8. කණවෙර ජාතකය (318)
‘යන්තං වසන්තසමයෙ’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කල්හි, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්‍ෂු කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘ඉන්‍ද්‍රිය’ ජාතකයෙහි දැක්වෙන්නේය. බුදුරජාණන් වහන්සේ ඉහත කී භික්‍ෂුව අමතා, ‘ඔබ මීට පෙරද මැය නිසාම කඩු පහරින් හිස ගැසුම් කා මරණය ලැබුවෙහි යැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ, කසී රට එක් ගමක එක් ගෘහපතියකුගේ ගෙදර ඔහුට පුත්ව උපන්නේය. ඔහුගේ උපත සිදුවූයේ ‘සොර’ නැකතකිනි. එනිසාම නිසි වියට පත්වූ දා සිටම, ඔහු සොරකමට වැටී, එයින් ජීවත් වන්නේ, ප්‍රසිද්ධ සොරකු බවට පත්විය. සොරකමෙහි සූරයකු වූ ඔහු, ඇතකුට හා සමාන කාය බලයෙන් යුක්ත වූයේය. ඔහු අල්ලා ගැනීමට කිසිවෙක් සමත් නොවීය. හේ එක් දවසක් එක් සිටුගෙයක බිත්ති මුල්ලක් බැඳ, බොහෝ ධනය පැහැර ගත්තේය. මෙබඳු සොරකම්වලින් කැළඹුණු නගරවැසියෝ, රජු වෙත එළඹ, ‘දේවයන් වහන්ස, එක් මහා සොරක් මෙනුවර කොල්ලකයි. ඔහු අල්ලා ගනු මැනවැ’යි ආයාචනා කළහ. රජ සොරා ඇල්ලීම සඳහා එනුවර නගරාධිපතිට අණ කෙළේය. අනතුරුව නගරාධිපතිතුමා, රාත්‍රී කාලයන්හි ඒ ඒ තන්හි කාණ්ඩ වශයෙන් ආරක්ෂක පුරුෂයන් යොදා, බඩුත් සහිතවම ඒ සොරා අල්ලා ගත්තේය. අනතුරුව රජු වෙත ඉදිරිපත් කෙළේය. නගරාධිපතිතුමා සොරාගේ දෙඅත් පසුපසට තබා තදින් බඳවා, බෙල්ලෙහි රතු වද මල් මාලාවක් පළඳවා හිසෙහි ගඩොල් කුඩු විසුරුවා, රැගෙන යමින් සතර මංසන්ධිවලදී කසවලින් තළවමින්, රළු හඬ ඇති පණාබෙර (වද බෙර) වයමින්, සොරා වධක ස්ථානයට ගෙන ගියේය. ‘මෙනුවර ගෙවල් කොල්ලකෑ සොරා අල්ලා ගත්තේ යැ’යි මුළු නුවරම කැළඹුණි.
මෙසමයෙහි බරණැස් නුවර දහසක් මිල අයකරන ‘සාමා’ නම් වූ ප්‍රසිද්ධ ගණිකාවක් වූවාය. රජු සමගද ළඟ ඇසුරක් පවත්වන ඇයට පන්සියයක් වර්ණ දාසියන් (ස්වාමි දුවගේ අණින් ගණිකා වෘත්තියෙහි යෙදෙන දාසියන්) පිරිවර විය. මරණය සඳහා සොරා වීදිය දිගේ ගෙන යන අවස්ථාවේදී, සාමා සිය ප්‍රාසාදයෙහි උඩු මහල්තලයේ ජනේලයක් විවෘතකොට පාර දෙස බලා ගෙන සිටියාය. එවිට වද දෙමින් ගෙන යනු ලබන සොරා ඇයට දක්නට ලැබුණි. දුටුමතින්ම සොරා රූමතකු බවද, දුටුවන් පැහැදෙන ප්‍රසාද ගුණයෙන් යුතු අතිශය ශෝභා සම්පන්නයකු බවද, ඇයට වැටහිණි. සොරාගේ ශරීරය සියලු පිරිස් අභිබවා දෙව් රුවක් මෙන්, පෙනෙන්නට විය. දැකීම් මාත්‍රයෙන්ම සාමාගේ සිත සොරා වෙත බැඳුණි. ‘කවර හෝ උපායකින් මම, ඔහු මුදවා ගෙන, මාගේ ස්වාමියා බවට පත් කරගන්නෙමි’යි ඇය තරව ඉටා ගත්තාය. මෙසේ සිතන ඇයට කදිම උපායක් සිහියට නැඟුණි. ඉක්බිති තමාගේ වැඩකාරියට කථා කළ සාමා, ඇය අතේ දහසක මුදල් පොදියක් තබා, නගරාධිපතිවරයා වෙතට අල්ලස් වශයෙන් යැවීය. මේ සමගම නගරාධිපතිතුමාට සැල කරනු සඳහා පණිවුඩයක්ද සිය සේවිකාවට උගන්වා යැවීමට, සාමා අමතක නොකළාය. නගරාධිපතිවරයා වෙත ගිය සේවිකාව, ඉහත කී පඬුරු ඔප්පු කොට, ‘නගරාධිපතිතුමනි, ඔය සොරා සාමාවගේ සහෝදරයාය. ඔහුට පිහිටවීමට සාමාව හැර අන් කිසිවකු නැත. ඔබතුමා මේ පඬුරු ගෙන, ඔහු මුදනු මැනවැ’යි ආයාචනා කළාය. එවිට නගරාධිපතිතුමා, ‘මොහු ප්‍රසිද්ධ සොරෙකි. ඔය කියන අයුරින් ඔහු මුදා හැරිය නො හැකිය. ඒ වෙනුවට දිවි තොර කරනු සඳහා වෙනත් මිනිසකු ලබා දෙන්නේ නම්, සොරා රථයක සඟවා සාමා වෙත එවිය හැකියැ’යි කීයේය. මේ සියලු විස්තර සේවිකාව තම ස්වාමි දුවට වහා සැල කළාය.
