2. පුචිමන්ද වර්ගය
1. පුචිමන්ද ජාතකය (311)
‘උට්ඨෙහි චොර’ යන මේ ගාථා කොටස ඇතුළත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ විසින් වේළුවනාරාමයේ දී මහ මුගලන් තෙරුන් ඇරැබ වදාරන ලදි. මුගලන් තෙරණුවෝ එක් කලෙක රජගහ නුවර සමීපයේ, කැලෑබද කුටියක වාසය කෙරෙති. දිනක් එක් සොරෙක් නගරයෙහි වාසල් දොරටුව සමීප ගමක, එක් ගෙයක බිත්ති මුල්ලක් බිඳ, එම ගෙයින් අතේ ගෙන යාහැකි පමණක්, වටිනා වස්තු සොරකම් කොට ගෙන, පලා යන අතර මුගලන් තෙරුන්ගේ පන්සලට පිවිස, ‘මෙතැන මට කදිම ආරක්ෂිත ස්ථානයකි’යි සිතා පන්සල තුළම වැද හොත්තේය. එවිට තෙරුන් වහන්සේ තම සයනය ඉදිරිපිට වැටී නිදන ඔහු දැක ඔහු කෙරෙහි සැක කොට, ‘සොරුන් සමග එක්ව විසීම වූ කලී නුසුදුසු ක්රියාවෙකැ’යි කල්පනා කොට, ඔහු වෙත ගොස්, ‘මෙහි නො නිදව’ යි බැහැර කළේය. ඒ සොරා ද පියවර සටහන් පමණක් ඉතිරි කොට තබා, සෙස්ස ගෙන පලා ගියේය. ඉහත කී ගමේ මිනිස්සු පන්දම් දල්වාගෙන සොරාගේ පා සලකුණු අනුව, පන්සලට පැමිණ, සොරා ඇවිදපු තැන් ද, සිටි තැන් ද, වාඩි වූ හා නිදාගත් තැන් ද, විමසා බලා, ස්ථිර වශයෙන්ම ‘ඔහු මෙතැනින් පැන ගියා විය යුතුයැ’යි ඒ මේ අත ඇවිද, සොරා සොයා ගත නොහැකිව, ආපසු හැරී ගියහ. ඊට පසු දින මුගලන් තෙරුන් වහන්සේ, පෙරවරුයෙහි රජගහ නුවර පිඬු පිණිස හැසිර, ඉන් අනතුරුව වේළුවනාරාමයට වැඩ, සොරා ගැන පුවත බුදුරජාණන් වහන්සේට සැල කළහ. එවිට උන්වහන්සේ ‘මොග්ගල්ලානය, සැක කළ යුතු තැන, එසේ කළේ ඔබ පමණක් නොවේ. පෙර පඬිවරු පවා එසේ කළහ’යි, වදාරා මුගලන් තෙරුන් විසින් ආරාධනා කරන ලදුව මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ නාගරික සුසාන භූමියෙහි පිහිටි, එක් කොසඹ ගසක වෘක්ෂ දේවතාවෙක්ව උපන්නේය. ඉක්බිති එක් දවසක් වාසල් දොරටුව සමීප ගමක, සොරකමක් කළ සොරෙක් ආරක්ෂාව සඳහා, එම සුසාන භූමියට පැන ගත්තේය. සුසාන භූමියෙහි ඉහත කී කොසඹ ගස සමීපයෙහි, බෝගසක් ද විය. එම බෝ ගසෙහි ද වෘක්ෂ දේවතාවෙක් විසීය. සොහොන් බිමට පැමිණි සොරා, කොසඹ ගස මුල සොර බඩු පොදිය තබා, එහිම වැද හොත්තේය. මෙකල සොරෙකු අසු වූ විට, උල තැබීම සිරිතකි. එම උල තැබීමෙහි දී උල වශයෙන් භාවිත කෙරෙනුයේ බහුල වශයෙන් ම කොසඹ ගසකි. එනිසා කොසඹ ගසෙහි සිටි දේවතාවා, බිම නිදන සොරා දෙස බලා, ‘යම් විදියකින් ගමේ මිනිස්සු මෙහි අවුත් සොරා අල්ලාගෙන, මා වෙසෙන මේ කොසඹ ගසේම අතු සිඳ දමා, ගසේ මුදුන උල්කොට, උල තබන්නට සැරසුනහොත්, කොසඹ ගස විනාශ වන්නේය. එබැවින් ‘මොහු මෙතනින් පලවා හරින්නෙමැ’යි සිතා නිදන සොරාට කතාකොට මේ ගාථාව කීය.
