2. සූචි ජාතකය (387)
‘අකක්කසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ප්‍රඥා පාරමිතාව නිමිති කොටගනෙ වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘මහා උම්මග්ග’ ජාතකයෙහි විස්තර වේ. කිසියම් දවසක බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නොව පෙර ද නුවණැත්තෙක් ව, උපායෙහි දක්‍ෂයෙක්ව, කටයුතු කළාහු යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කසී රට කර්මාර කුලයෙහි ඉපිද තරුණ වියට පත්වූයේ, තම ශිල්පයෙහි අති දක්ෂයෙක් විය. ඔහුගේ මවුපියෝ ඉතා දිළිඳුය. ඔවුන්ගේ ගමට නුදුරෙහි පවුල් දහසකින් යුතු වෙනත් කර්මාර ගමක් විය. ඒ ගම කර්මාන්ත සඳහා චිර ප්‍රසිද්ධියක් ඉසුලුවේය. ඒ කර්මාර ගමෙහි ගම්දෙටු නායකතුමා රජුට ඉතා හිතවත්ය. සියලු වස්තූන්ගෙන් ආඪ්‍ය වූ ඔහු, මහා ධනවතෙක් ද විය. ඔහුට උතුම් වූ රූ සිරියෙන් යුතු දිව්‍ය අප්සරාවක් බඳු ජනපද කල්‍යාණියකට සුදුසු සියලු ලක්‍ෂණවලින් සමන්විත එකම දියණියක් වූවාය. අසල්වැසි ගම්වල මිනිසුන් වෑ, පොරෝ, නගුල් තල ආදිය සාදවා ගැනීම පිණිස, නිතර මේ ගමට පැමිණෙති. මිනිසුන් වැඩිමනත් එසේ පැමිණෙන්නේ තම කටයුතු කරවා ගැනීමටත් වඩා, බෙහෙවින් ඒ කුමරිය දැක ගැනීමේ අපේක්‍ෂාවෙනි. තම-තමන්ගේ කටයුතු කරවා ගත් මිනිස්සු පෙරළා ගම්වලට ගොස්, ඒ ඒ තැන්වලදී තමන් සාදවා ගත් බඩු ගැන නොව කුමරිය ගැන ම, ඇගේ රූසිරි ගැන ම කතා කළහ. වර්ණනා කළහ. ඒ ඒ තන්හිදී මේ කතා ඇසූ බෝසත් තෙමේ, ඇසීම් පමණකින් ම ඈ කෙරෙහි බැඳී ‘මම කෙදිනක හෝ ඇයම පාදපරිචාරිකා කොට ගන්නෙමි’යි සිතුවේය. මෙසේ අදිටන් කොටගත් බෝසත් තරුණයා, උසස් වර්ගයේ යකඩ කෑල්ලක් ගෙන, ඉතාම සියුම්, ඉතාම ඝන වූ ඉදිකටුවක් තනා, එහි මලයද විද, එය ජලයෙහි ගිල්වීය. අනතුරුව තවත් එබඳුම යකඩ කැබැල්ලකින් ඉහත කී ඉඳිකටුවට, ඉතාම සියුම් ලෙස කොපුවක් තැනුවේය. එම කොපුවෙහි ද මලයක් සාදා, බැලු බැල්මට ඉඳිකට්ටක් මෙන් පෙනෙන ආකාරයට සකස් කෙළේය. මේ ආකාරයට එකම ස්වරූපයෙන් පෙනෙන පරිද්දෙන් කොපු සතක් තැනුවේය. මේ කොපු එකින් එකට විශාල වූයේ ඉතාම ඉතා සියුම් අයුරෙනි. ඒවා කෙසේ කෙළේදැ’යි, විස්තර කළ නොහැකිය. බෝසතුන්ගේම මහත් වූ නුවණින් කළ දේවල් නිසා, ඉතා උසස් තත්ත්වයේ නිමැවුම් ලෙස මේවා හැඳින්විය හැකිය. ඉඳිකටුව පළමුකොට ප්‍රථම කොපුවේ දමයි. කොපුව වසා ඉන්පසු, එය දෙවන කොපුවේ තැන්පත් කරයි. මෙපරිද්දෙන් අවසානයේදී, දක්නට ලැබෙන සත්වැනි කොපුවද, පෙනෙනුයේ ඉඳිකට්ටක ම ස්වරූපයෙනි. බෝසත් තරුණයා කොපු තුළ බහාලන ලද, ඉහත කී ඉඳිකටුව කිසියම් නළයක දමා, එම නළය වසා ඉනෙහි රුවාගෙන, කලින් කියන ලද ප්‍රසිද්ධ කර්මාර ගමට ගියේය. ඔහු එගමට ගිය නමුත්, ගම්දෙටු නායකතුමාගේ ගෙය හෝ, ගේ පිහිටි වීථිය හෝ, නො දත්තේය. එබැවින් අනුන්ගේ තොරතුරු අසමින් නායකතුමාගේ මැදුර වෙත පැමිණි. බෝසත් තරුණයා එහි ඉදිරිපස සිට, ‘මාගේ අත්ලෙහි ඉතා මහාර්ඝ ඉඳිකටුවක් ඇත. කවරෙක් නම්, එය මුදල් දී ගන්නට කැමැත්තෙහිදැ’යි ශබ්ද නගා ඉඳිකටුව ගැන වර්ණනා මුඛයෙන් කථා කෙළේය. එසේ කළ ඔහු තවදුරටත් තම නිර්මාණය අගය කරමින්, මෙසේද පැවසීය.
