4. චතුක්ක නිපාතය
1. විවර වර්ගය
1. චුල්ලකාලිංග ජාතකය (301)
“විවරථ ඉමාසං ද්වාරං” යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙමින් පරිබ්‍රාජිකාවන් සිව්දෙනෙකුගේ පැවිද්ද අරබයා වදාළ සේක. විසාලා මහනුවර සත්දහස් සත්සිය හතක් ලිච්ඡවී රජදරුවෝ වූහ. ඒ සියලුදෙනා ප්‍රශ්න ඇසීම්, නැවත නැවත විචාරීම් ස්වභාවකොට ඇත්තාහු වූහ. එක්දිනෙක පන්සියයක් වාදයන්හි දක්ෂ වූ නිගණ්ඨයෙක් විසාලා මහනුවරට පැමිණුනි. ලිච්ඡවීහු ඔහුට සංග්‍රහ කළහ. අනතුරුව එබඳුම වූ දැනුම් ඇති, නිගණ්ඨ කාන්තාවක් ද එ පුරට පැමිණුනි. රජවරු මේ දෙදෙනා එකිනෙක හා වාද කරවූහ. දෙදෙනා ම සමාන දක්ෂකම් දැක්වූහ. ඉක්බිති ලිච්ඡවීන්ට මෙබඳු සිතිවිල්ලක් ඇති විය. ‘මොවුන් දෙදෙනාගේ එකතුවෙන් පුතෙක් උපන්නේ වී නම්, ඔහු දක්ෂයෙක් වන්නේය වශයෙනි. මෙසේ සිතා ලිච්ඡවීහු මේ දෙදෙනා විවාහ කරවා, එක් ව වසන්ට සැලැස්වූහ. අනතුරුව ඔවුන්ගේ විවාහයෙන් පිළිවෙලින් දැරියෝ සිව් දෙනෙක්ද, එක් පිරිමි දරුවෙක් ද ඉපදුනහ. ‘සච්ඡා’, ‘ලෝලා’, ‘අවවාදකා’, ‘පටාචාරා’ යනු දැරියන්ගේ නම් වේ. පුතාගේ නම ‘සච්චක’ය. මේ පස්දෙනා ම නිසිවියට පත් ව, මව් පසින් වාද පන්සීයක් ද පියපසින් වාද පන්සීයක්දැයි, වාද දහසක් උගත් හ. සිය දියණියන්ට ඔවදන් දෙන දෙමාපියෝ ‘දියණිවරුනි, කිසියම් ගිහියෙක් නුඹලා වාදයෙන් පරදවන්නේ නම්, ඔහුට බිරින්ඳන් වවු. පැවිදි උතුමකුට පැරදුනහොත් උන්වහන්සේ ළඟ පැවිදි වවු,’ යැයි පැවසූහ.
