9. තිත්තිර ජාතකය (319)
‘සුසුඛං වත ජීවාමි’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඛදිරිකාරාමයේ වාසය කරන සේක්, රාහුල තෙරුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තිපල්ලත්‍ථ’ ජාතකයෙහි විස්තර වශයෙන් දක්වන ලදි. දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, රාහුල ශික්‍ෂාකාමී ය. යමක් දැන ගැනීමෙහි කුකුස් ඇත්තේය. අවවාද දීමට ද ඉතා පහසුයැ’යි ඒ රාහුල තෙරුන්ගේ ගුණ කථා කරමින් සිටිද්දී, බුදුරජාණන් වහ්නසේ එතැනට වැඩ ‘මහණෙනි, ඔබ සැම කුමන කථාවකින් යුක්තව සිටියාහුදැ’යි විචාරා කරුණු දැන, දැන් පමණක් නොව, පෙරද, රාහුල ශික්‍ෂාකාමීය. යමක් දැන ගැනීමට කුකුස් ඇත්තේය. අවවාද කිරීමට ද සුදුස්සෙකි’යි වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි, බෝසත් තෙමේ බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද සුදුසු වියේදී තක්‍ෂිලාවට ගොස්, එහි දී සියලු ශිල්ප උගෙන, එතැනින් නික්ම අවුත්, පසුකලෙක හිමාල පෙදෙසේදී, සෘෂි පැවිද්දෙන් පැවිදිව අභිඥා ද, සමාපත්තිද, උපදවා ධ්‍යාන සුවයෙන් රමණීය වනලැහැබක දිගුකලක් වැස, ලුණු-ඇඹුල් සේවනය සඳහා, එක්තරා පසල් ගමකට ගියේය. එහිදී මිනිස්සු ඔහු දැක සිත් පැහැද, කැලයෙහි පන්සලක් තනවා දී, සිවුපසයෙන් උපස්ථාන කරමින් පහසුවෙන් විසීමට සැලැස්සූහ. එකල ඒ ගමේ එක් කුරුලු වැද්දෙක්, සේවටුවකු අල්ලාගෙන මැනවින් පුරුදුකොට, කූඩුවක ඇතිදැඩි කරයි. ඔහු කැලයට ඌ ගෙන ගොස් හඬ නගන්නට සලස්වා, අනතුරුව එම ශබ්දයට ළංවූ වටුවන් අල්ලාගෙන, එයින් ජීවිකාව කරගෙන යයි. දිනක් ඒ වටුවා ‘මා නිසා මගේ බොහෝ නෑයෝ නැසෙති, එය මට මහත් පාපයකි’යි සිතා නිහඬව සිටියේය. වැද්දා වටුවා නිහඬ බව දැක, උණ පතුරකින් උගේ හිසට පහර දුනි. වටුවා දුකෙන් පීඩිතව හඬලයි. මෙසේ ඒ කුරුලු වැද්දා තම වටුවා නිසා, සෙසු වටුවන් අල්ලාගෙන, ජීවිකාව ගෙන ගියේය.
දිනක් ඒ වටුවා මෙසේ සිතීය. ‘මගේ නෑයන් වන වටුවන්, මැරීම සඳහා චේතනාවක් මට නැත, එහෙත් පාපකර්මය මා වෙහෙසයි, මා ශබ්ද නො ගන්නේ නම්, වටුවෝ නො පැමිණෙති. මගේ හඬ නිසාම පැමිණෙති. පැමිණි පැමිණි එවුන් අල්ලාගෙන, මරණයට පත් කරන වැද්දා, එයින් ජීවිකාව ගෙන යයි, මෙයින් මට පවක් වේද? නොවේද?’ යනුවෙනි. මෙසේ සිතා වටුවා එතැන් පටන් ‘කවරෙක් නම්, මාගේ මේ සැකය දුරුකරන්නේදැ’යි, ඊට සුදුසු පඬිවරයකු සොයමින් සැරිසරයි. ඉක්බිති එක් දවසක් ඒ කුරුලු වැද්දා බොහෝ වටුවන් අල්ලාගෙන, පැසෙක දමා වතුර ටිකක් බීමට බෝසතුන්ගේ අසපුවට ගියේය. වැද්දා වටු කූඩුවද ඉහත කී පැස ද, බෝසතුන් සමීපයෙහි තබා, පැන් බී, වැලි මත්තෙහි නිදන්ට පටන් ගත්තේය. මේ අතර වටුවා ඔහු නිදනු දැක, ‘මගේ සැකය මේ තවුසාගෙන් විමසන්නෙමි, ඊට පිළිතුරු ඔහු දනිතොත් කියන්නේ’ යැයි සිතා, කූඩුවේ සිටම තවුසාගෙන් මෙසේ ප්‍රශ්න කෙළේය.
