7. මතරෝදන ජාතකය (317)
‘මතමතමෙව රොදථ’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම දී, සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. ඉහත කී කෙළෙඹි පුත්‍රයාගේ සහෝදරයා, දිනෙක මිය ගියේය. ඒ මරණයෙන් ශෝකාකූල වූ ඔහු, නොකා නො බී පමණක් නොව නෑම, සැරසීම ආදිය ද ප්‍රතික්‍ෂෙප කොට, දිනපතා සොහොනට ගොස්, සොවින් තැවෙමින් හඬයි. දිනක් බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක්, ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමට ඇති, උපනිශ්‍රය සම්පත් දැක, ‘මොහුට පෙර කළ පින් මතක් කොට දී, ශෝකය දුරුකොට, සෝවාන් ඵලයට පත් කරවීම සඳහා පිහිටවීමට, මා හැර අන් කෙනෙක් නැතැ’යි කල්පනා කොට, ‘මොහුට අවශ්‍යයෙන්ම මා විසින් උදව් කළ යුතුයැ’යි සිතූ සේක. පසුව ඊළඟ දිනයේදී, සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ තවත් තෙර කෙනකුන් ද සමඟ, කෙළෙඹි පුත්‍රයාගේ ගෙදරට වැඩි සේක. බුදුරදුන් වැඩි බව අසා, වහා අසුනක් පනවා, ‘ඇතුලට වඩිනු මැනවැ’යි කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කෙළේය. බුදුරජාණන් වහන්සේ ගෙතුළට පිවිස, අසුනෙහි වැඩහුන් සේක. එවිට කෙළෙඹි පුත්‍රයා බුදුරදුන්ට වැඳ, එකත්පස්ව හුන්නේය. අනතුරුව ‘ගෘහපතිය, ඔබ කුමක් නිසා දුක් වන්නේදැ’යි බුදුරදහු ඇසූහ. එවිට කෙළෙඹියා ‘ස්වාමීනි, මගේ සහෝදරයා මළ දා සිට දුකින් කල් ගෙවෙමි’යි කීය. එවිට බුදුරජාණන් වහන්සේ ‘ඇවැත්නි, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. බිඳිය යුතු සියල්ල බිඳේ. ඒ ගැන සිතමින් වෙහෙසිය යුතු නොවේ. පැරණි පඬිවරු පවා නෑසියන් මළ කල්හි, ‘බිඳිය යුතු දෑ බිඳේ යැ’යි සිතා, ශෝක කළහ’යි වදාරා ඔහුගේ ඉල්ලීමට අනුව මේ අතීත කථාව වදාළ සේක.
අතීතයේදී බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් මෙසෙූ කෙළක් ධනය ඇති, සිටු කුලයක උපන්නේය. ඔහුගේ තරුණ වියේදීම මව්පියෝ කලුරිය කළහ. දෙමාපියන් මල පසු, බෝසතාණන්ගේ සහෝදරයා පවුල පාලනය කෙළේය. බෝසත් තෙමේ, සිය සොයුරාගේ ඇසුරෙහි වැඩේ. පසු කලෙක රෝගයකින්, එම සොයුරා ද මළේය. මුළු පවුලම බලා හදාගත් ඒ සොයුරාගේ, අභාවය ඉවසිය නොහැක්කක් විය. මළ ගෙදරට රැස්වූ ඥාති මිත්‍රාදීහු, හිස මත දෑත් බැඳගෙන හඬති. වැළපෙති. ඒ කිසිවකුට තම පියවි සිහියෙන්, සිටින්නට නොහැකි විය. එසේ වූ මුත් බෝසත් තෙමේ, මෙතෙක් තමාට උපකාර කළ සිය සොයුරාගේ අභාවයේදී නො වැලපී, මනා සිහියෙන් කටයුතු කෙළේය. රැස්ව සිටි අය, ඒ දැක ‘පින්වතුනි, මොහු දෙස බලවු, තම සොයුරා මළේ යැ’යි කියා, මොහුගේ මුහුණෙහි දුක්මුසු පෙනුමක්වත් නැත. අතිශයින්ම තද හිතක් ඇත්තෙකි. දෙදෙනාට අයත් දේපළ, තනි භුක්තියට ඇති කැමැත්ත නිසා, ඔහු සොයුරාගේ මරණයට කැමතියැ’යි කියා, බෝසතුන්ට නින්දා කළහ. සොයුරාගේ මරණයේදී නො හැඬීම ගැන ළඟ නෑයෝ පවා, බෝසතුන්ට දොස් කීහ. බෝසත් තෙමේ ඔවුන්ගේ කතාව අසා, ‘පින්වතුනි, තෙපි තොපගේ අන්ධ බාල භාවය නිසාත් අටලෝදහම් නොදන්නා නිසාත්, ‘මගේ සොයුරා මළේ යැ’යි හැඬුවෙහුය. මම ද කවදා හෝ මැරෙන්නෙමි. තොප ද එසේය. අපි සියලු දෙනාම කෙදිනක හෝ මැරෙන්නෙමු. අප නො හැඬිය යුත්තේ කුමක් නිසාද? සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එක් අයුරකින් කිසිදිනෙක නොපවතී. සිය ස්වභාවයෙන් දිගටම පැවතිය හැකි එකද සංස්කාරයක් නැත. අන්ධ, බාල උදවිය නොදන්නාකම නිසා, අටලෝ දහම් අවබෝධ කොට නොගෙන හඬන කල්හි, මම කුමට හඬන්නෙම්දැ’යි කියා, මේ ගාථා ප්‍රකාශ කෙළේය.