පසුකලෙක මව්පියවරු කලුරිය කළහ. ඔවුන් මළ පසු, සච්චක නිගණ්ඨයා විසාලාවේ ම වෙසෙමින් ලිච්ඡවීන්ට ශිල්ප ඉගැන්වීමේ නිරත විය. ඔහුගේ සොයුරියෝ දඹ අත්තක් ගෙන වාද පිණිස නගරයක් පාසා හැසිරෙමින් සැවතට පැමිණ නගර දොරටුවෙහි පොළොවෙහි පස් හාරා දඹ අත්තක් සිටුවා, ‘යමෙක් අප හා වාද කිරීමට පොහොසත් වේ නම් ගිහියකු වුවත් පැවිද්දකු වුවත්, ඔහු මේ පස් ටික පයින් විසුරුවා දමා, දඹ අත්ත පාගාවා’යි එතැනට රැස් ව සිටි දරුවන්ට දන්වා භික්ෂාව පිණිස නුවරට පිවිසුණහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ විහාරස්ථානයේ නොහැමදූ තැන් හැමද, හිස් කළවලට පැන් පුරවා තබා, ගිලනුන්ටද උපස්ථාන කොට, මදක් දවල් වී සැවතට පිඬු පිණිස පිවිසි සේක්, ඉහත කී දඹ අත්ත දැක, අසල සිටි දරුවන්ගෙන් විචාරා ඒ ගැන දැන ඔවුන් ලවාම පස් විසුරුවා, දඹ අත්ත ද පෑගවූ සේක. ‘මේ දඹ අත්ත සිට වූ අය, දිවා ආහාරයෙන් පසු, ජේතවනාරාමයෙහි දොරකොටුවට පැමිණ මා හමුවිය යුත්තාහු යැ’යි දරුවන්ට කියා දී, නුවරට පිවිසි තෙරහු දහවල් දානයෙන් පසු විහාර දොරකොටුවෙහි වැඩසිටියහ. ඉහත කී පරිබ්‍රාජිකාවෝ ද දිවා ආහාරයෙන් පසු අත්ත සිටවූ තැනට පැමිණ, එය පාගා පස් විසුරුවා තිබෙනු දැක, ‘මෙය කවරකුගේ ක්රියාවක්දැ’යි අසා දරුවන්ගෙන් තොරතුරු දැන නැවත නගරයට පිවිස, මහජනයා ද රැස් කරවා ගෙන වෙහෙරට ගොස් දොරකොටුවේ දී තෙරුන්වහන්සේ මුණගැසී උන්වහන්සේ සමග දහසක් නයින් වාද කළහ. වාද දහසෙන් ම තෙරුන්වහන්සේ ජයගත්හ. ‘වෙනත් යමක් දනිත් දැ’යි තෙරුන්වහන්සේ විචාළ කල්හි, ‘හිමියනි, වෙනත් කිසිවක් අපි නොදනිමු’ යැයි පරිබ්‍රාජිකාවෝ පැවසූහ.
‘මම ඔබගෙන් යමක් විචාරමි’ යි තෙරුන් වහන්සේ කී කල්හි, ස්වාමීනි, විමසනු මැනවි, දන්නා යමක් වෙතොත් කියන්නෙමු’යි පරිබ්‍රාජිකාවෝ පැවසූහ. තෙරුන් වහන්සේ ‘එක යනු කිමෙක්දැ’යි විචාළ සේක. ඈලා එය නො දත්හ. තෙරුන් වහන්සේ එය විසඳූහ. එවිට පරිබ්‍රාජිකාවෝ ‘හිමියනි, ජය ඔබට ය. පරාජය අපට යැ’යි කීහ. දැන් තෙපි කුමක් කරන්නෙහුදැ’යි තෙරුන් වහන්සේ ඇසූහ. ඊට පිළිතුරු දෙන පරිබ්‍රාජිකාවෝ ‘ස්වාමීනි, අපට අවවාද දෙන අපේ දෙමාපියෝ, ගිහියෙකුට පරාජය වුවහොත්, ඔහුට බිරියන් වන ලෙසත්, පැවිද්දකුට පරාජය වුවහොත්, ඔහු ළඟ පැවිදි වන ලෙසත් අවවාද කළහ.’ එබැවින් හිමියනි, අපට පැවිද්ද දෙනු මැනව’යි කීහ. ස්ථවිරතුමා ද ඊට කැමතිව ඈලා උප්පලවණ්ණා තෙරණිය ළඟ පැවිදි කරවීය. ඒ සියලුදෙනා නොබෝ කලෙකින්ම රහත් වූහ. ඉක්බිති එක් දිනක් දම් සභාවේදී භික්ෂුහු “ඇවැත්නි, සැරියුත් තෙරණුවෝ පරිබ්‍රාජිකාවන් සිව් දෙනෙකුට උපකාරකයෙක් ව ඔවුන් රහත් බවට පැමිණි වූ සේකැ”යි යන මේ කථාව සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර දම්සභාවට පැමිණි බුදුරජාණන් වහන්සේ “මහණෙනි, දැන තෙපි කුමන කථාවක් කරමින් සිටියාහුදැ”යි විචාරා දැන, “මහණෙනි, සැරියුත් තෙරණුවෝ ඈලාට උපකාරකයෙක් වූයේ, දැන් මතු නො ව, පෙර ද උපකාරකයෙක් ව ඈලා රජ මෙහෙසි තනතුරෙහි තැබූහ”යි වදාරා ඒ අතීත පුවත මෙසේ ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි “කලිඟු” රට “දන්ත” පුරයෙහි කලිඟ රජු රජ කරන කල්හි “අස්සක” රටේ “පෝතලී” නුවර අස්සක නම් රජෙක් රාජ්‍යය කරවීය. කලිඟු රජ ප්‍රබල යුධ සේනාවකින් යුක්ත වූ අතර, තෙමේ ද ශක්ති සම්පන්නයෙක් විය. ඔහු තමා හා විරුද්ධ ව නැගී සිටිය හැක්කකු නො දුටුවේය. එනිසා යුද්ධකාමියෙක් වූ ඔහු තමා හා පිළිමල් ව සටන් වැදිය හැකි රජෙකු සොයන ලෙස ඇමතියන්ට කීය. ඇමතිවරු මහරජතුමනි, එක් උපායක් ඇත. ඔබගේ උසස් රූ සපුවෙන් හෙබි දියණිවරුන් සිව්දෙනා සරසා තිරවලින් ආවරණය කරන ලද යහනක හිඳුවා, රාජ පුරුෂයන් විසින් පිරිවරන ලදුව ගම් නියම්ගම් රාජධානිවල සැරිසරන්නට සලස්වනු මැනවි. එහි දී යම් රජෙක්, ඒ කුමාරිකාවන් සිය අන්තඃපුරයට ගැනීමට කැමති වන්නේද? අපි ඔහු සමග යුද්ධ කරන්නෙමු”යි ප්‍රකාශ කළහ. රජ ඔවුන් කී ලෙස කරවීය. නමුත් කුමාරිකාවන් ගිය ගිය රටවල රජවරු මේ උපාය දැන, යුද කරන්නට බියෙන්, ස්වකීය නගරවලට පිවිසෙන්නට, කුමරියන්ට ඉඩ නො දුන්හ. නුවරින් පිටත කුමරියන්ට නවාතැන් ගන්නට සැලැස්වූ, ඒ ඒ රජවරු ඔවුනට තෑගි බෝග යවා මිතුරු බව තහවුරු කොට ගත්හ. මෙසේ මේ කුමරියන් පිරිවරා ගත් කණ්ඩායම මුළු කණ්ඩායම මුළු දඹදිව හැසිර, අස්සක රටේ පෝතලී නුවරට පැමිණුනි. අස්සක රජ ද නුවර දොරටු වස්වා සෙසු රජුන් මෙන්, පිට නුවරට තෑගි යැවීය. අස්සක රජුට පණ්ඩිත වූත්, දක්ෂ වූත්, උපායෙහි කුසලතා ඇති, “නන්දිසේන” නම් ඇමතියෙක් විය. මේ ගැන කල්පනා කළ ඔහු, “මේ රාජ දුවණියන්ට මුළු දඹදිව ඇවිද විරුද්ධ රජෙකු සොයා ගැනීමට නො හැකි විය. මෙසේ වුවහොත් දඹදිව රජුන්ගෙන් හිස් වූවක් වනු ඇතැ”යි සිතා “මම කාලිංගයා සමග යුද කරන්නෙමි”යි සනිටුහන් කොටගෙන නුවර දොරටුව වෙත ගොස්, දොරටුපල්ලා අමතා කුමාරිකාවන්ට දොරටුව විවර කොට පිවිසීමට ඉඩදෙන ලෙස පවසමින් මේ ගාථාව ප්‍රකාශ කළේය.