6. සස ජාතකය (316)
‘සතක මෙ රොහිතා මච්ඡා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරද්දී, සියලු දැයින් සපිරි පිරිකර පූජාවක්, නිමිති කොටගෙන වදාළ සේක. සැවැත් නුවර එක් කෙළෙඹි පුත්රයෙක් බුද්ධ ප්රමුඛ මහ සඟනට සියලු පිරිකරින් සපිරි, දානයක් සකසා, නිවෙස ඉදිරිපිට මණ්ඩපයක් තනවා, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට, සරසන ලද මණ්ඩපයෙහි පනවන ලද, උතුම් ආසනයන්හි වඩා හිඳුවා, නොයෙක් මිහිරි රසැති ප්රණීත දානයක් පූජාකොට, නැවත ඊට පසුදාත්, ඊට පසුදාත් වශයෙන් සතියක් මහ දන් පවත්වා සත්වැනි දින බුද්ධ ප්රමුඛ පන්සියයක් භික්ෂූන් වහන්සේට, සියලු පිරිකරින් සපිරි දානයක්, පූජා කෙළේය. බුදුරජාණන් වහන්සේ බත් කිස අවසන, අනුමෝදනා දේශනාව වදාරන සේක්, ‘උපාසකය, මේ ඔබ විසින් අතිශයින්ම ප්රීති විය යුතු වෙලාවකි. මේ දානය වූ කලී, පෙර පඬිවරුන්ගේ වංශයට අයත් වූවකි. පැරණි පඬිවරු වනාහී ළඟට පැමිණි යාචකයන්ට, ජීවිත ආසාව අත්හැර ඇඟ මස් පවා, දන් දුන්හ’යි වදාරා ඔහුගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජතුමා රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ සා ජාතියේ ඉපිද, කැලයෙහි වාසය කරයි. මේ කැලයෙහි එක් පැත්තකින් පර්වතයක්ද, තවත් පැත්තකින් නදියක් ද තවත් පැත්තකින් පසල් ගමක් ද විය. සාවාට වඳුරෙක් ද, සිවලෙක් ද, දිය බල්ලෙක් ද වශයෙන් මිතුරන් තිදෙනෙක් වූහ. මේ නුවණැති සත්ත්වයෝ සතර දෙනා එක්ව වසමින් තම තමන්ගේ ගොදුරු බිම්වලින් ගොදුරු ගෙන සැඳෑසමයෙහි එකට එක් වෙති. එහිදී, සාවා සිය මිතුරන් අමතා, ‘දන් දිය යුතුය, සිල් රැකිය යුතුය, පොහොයට සිල් සමාදන් විය යුතුයැ’යි ඒ තිදෙනාට අනුශාසනා කරමින් අවවාද වශයෙන් බණ කියයි. සෙසු අය ද, ඒවා පිළිගෙන තම තමන්ගේ නිවෙස්වලට පිවිස, වාසය කරති. මෙසේ කාලය ගතවන කල්හි, දිනෙක බෝසත් තෙමේ අහස දෙස බලා, හඳ දැක ‘හෙට පොහෝ දිනය යැ’යි දැන, මිතුරන් තිදෙනා කැඳවා, මෙසේ කීය. ‘යහලුවනි, හෙට පොහෝ දිනයයි. ඔබ තිදෙනා හෙට සිල් සමාදන්ව පොහෝ කටයුතු සිදුකළ යුතුය. සිල් සමාදන්ව දුන් දානය මහත්ඵලය. එබැවින් යාචකයන්, ඔබ වෙත පැමිණියහොත් තමා කෑ යුතු අහරින් කොටසක්, ඔවුන්ට දී කෑ යුතු යැ’යි කීය. යහලුවෝද මැනවැ’යි පිළිගත්හ. අනතුරුව ඔවුහු සිය නිවෙස්වලට ගියහ.
