10. සුච්චජ ජාතකය (320)
‘සුච්චජං වත නච්චජි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, එක් කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. එක් දිනක් ඔහු තම ණය බඩු එකතු කිරීම සඳහා, සිය බිරියත් කැටුව කිසියම් ගමකට ගියේය. එහිදී ණය බඩු එකතු කොට ‘පසුව කරත්තයක් රැගෙන විත් ඒවාගෙන යන්නෙමි’යි සිතා කිසියම් ගෙදරක එම බඩු තැබීය. අනතුරුව ආපසු එන ගමනේ අතරමග දී ඔවුන්ට එක් පර්වතයක් දක්නට ලැබුණි. එවිට බිරිඳ සිය සැමියා අමතා ‘හිමියනි, මේ පර්වතය රත්තරං වුවහොත්, ඔබතුමා එයින් ටිකක් මටත් දෙනවාදැ’යි ඇසුවාය. එවිට සැමියා ‘තී කවුද? තීට කිසිවක් නො දෙමි’යි කීවේය. ‘රන් පර්වතයක් ලැබුණත්, ඉන් මඳක්වත් මා වෙනුවෙන් කැප නොකරන මොහු ඉතා තද සිත් ඇත්තෙකැ’යි සිතූ ඇය රිදුණු සිත් ඇති ව නිහඬ වූවාය. මෙසේ ගමන් කරන මේ අඹුසැමි යුවල ක්‍රමයෙන් දෙව්රම් වෙහෙර සමීපයට පැමිණියහ. එහිදී පැන් බීම සඳහා පන්සලට ඇතුළු වූ ඔවුහු සිත් සේ පැන් බී, එන්නට සූදානම් වනවිට, ඈතින් වැඩහිඳින බුදුරජාණන් වහන්සේ දුටහ. බුදුරජාණන් වහන්සේද, අලුයම ලොව බලා වදාරද්දී, සෝවාන් වීමට තරම් වූ ඔවුන්ගේ පින්ඵල දැක, ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන්ම, ගඳකිළි පිරිවෙනෙහි එසේ වැඩසිටි සේක. මේ අතර බුදුරදුන් දුටු අඹුසැමි දෙදෙනා, සවනක් ගණ බුදුරැසින් හෙබි තථාගතයන් වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳගත්හ. ඔවුන් සමග පිළිසඳර කථා කළ බුදුරජාණන් වහන්සේ, ‘ඔබ දෙපල කොහි ගියාහුදැ’යි විචාළ සේක. ‘හිමියනි, අපි පැරණි ණය එකතු කරන්නට කිසියම් ගමකට ගියෙමු’යි ඔවුහු කීහ. එහිදී කාන්තාව ඇමතූ, බුදුරජාණන් වහන්සේ ඇගෙන් මෙසේ ඇසූ සේක. උපාසිකාවනි, ඔබේ සැමියා ඔබට හිතවත්ව කටයුතු කෙරේද? ඔබට උපකාර කෙරේද? ‘ස්වාමීනි, මම සැමවිටම මොහු කෙරෙහි, සෙනෙහසින් කටයුතු කරමි. එහෙත් මා ගැන සෙනෙහසක් ඔහුට නැත. අද අප එනවිට පර්වතයක් දැක, ‘එය රන් පර්වතයක් වී නම්, එය ඔබට අයත් නම්, එයින් ටිකක් මට දෙනවාදැ’යි මම මාගේ මේ සැමියාගෙන් ඇසුවෙමි. එවිට ඔහු තී කවුද? තීට කිසිවක් නොදෙමි’යි මට සැරවිය. මොහු එසේ ගල් හිතක් ඇත්තෙකැ’යි සියල්ල විස්තර කොට ඇය කීවා ය. එය අසා සිටි බුදුරජාණන් වහන්සේ ‘උපාසිකාවනි, දැන් ඔහු එසේ කීවත්, කිසියම් දිනක කළගුණ සිහිපත් කොට ඔබට සියලු යස ඉසුරු ලබාදේදැ’යි වදාරා අතීත සිදුවීමක්ද, සිහිපත් කළහ. පසුව