මෙදිනම එක් සිටු පුතෙක් සාමාව සොයා පැමිණියේය. ඔහු සාමා ගැන වහ වැටී සිටියෙකි. එනිසා ඔහු දිනපතා ම ඇයට දහසින් බැඳි පියල්ලක් දෙයි. සැඳෑ සමයේ දහසක මුදල් පොදියකුත් රැගෙන, සාමාගේ මැදුරට පැමිණි ඔහුට දුක්මුසුව වැතිර සිටි, ඇය දක්නට ලැබුණි. ඇය වෙතට ගිය සිටු පුත්‍රයා, මුදල් පොදියකුත් ඇයගේ උකුල මත තිබෙනු දුටුවේය. මුදල් පොදිය උකුල මත තබාගෙනම, ඇය මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. එවිට සිටු පුත්‍රයා ‘මේ කිමෙක්දැ’යි කියා, කලබලයට පත් විය. ‘ස්වාමීනි, අද මරණයට රැගෙන ගිය සොරා, මාගේ සහෝදරයාය. පහත් වැඩ නිරත වී යැ’යි මා සමීපයට ඔහු නොඑයි. එහෙත් ඔහු මාගේ සහෝදරයාමය. ‘මම නගරාධිපති තුමාගෙන් සොයුරා මුදන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට ඔහු ‘දහසක් මුදල් ලැබෙතොත් සොරා මුදා හරින්නෙමි’යි හසුනක් එවීය. ‘මා මේ දුක් වන්නේ දහසක මුදල් මා ළඟ ඇතත්, මේවා රැගෙන නගරාධිපතිවරයා වෙතට යාමට, මට නොහැකි නිසා යැ’යි සාමා හඬමින් කීවාය. සාමා කෙරෙහි දැඩි ආදරයකින් බැඳුනු සිටු පුත්‍රයා, ‘මම මුදල් ගෙන ගොස් දෙන්නෙමි’යි, ඇයට පොරොන්දු විය. එවිට සාමා කතා කොට, ‘එසේ වී නම්, ඔබ ගෙනා මුදල්ම රැගෙන යනු මැනවැ’යි කීවාය. සිටු පුත්‍රයා ද මුදල් රැගෙන නගරාධිපතිතුමාගේ නිවසට ගොස්, ඔහුට මුදල් භාර දී, විස්තරද කීයේය. නගරාධිපතිතුමාද, සිටුපුත්‍රයා සඟවා තබා, සොරා මුදා ගෙනැවිත් ආවරණය කරන ලද රියක හිඳුවා, සාමා වෙත යැවීය. ඊට පසු නගරාධිපතිතුමා ‘මොහු රටේ ප්‍රසිද්ධ සොරෙකි. බොහෝ අය හඳුනන්නෙකි. එබැවින් බොහෝ රෑ වන තෙක් සිට, මිනිසුන් ගෙවල් දොරවල් වසා, අගුලු ලා ගත් කල්හී, සොරා වෙනුවට මෙහි පැමිණ සිටින මේ පුරුෂයා මරවන්නෙමි’යි සිතා, කල් ගතකොට, රෑ වූ පසු, පාර තොට මිනිසුන්ගෙන් හිස් වූ කල්හී, සිටුපුත්‍රයා මහත් රැකවරණය මැද, වධක භූමියට කැඳවා ගෙන ගොස්, කඩුවකින් බෙල්ල කපා, සිරුර හුල තබ්බවා නුවරට පැමිණියේය.