ඊට පසුදා මේ මිතුරන් අතරින් දිය බල්ලා, උදෑසනම ‘අහරක් සොයන්නෙමි’යි නිවසින් පිටත්ව ගංඉවුරට ගියේය. එදින එක බිලී බාන්නෙක්, රතු පැහැති මාලුවන් සත් දෙනෙකුන් ගොඩට ගෙන, වැලෙක අමුණා ගංඉවුරට ගෙන ගොස්, එහි වැලි යට සඟවා තබා, නැවත මසුන් ඇල්ලීම සඳහා ගඟ පහළට ගියේය. මේ අතර දිය බල්ලා මාලු ගඳ ඉව කොට, වැලි මෑත් කොට, මාලුන් දැක, එය ඉවතට ගත්තේය. අනතුරුව ‘මෙයට හිමිකරුවෙක් ඇත්තේදැ’යි, තුන්විටක් හඬ නඟා කෑ ගැසීය. වටපිට බලා අයිතිකරුවකු නො දැක, මාලු වැල කටින් ඩැහැගෙන තමා වසන ගුලට ගෙනවුත් සුරැකිව තබා, ‘නිසි වෙලාවට අනුභව කරන්නෙමි’යි තමාගේ සීලය ආවර්ජනා කරමින් වැද හොත්තේය. සිවලාද, පොහෝ දින උදේ නිවසින් නික්ම, ගොදුරු සොයමින් ගොස්, එක් ගොවියකුගේ කුටියට ඇතුළු විය. ගොවියා එහි නො සිටියේය. එනමුත් ලොකු මස් කුට්ටි දෙකක් ද, මළ තලගොයකු ද, දී කිරි කළයක්ද එහි විය. ඒ දුටු සිවලා ‘මේවාට හිමිකරුවෙක් ඇත්දැ’යි තෙවරක් මහ හඬින් ඇසීය. පසුව කිසිවකු නො දුටු ඔහු පළමුකොට කිරි කළය වටා, එල්ලාගෙන යාම සඳහා බැඳ තිබූ ලණුව අතරින්, හිස යවා, එය බෙල්ලෙන් ඔසවා ගෙන, මස් කුට්ටි දෙක සමග තලගොයා ද, කටින් ඩැහැගෙන තමන්ගේ නිවසට ගෙනැවිත් තබා, ‘නිසි වේලාවට අනුභව කරන්නෙමි’යි, තම සීලය සිහි කරමින් වැද හොත්තේය. වඳුරා ද, උදෙන්ම වනයට පිවිස, අඹ වල්ලක් කඩා ගෙනැවිත්, තමා වසන තැන තබා, ‘නිසි කලට කන්නෙමි’යි, තම සීලය ගැනම සිතමින් සිටියේය.
මේ අතර බෝසත් සාවා, කෑම කන වේලාවටම නික්ම, ‘කොළ ටිකක් කන්නෙමි’යි, තමාගේ නිවහනෙහිම, වැද හෙව මෙසේ සිතීය. ‘මා වෙතට යාචකයන් පැමිණියහොත්, ඔවුන්ට තණකොළ දිය නොහැකිය. සහල් තල ආදියද, මා ළඟ නැත. පැමිණෙන කෙනෙකුට ඇඟ මස් දන් දෙන්නෙමි යනුවෙනි. ඔහුගෙ සිල් තෙදින් සක් දෙවිඳුගේ පඬු ඇඹුල් සලසුන (පඬුපුල් අසුන) උණු විය. ‘ඒ කිමෙක්දැ’යි විමසන සක් දෙවිඳු මේ කාරණය දැන ගෙන, ‘සා රජු විමසන්නෙමි’යි, සිතා මහලු බමුණු වෙසක් ගෙන, පළමු කොට, දිය බල්ලාගේ නවාතැනට ගියේය. ඒ දුටු දිය බල්ලා ‘බමුණ, කුමට පැමිණියෙහිදැ’යි ඇසීය. එවිට ශක්රයා ‘පඬිතුමනි, කිසියම් ආහාරයක් ලැබේ නම්, සිල් සමාදන්ව මහණකම් කරන්නෙමි’යි කීය. එවිට ‘යහපතැ’යි කී දිය බල්ලා, අහර දනේනට පොරොන්දු වී, ඔහුට මේ ගාථාව කීවේය.