ඒ අඹුසැමි දෙදෙනාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප මහා බෝසත් තෙමේ ඒ රජුගේ සියලු කටයුතු භාර ඇමතියා විය. කිසියම් දිනෙක රජතුමා රාජ සභාවට පැමිණෙන තම පුතණුවන් දෙස බලා ‘මොහු මා ළඟම හිඳිමින් මට ද්‍රෝහිකම් කෙරේ. එබැවින් මොහු රජයෙන් ඈත්කර තැබිය යුතුයැ’යි සිතා, ඔහු කැඳවා ‘පුතණුවනි, මම මෙහි ජීවත් වනතාක්, ඔබට මෙහි වසන්නට අවසර නැත. කොහේ හෝ ජීවත්ව සිට, මාගේ ඇවෑමෙන් මෙහි අවුත් රජය භාරගෙන කරවයි පැවසීය. යුවරජු වන මේ පුත් කුමාරයාද ‘යහපතැ’යි කියා පිළිගෙන, පියරජතුමාට වැඳ, තම දෙටු බිරියද, කැටුව නුවරින් නික්ම පසල් දනව්වක මහා වනයෙහි, අතු මඩුවක් සාදාගෙන, පලවැලවලින් දිවි ගෙවන්නට පටන් ගත්තේය. පසු කලෙක පියමහරජු මිය ගියේය. දිනපතා නැකැත් යෝග විමසන, යුවරජුට සිය පියා මියගිය බව පෙනී ගියේය. අනතුරුව සිය බිරිඳත් සමග වහ වහා සිය නුවර බලා එන්නට පිටත් විය. මේ එන අතරමගදී අසල තිබූ පර්වතයක් දුටු, රාජදේවිය සිය සැමියා අමතා ‘යුවරජතුමනි, මේ පර්වතය රත්තරන් වුවහොත්, එයින් ටිකක් මට දෙන්නෙහිදැ’යි ඇසුවාය. එවිට යුවරජතුමා ‘තී කවුද? තිට කිසිවක් නො දෙමි’යි කීවේය. මේ වචනවලින් සිත නරක් වූ දේවිය ‘මම මොහු කෙරෙහි සෙනෙහසින් අත් නො හැර එකටම වනගත වූවෙමි. එසේ වූ මට මොහු දැන් සලකනුයේ මෙසේය. මෙවැනි ගල් හිතක් ඇති, මොහු රජවීමෙන් පසු මට කුමන යහපතක් කෙරේදැ’යි නොසතුටු සිත් ඇතිව දුකට පත් වූවාය. නුවරට පැමිණි ඔහු රජ වී ඉහත කී දේවිය, අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය කෙරෙහි රජු දැක්වූ සැලකිල්ල මෙපමණක්ම විය. මීට වැඩි වූ සත්කාර සම්මානයක් ඇයට හිමිවූයේ නැත. ඇය මාලිගය තුළ ඇති බවක්වත්, රජ නො සැලකීය.
දිනක් බෝසත් තෙමේ ‘මේ රාජ දේවිය රජුට බොහෝ උපකාර කළ තැනැත්තියකි. දුක ගණන් නොගෙන රජු හා වනගතව විසුවාය. එසේ වූ ඇය අමතක කළ මේ රජා අන් අඟනන් සමග සිත් අලවා වෙසේ. එබැවින් මැයට හිමි සියලු යසඉසුරු ලබාදීමට කටයුතු සැලකිය යුතුයැ’යි සිතා, කිසියම් දිනෙක මෙහෙසිය වෙත එළඹ ‘මහාදේවිය, අපට ඔබතුමියගෙන් බත් පිඩක්වත් නොලැබුණි. අප කෙරෙහි මෙසේ සලකනුයේ හිතේ මෘදු බවක් නැති නිසාවත්දැ’යි ඇසීය. එවිට දේවිය ‘පුතණුවනි, ඔබට යමක් දීමට නම් පළමුව මට තිබිය යුතුය. මා ළඟ කිසිවක් නැතිව කුමක් නම් ඔබට දෙන්නෙම්ද? රජතුමා ද, මට කිසිවක් නොදේ යැ’යි දුක් වූවාය. එවිට බෝසත් තෙමේ ‘මහා දේවිය කිමෙක්ද? ඔබට මේ කථාව රජු ඉදිරියෙහි පැවසිය හැකිදැ’යි ඇසීය. ‘එසේය, පැවසිය හැකිය.’ ‘එසේ වී නම්, හෙට රාජසභාවේ දී මේ ගැන මම ඔබෙන් විමසන්නෙමි. එවිට ඔබතුමිය, මේ කථාව මෙසේම කියනු මැනවැ’යි කීය. ‘එසේය, පුතණුවෙනි, සියලු විස්තර මම රජු ඉදිරියෙහි පවසන්නෙමැ’යි රාජදේවිය පිළිගත්තාය. පසුදින රාජසභාවට පැමිණි බෝසත් තෙමේ, රජු සමීපයෙහි වාඩි වී හුන් දේවිය දෙස බලා, එතැනට පැමිණ, රජුට වැඳ අවසර ගෙන, රාජදේවියට මෙසේ කීය. ‘උත්තමාවිය, අපි ඔබතුමියගෙන් කිසිදු තෑග්ගක් නො ලැබීමු.’ ‘පුතණුවනි, අපට ඇතොත් ඔබට දිය හැකිය. අපට කිසිවක් නැති කල කුමක් දෙම්ද? රජතුමාගෙන්ද, මට ලැබෙන කිසිවක් නැතැ’යි පැවසූ ඈ වනගතව සිට ආපසු එද්දී සිදුවූ සිද්ධිය, රාජ සභාව හමුවෙහි, නොපැකිල විස්තර කළාය. තවදුරටත් කථා කළ ඇය, ‘පුතණුවෙනි, අතිශයින් ම මට ලැබිය යුතුවූ දේවත්, රජතුමා නොදේයැ’යි කියා මේ ගාථාවද පැවසූහ.
සුච්චජං වත නච්චජී - වාචාය අදදං ගිරි’,
කිංහි තස්ස චජන්තස්ස - වාචාය අද ද පබ්බතන්ති
පර්වතය වචන මාත්‍රයෙන්වත්, නොදෙන්නා වූ (ඔහු) ඒකාන්තයෙන් දිය හැකි දේ පවා, නො දුන්නේය. එබඳු වචන මාත්‍රයක් දීමෙන් ඔහුට කවර හානියක්ද? එසේ වචනයකින්වත් පර්වතය නොදුන්නේය.
මෙහි ‘සුච්චජං වත’ යනු ‘පහසුවෙන් දිය හැකි දේ පවා’ නො දුන්නේය යන අර්ථයි. ‘අදදං’ යනු ‘වචන මාත්‍රයෙන්වත්, නොදේනනේ යන අර්ථයි. ‘කිං හි තස්ස චජන්තස්ස’ යනු ‘මා විසින් ඉල්ලන ලදුව වචන මාත්‍රයක් නො දිය හැකි ඔහුට කුමක් නම්, පරිත්‍යාග කළ හැක්කේ ද යන අර්ථයි. ‘වාචාය අදද පබ්බතං’ යනු ‘ඉදින් මා විසින් යදින ලද මොහු මට වචනයෙන් පමණක්වත්, රන්මුවා වූ ඒ පර්වතය නොදුන්නේය. වචන මාත්‍රයෙන්වත් නොදුන්නේය’ යන අර්ථයි.
ඒ අසා රජතුමා මෙසේ කීය.
2. කරන දේ කියන්නේය. නො කරන දේ නො කියන්නේය, නොකොට කියන දෑ පඬිවරු හඳුනති.
පණ්ඩිත පුරුෂයෙක් යමක් කයින් කියන්නේද? එය වචනයෙන් කියන්නේය. යමක් නො කරන්නේ නම්, එය නොකියන්නේය. දෙනු කැමැත්තා දෙමියි කියන්නේය. නොදෙනු කැමැත්තා එසේ නොකියන්නේය යන අදහසයි. මක්නිසාද, යමෙක් දෙමියි කියා, පසුව නොදේද? කරන දේ කීම මුසා බිණීමකි, පණ්ඩිතවරු මුසා හඳුනති. ‘මම දෙන්නෙමි’ යන වචන මාත්‍රය පමණක් කියා නොදේද? නොදුන් දෙයක් වචන මාත්‍රයෙන් පමණක් දුන්නේද? ඒ වචනය කල් ඇතිවම ලැබූවක් වන්නේය. මෙසේ ඔහුගේ මුසාබස් පඬිවරු හඳුනති. වචන මාත්‍රයෙන් තුටු වන්නෝ මෝඩයෝය.