය වෙහිද? පිහිටක් බලාපොරොත්තු වන්නෙහිද? අසරණ වූවෙහිද? කොහි යන්නෙහිද? නිරුත්සාහීව කෑම කන්න. අපි වනාහි මස් පිණිස පෝෂණය කරන ලද්දෝ වෙමු.