සත්ත මෙ රොහි තා මච්ඡා - උදකා ථල මුබ්භතා,
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතං භූතං වනෙ වසාති
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතං භූතං වනෙ වසාති
‘බමුණ, වතුරෙන් ගෙන ගොඩ දමන ලද, ‘රේ’ මසුන් සත් දෙනකුන් මා ළඟ ඇත. ඒවා අනුභවකොට වනයේ වසනු මැනවි.’
මෙහි ‘ථලමුබ්භතා’ යනු ‘ජලයෙන් ගෙන පොළොවෙහි තබන ලද ගොඩ දමන ලද, ගොඩ දමන ලද, කිසිවකු විසින් ගොඩට ගන්නා ලද’, යන අර්ථයි. ‘එතං භුත්වා’ යනු ‘මා සන්තක වූ මත්ස්යාගාරය පිස, අනුභව කොට මහණදම් කරමින් රමණීය රුක් මුලෙක වැඩහිඳිමින්, මේ වනයෙහි වසනු මැනවි’, යන අර්ථයි.
එවිට බමුණා ‘දැන් කල් වැඩිය, පසුව ගන්නෙමැ’යි කියා, හිවලා වෙතට ගියේය. සිවලාද ‘බමුණ, කුමට මෙහි ආවේදැ’යි ශක්රයාගෙන් ඇසීය. ආ කාරණය පැවසීමෙන් පසු සිවලාද, තමා ළඟ ඇති දෑ බමුණාට දෙන්නට පොරොන්දු වී, මෙසේද පැවසීය.
දුස්ස මෙ බ්රෙත්තපාලස්ස - රත්ති භත්තං අපාභතං,
මංස සූලා ච ද්වෙ ගොධා - එකඤ්ච දධිවාරකං,
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතං භුත්වා වනෙ වසාති
මංස සූලා ච ද්වෙ ගොධා - එකඤ්ච දධිවාරකං,
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතං භුත්වා වනෙ වසාති
‘බමුණ, ගොවියා සඳහා, රෑ බතට ගෙනෙන ලද මස් කුට්ටි දෙකක් ද, තලගොයෙකු ද, දී කිරි කළයක් ද, යන මේවා මා ළඟ ඇත. ඒවා අනුභව කොට වනයෙහි වසනු මැනවි.’
මෙහි ‘දුස්සමෙ’ යනු ‘මට නුදුරෙහි, යම් ඒ ගොවියෙක් වෙසේ ද? ඒ ඔහුට’, යන අර්ථයි. ‘අපාභතං’ යනු ‘එළවන ලද, ගෙන එන ලද’, යන අර්ථයි. ‘මංසසූලා ච ද්වෙ ගොධා’ නම්, ‘අඟුරු මත පුලුස්සන ලද මස් පෙති දෙකක් ද, එක් තලගොයකු ද යනුයි. ‘දධිවාරකං’ යනු ‘දී කිරි කළගෙඩියක්’, යන අර්ථයි. ‘ඉදං’ යනු ‘මා ළඟ මෙපමණක් ඇත’ යන අර්ථයි. ‘මේ සියල්ල කැමති ලෙසින් ගින්නෙන් පිස, අනුභව කොට සිල් සමාදන්ව රමණීය ගසක් මුල හිඳ මහණ දම් කරමින් මේ වන ලැහැබෙහි වසනු මැනවි’ යන අර්ථයි.
බමුණා ‘දැන් කල් වැඩිය, පසුව එන්නෙමැ’යි කියා, වඳුරා හමුවට ගියේය. වඳුරා ද ‘කුමට පැමිණියේ දැ’යි ප්රශ්න කොට, සියල්ල දැනගෙන, ‘දානය සඳහා අඹ වල්ල දෙන්නෙමි’යි පොරොන්දු වී, මේ ගාථාව කීය.
අම්බපක්කොදකං සීතං - සීතච්ඡායං මනොරමං,
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතංභුත්වා වනෙ වසාති
ඉදං බ්රාහ්මණ මෙ අත්ථි - එතංභුත්වා වනෙ වසාති