මත මතමෙව රොදථ හිතං රොදථ යො මරිස්සති,
සබ්බෙව සරීර ධාරිනො අනුපුබ්බෙන ජහින්ති ජීවිකං
මැරෙන මැරෙන තරමට හඬවුද? යමෙක් මැරෙන්නේද? ඔහු වෙනුවෙන් නො හඬවු. සිරුරු දරන සියල්ලෝම ක්‍රමයෙන් දිවි අත්හරිති.
2. දෙවියෝ ද, මිනිස්සු ද, සිව්පාවෝ ද, පක්‍ෂි සමූහයා ද, උරගයෝ ද, සර්පයෝ ද, සිය සිරුරෙහි අයිතිය අහිමිව එහෙත්, ජීවිත ආශාවෙන් යුතුව ම සිය ජීවිත අත්හරිති.
3. මිනිසුන් කෙරෙහි, අපේක්‍ෂා කොට ඇති සැප දුක් දෙක මෙසේ වෙනස් වේ. අස්ථිරය. හැඬීම්, වැලපීම්, නිරර්ථකය. ශෝක රාශිය කුමට තොප මැඬීද?
4. ලොල් වූ, සොඬ වූ මතු දියුණුවට යමක් නො කළ, අනුවණ වූ, නොකටයුත්තේ දක්‍ෂ වූ, වැඩකට නැති, ධර්මයෙහි අදක්ෂ වූ යමෙක් වෙද්ද, ඔවුහු ‘ධෛර්ය සම්පන්නයා අනුවණයෙකැ’යි සිතති.
මෙහි ‘මතමතමෙව’ නම්, ‘මළ මළ උදවිය’ යනුයි. ‘අනුපුබ්බෙන’ යනු ‘තම තමාගේ මරණ වාරය පැමිණි කල්හි, පිළිවෙලින් යන අර්ථයි. ‘ජහත්ති ජීවිතං’ යනු ‘සියලු දෙනා එකටම නො මැරෙති. ඉදින් එසේ වන්නේ නම්, ලෝකයේ පැවැත්ම සිඳෙන්නේය යන අර්ථයි. ‘භොගිනො’ යනු ‘මහත් වූ දරණ වැල් සහිත සත්ත්වයෝ ය. ‘රමමානාව’ යනු ‘ඒ ඒ තන්හි උපත ලද දේව ආදි වූ, මේ සියලු සත්ත්වයෝ, තම තමා උපන් ලෝකයේ ඇලී ගැලී කලකිරීමකින් තොරවම ජීවිත අත්හරිති යන අර්ථයි. ‘එවං චලිතං’ යනු ‘මෙසේ භවත්‍රයෙහි නො වෙනස්ව එක්වන්ව නො පවතින බැවින් චලනය වේ. එක් අයුරක පැවැත්මක් නැත යන අර්ථයි. ‘කිංවොසොකගණාභිකීරරෙ’ යනු ‘කුමන කරුණක් නිසා, ශෝක රාශිය තොප මඬීද? වසාගෙන පැතිරේද යන අර්ථයි.
‘ධුත්තා සොණ්ඩා අකතා’ යනු ‘ස්ත්‍රී ලොල් - සුරා ලොල් - සූදු ලොල් අයයි. සුරාසොඬ ආදිහු ගිජු අය වෙති. දියුණුවට යමක් නොකළ අය, අශික්‍ෂිතයෝ වෙති. ‘බාලා’ යනු මෝඩකමින් යුතු අනුවණයෝය. ‘සුරා අයොනිනො’ යනු ‘නුවණ මෙහෙයා වැඩ කළ නො හැකි සූරකම පමණක් ඇති අයයි. සුදුසු වැඩක යෙදිය නොහැකිකම නිසා ‘අයෝග්‍ය’ යන නම ලැබූ අයයි. ‘අයොගිනො’ යන්නට ‘අයොධිනො’ කියා ද පාඨයක් වේ. ‘කෙලෙස් මැර සමග යුද කිරීමට අසමත්’ යන අර්ථයි. ‘ධිරං මඤ්ඤන්ති බාලොති යෙ ධමස්ස අකොවිදා’ යනු ‘මෙබඳු ගිජුකම් ඇති පුද්ගලයෝ, අටලෝදහම් තේරුම් ගත නොහැකි අය ය.’ සුලු දුකක් ඇති වූ විට පවා, හඬා වැළපෙමින් අටලෝදහම් තතු ලෙස නොදත් ඔවුහු නෑයන් මළවිටත් නො හඬන, ධීර ගුණැති නුවණ ඇති මා ගැන ‘මේ අනුවණ යා නොහඬා යැ’යි සිතතී’ යන අදහසයි.
මෙසේ බෝසත් තෙමේ ඔවුන්ට දහම් දෙසා, ඒ සියලු දෙනාගේම ශෝකය දුරු කෙළේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කෙළෙඹි පුත්‍රයා සෝවාන් ඵලයට පත්විය. එකල්හී මහජනයාට දහම් දෙසා, ඔවුන්ගේ ශෝකය දුරු කළ පඬිතුමා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
8. කණවෙර ජාතකය (318)