අකක්කසං අඵරුසං ඛරධොතං සුපාසියං,
සුඛුමං තිඛිණග්ගඤ්ච කො සූතිං කෙතු මිච්ඡතීති
කර්කශ නොවූ, සිලුටු වූ, පීරෙන් මට්ටම් කළ, කදිම ඉඳිකටු මලයක් සහිත තියුණු වූ තුඩක් ඇති, මේ ඉඳිකටුව කවරෙක් මිලදී ගන්නට කැමැත්තේද?
මා තැනූ ඉඳිකටුවේ මහත් වූ (ගෙඩි ගැසුණු) තැන් හෝ, කැළැල් ඇති තැන් හෝ, ඉරි තැන් හෝ නොමැති බැවින් ‘අකක්කස’ නම් වූ ද, මටසිලුටු බැවින් ‘අඵරුස’ නම් වූද, පීරෙන් හා කුරුඳු ගලෙන් පිරිසිදු කළ බැවින් ‘ඛරධොත’ නම් වූ ද, මනාව විදින ලද ඉඳිකටු මලින් යුතු බැවින් ‘සුපාසිය’ නම් වූ ද, සියුම් බැවින් ‘සුඛුම’ නම් වූ ද, තුඩග තියුණු බැවින් ‘තිඛිණග්ග’ නම් වූ ද, ඉඳිකටුව මාගේ අතින් කවරෙක් නම්, මිලදී ගන්නට කැමති වේද? යන අර්ථයි.
මෙසේ කී බෝසත් තරුණයා තවදුරටත් සිය නිමැවුම වර්ණනා කරමින්, මෙසේ ද පැවසීය.
2. මැනවින් මදින ලද, සොඳින් ඉඳිකටු මලය සාදන ලද, අනුක්‍රමයෙන් සිහින් කරන ලද, ඝන වූ දෙයක් නමුත් විනිවිද යන ඉතා ශක්තිමත් වූ, මේ ඉඳිකටුව කවරෙක් නම් මිලදී ගන්නට කැමති වේද?
මෙහි ‘සුමජ්ජං’ යනු ‘කුරුඳු පාෂාණයේ කුඩුවලින් මැනවින් මදින ලද’ යන අර්ථ යි. ‘සුපාසං’ යනු ‘සිදුරු විදින කටුවෙන් සියුම් ලෙස විදින ලද බැවින් ඉතා හොඳ ඉඳිකටු මලයක් ඇති’ යන අර්ථ යි. ‘ඝනඝාතිමං’ යනු ‘යම් පහර දීමකින් කිණිහිරක් පසා කරගෙන යා ද? ඒ ඉඳිකටුව ‘ඝනඝාතිම’ යැ’යි, කියනු ලැබේ. මේ ඉඳිකටුව එබන්දකි’ යන අර්ථයි. ‘පටිත්‍ථද්ධං’ යනු ‘මෘදු නොවූ තද එකකි’ යන අර්ථයි.