සුසුඛං වත ජීවාමි ලභාමි චෙව භුඤ්ජිතුං,
පරිපන්‍ථෙ ච තිට්ඨාමි කානු භන්තෙ ගතී මමන්ති
ස්වාමීනි, ඒකාන්තයෙන් මම මනා සැපයෙන් ජීවත් වෙමි, කෑම ද ලබමි, එහෙත් කරදර සිතින් ජීවත් වෙමි, එසේ වූ මාගේ පරලෝ ගමන කෙසේ විය හැකිද?
මෙහි ‘සුසුඛං වත’ යනු ‘හිමියනි, මම මේ වැද්දා නිසා ඉතා සැපසේ ජීවත් වෙමි’ යන අර්ථයි. ‘ලභාමිචෙව’ යනු ‘කැමති කෑම බීම ආදිය ද අනුභවයට ලබමි’ යන අර්ථයි. ‘පරිපන්‍ථෙ ච තිට්ඨාමි’ යනු ‘එසේ වුවත් මගේ හඬ අසා ආ ආ නෑයෝ නැසෙති, මම මේ කරදරයෙහි වැටී සිටිමි’, යන අදහසයි. ‘කානුභන්තෙ’ යනු ‘හිමියනි, එසේ වූ මාගේ පර ලෝ ගමන සහ උදාවන තත්ත්වය කුමක් වන්නේදැයි විචාළේය’ යන අර්ථයි.
බෝසත් තෙමේ පිළිතුරු දෙමින් මෙසේ කීය.
2. පක්‍ෂිය, ඒකාන්තයෙන් ඔබේ සිත පවට නො නැමේ, පවෙහි නොයෙදුණු යහපත් තැනැත්තකුගේ ඇඟේ පව් නොගෑවේ.
මෙහි ‘පාපස්ස කම්මුනො’ යනු ‘ඉදින් ඔබේ සිත පව්කම් සඳහා’, යන තේරුමයි. ‘න පණමති’ යනු ‘පව් කිරීමට නතු වූයේ, එයට නැමුනේ, එයට බරවූයේ, නොවෙයි’ යන අර්ථයි. ‘අව්‍යාවටස්ස’ යනු ‘මෙසේ ඇති කල්හි, පව් කිරීම සඳහා යොමු නොවුණු, උත්සාහ නොකළ, යහපත් සත් පුරුෂයකු වන ඔබගේ’, යන අර්ථයි. ‘පාපං න උපලිප්පති’ යනු ‘පව් නො ගෑවෙයි’ යන අර්ථයි.
ඒ අසා වටුවා මෙසේ කීය.
3. ‘අපේ නෑයෙක් හිඳින්නේ යැ’යි, බොහෝ පක්‍ෂීහු පැමිණෙති. ‘මා කළ කර්මය නිසා පවක් සිදුවේදැ’යි, එහිලා මගේ සිත සැක කෙරේ.
‘හිමියනි, ඉදින් මම හඬ නො නගන්නේ නම්, මේ වටු රැළ නො පැමිණෙන්නාහ. මා ශබ්ද කරන කල්හි, අපගේ නෑයෙක් හිඳින්නේයැ’යි මේ වටු රැළ බොහෝ කොට පැමිණෙති. වැද්දා ඒ පැමිණි නොපැමිණි වටුවන් මරණයට පත් කරන්නේය. මා හේතු කොටගෙන, මා නිසාම ඒ පාණාතිපාත කර්මය පැහැසේ, සිදුවේ, ලබයි. එහිදී මා නිසා කළ පව් බැවින් ඒ පාපය මට වේදැ’යි, මෙසේ මගේ සිත සැක කෙරේ. කුකුසට පත්වේ, යනුයි.
ඒ අසා බෝසත් තෙමේ මෙසේ කීය.
4. ඉදින් සිත ද්වේෂ සහගත නොවේ නම්, ඒ නිසා ප්‍රාණඝාතය සිදු නොවේ. අල්ප උත්සාහ ඇති යහපත් පුද්ගලයෙකුගේ සිරුරෙහි පව් නොගෑවේ.
ඉදින් ඔබේ සිත පවෙන් දූෂිත නොවේ, එයට නතු නොවේ. එයට නො නැවේ, එයට බර නොවේ. එසේ ඇති කල්හි, වැද්දා විසින් ඔබ හේතුකොට ගෙන කළ පාප කර්මය ඔබ ස්පර්ශ නො කරයි, නොඇලෙයි, පවෙහි අල්පෝත්සුක වූ, එහි නොඇලුණු, යහපත් පිරිසිදු සත්පුරුෂයකු වූ ඔබට, පර පණ නැසීමේ චේතනාවක් නොමැති බැවින්, ඒ පාපය නො ගෑවෙයි. එහි ඔබේ සිත නො ඇලෙයි, යනුයි.
මෙසේ බෝසත් තෙමේ වටුවා දැනුම්වත් කෙළේය. වටුවා ද බෝසතුන් නිසා කුකුස් නැත්තෙක් විය. මේ අතර වැද්දා අවදි වී, බෝසතුන් වැඳ, කූඩුවක් ගෙන යන්නට ගියේය.