උට්ඨෙහි චොරං සෙසි - කො අත්ථො සුපිතෙන තෙ,
මාතං ගහෙසුංරාජානො - ගාමෙ කිංඛිස කාරකන්ති
මාතං ගහෙසුංරාජානො - ගාමෙ කිංඛිස කාරකන්ති
අන්සතු දේ පැහැර ගන්නා තැනැත්තා, නැගිටුව, නිදින්නේ කුමටද? නිදා ගැනීමට තට කවර සෙතක්ද? රජවරු ගමේ නපුරුකම් කළ තා අල්ලා නො ගනිත්වා.
මෙහි ‘රාජානො’ යනු ‘රාජ පුරුෂයන්’ සඳහා කියන ලදි. ‘කිබ්බිසකාරකං’ යනු ‘දරුණු වූද සාහසික වූද සොරකම් කළ’ යන අර්ථයි.
මෙසේ ඔහුට කියා, ‘රාජ පුරුෂයන් තෝ අල්ලා ගැනීමට පෙර අන්තැනකට යව’යි, බියට පත්කොට පලවා හැරියේය. ඔහු පලා ගිය කල්හි, ඇසතු (බෝ) ගසේ සිටි දේවතාවා, මේ දෙවන ගාථාව කී ය.
2. ‘ගමේ නපුරුකම් කළ සොරකු (රාජ පුරුෂයෝ) අල්ලා ගනිති’ යන යමක් වේ නම්, එහි ලා වනයෙහි හටගෙන ඇති කොසඹ ගසෙක වෙසෙන දෙවියාට ඇති ප්රශ්නය කුමක්ද?
මෙහි ‘වනෙ ජාතස්ස තිට්ඨතො’ යනු ‘වනේ ඇති කොසඹ ගස එහිම හටගත්තකි. දේවතාවා වනාහි එහිම උපන් බැවින් ගසේ ව්යවහාරයෙන්ම ඇමතීය’, යන අර්ථයි.
ඒ අසා කොසඹ ගසේ වෙසෙන දෙවියා, මේ ගාථාව කීය.
3. ඇසතු දේවය, මගෙත් සොරාගේත් වෙනස නුඹ නො දනිහිද? රජවරු ගමේ සොරකම් කළ, සොරකු අසුවූ විට, ඔහු අල්ලාගෙන, කොසඹ හුලෙක උල තබති. මගේ සිත ඒ කාරණයෙහි සැක කෙරේ.
මෙහි ‘අස්සත්ථ’ යනු කලින් කී ආකාරයටම එහි උපන් දේවතාවා ඇමතීමයි. ‘මම චොරස්ස චන්තරං’ නම්, ‘මගේ ද, සොරාගේ ද එක් ව නො වසන කාරණා’ යනු යි. ‘අප්පෙන්ති නිම්බසූලස්මිං’ යනු ‘මෙකල රජවරු සොරකු අසු වූ විට, කොසඹ හුල අවුණති’ යන අර්ථයි. ‘තස්මිං මෙ සංකෙතෙ මනො’ යනු ‘එම කරුණෙහි ලා මගේ සිත සැක උපදියි. ඉදින් රජවරු මොහු උලෙහි අවුණන්නාහුද? එවිට මාගේ විමානය නැසෙන්නේ ය. අනතුරුව අත්තක එල්වන්නේය. එයින් මාගේ විමානය කුණු ගඳ ගසන තෙක් වන්නේය. එම නිසා මම ඔහු පලවා හැරියෙමි’යි යන අර්ථයි.
මෙසේ ඒ දෙවිවරුන් ඔවුනොවුන් හා සංවාද කරන අතරතුරේ සොරා විසින් පැහැර ගන්නා ලද බඩුවල හිමිකරුවෝ, අත්වල පන්දම් දරා සොරා ගිය මග සොයමින් සොහොන් බිමට පැමිණ, පියවර ලකුණු අනුව සොරා නිදිගත් ස්ථානය දැක, එතැන සිටි අන් අයට කථාකොට ‘පින්වතුනි, සොරා මෙතැනින් පැන ගොස් ඇත. දැන් අපට ඔහු අල්ලා ගත නො හැක. යම් විදියකින් ඔහු අල්ලා ගැනීමට හැකි වූයෙමු නම්, මේ කොසඹ ගසේම උල තබා, මෙහිම අත්තක මිනිය එල්ලා තබා යන්නෙමු’යි කියා, ඒ මේ අතර ඇවිද සොයා බලා, සොරු අල්ලාගත නොහැකිව ආපසු ගියහ.