මේ අතර උදේ ආහාර අනුභව කළ නායකතුමා වෙහෙස දුරුකර ගැනීම සඳහා කුඩා ඇඳක හාන්සි වී හුන්නේය. එවේලෙහි ඔහුගේ දූ කුමරිය සිය පියාට පවන් සලමින් තල් වටක් අතින් ගෙන, ඇද ළඟ වාඩි වී හුන්නාය. බෝසතුන්ගේ මිහිරි කටහඬ ඇයට ඇසුනේ මෙවිට ය. ඒ කටහඬ ඇසූ කල්හි, සිනිඳු අමු මස් පිඩකින් සිය හදවතට ගැසුවාක් මෙන්ද, ග්‍රීෂ්මයෙන් පීඩාවට පත් වී හුන් කලකෙ, සිසිල් දිය කළගෙඩි දහසකින් නෑව්වාක් මෙන් ද, ඇයට දැනුණි. ‘මිහිරි හඬින් මධුර නාදයෙන් යුතු කටහඬින් කම්මල්කරුවන් වසන මේ ගමේ ඉඳිකටු වෙළෙඳාම් කරන මේ තැනැත්තා කවරෙක්ද? කුමන කරුණකට ඔහු මෙහි පැමිණියේ දැ’යි, නිසැකව එය දැනගන්නෙමැ’යි, අදිටන් කොටගත් තරුණ කුමාරිකාව, තල්වට පසෙකින් තබා ගෙයින් එලියට බැස්සාය. සිය නිවසේ ආලින්දයේ සිට ඇය ඔහු සමග කථා කරන්නට පටන් ගත්තාය. බෝසත්වරුන්ගේ ප්‍රාර්ථනා වූ කලී කෙසේ නමුත් ඉටුවේ. බෝසත් තෙමේ කර්මාර ගමට පැමිණියේ ම ඈ ගැන බලාපොරොත්තුවෙන් ය. ඇයම දැන් ඇවිත් ඔහු සමග කතා කරයි. කුමරිය කතාව අරඹමින්, ‘තරුණය, මේ මුළු රටේම වැසියෝ ඉඳිකටු ආදී උපකරණ සඳහා මේ ගමට පැමිණෙති. ඔබ වනාහි, ලාබාලකම නිසාදෝ මේ ගමේ ඉඳිකටු විකුණන්නට සිතූ දෙයක් පෙනේ. එසේ වුවද, ඔබ මුළු දවස පුරාම ඔබ තැනූ ඉඳිකටුව ගැන වර්ණනා කළත්, ඔබේ අතින් එය මිලදී ගන්නට කෙනකු මේ ගමේ නැත. එබැවින් ඔබට අවශ්‍ය වන්නේ මුදල් නම්, වෙනත් ගමකට යනු මැනවැ’යි කියා වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
3. මෙකල ඉඳිකටු, බිලී කොකු (යනාදිය) මෙහෙන් (මේ ගමෙන්) බෙදා හරිති. ලෝකුරු ගමක ඉඳිකටු විකුණන්නට හදන, මේ ඔබ කවරෙක්ද?
4. විවිධ වූ කර්මාන්ත බොහෝ ය. (ඒවාට) ආයුධ මෙහෙන්ම යයි. (එසේ වූ) ලෝකුරු ගමක ඉඳිකටු විකුණන්නට කවරෙක් නම්, සුදුසු වේද?
අටුවාව : මෙහි ‘ඉතොදානි’ යනු ‘දැන් මේ රටේ’ යන අර්ථයි. ‘සූචියො ච බලිසානි ච’ යනු ‘ඉඳිකටුත්, බිලීකටුත්, වෙනත් උපකරණත්, මේ ලෝකුරු ගමෙන් ම’ යන අර්ථයි. ‘පතායන්ති’ යනු ‘නික්මෙත්, ඒ ඒ දිසාවට පැතිර යති’ යන අර්ථයි. ‘කොයං’ යනු ‘මෙසේ ඇති කල්හි මේ ලෝකුරු ගමේ ඉඳිකටු විකුණන්නට හදන මොහු කවුද?’ යන අර්ථයි. ‘සත්‍ථානි’ යනු ‘බරණැසට යන විවිධ ආයුධ මෙහෙන් ම යයි’ යන අර්ථයි. ‘විවිධා පුථු’ යනු ‘සියලු රටවැසියන්ගේ නානාප්‍රකාර වූ බොහෝ කර්මාන්ත මෙහෙන් ගත් උපකරණවලින් ම පවතී’ යන අර්ථයි.