5. මාංශ ජාතකය (315)
‘ඵරුසා වත තෙ වාචා’ යන මේ ගාථා පදයට අයත් ජාතකය බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වසද්දී, සැරියුත් තෙරුන් වහන්සේ විසින්, විරේක බෙහෙත් පානය කළ භික්‍ෂූන් පිරිසකට දෙන ලද, රසවත් පිණ්ඩපාතයක් නිමිති කොටගෙන, වදාළ සේක. එකල්හී ජේතවනාරාමයේදී, කිසියම් භික්‍ෂු පිරිසක් විරේක බෙහෙත් පානය කළහ. උන්වහන්සේට රසවත් පිණ්ඩපාතයක් ඇවැසි නිසා, ගිලානෝපස්ථායකයේ, ‘රස බත් ගෙනෙන්නෙමු’යි, සැවැත් නුවරට පිවිස කෑම විකුණන ගෙවල් ඇති වීදියේ, පිඬු පිණිස හැසිරුණු මුත් රස බත් නො ලැබ. ආපසු හැරී ආහ. මේ අතර සැරියුත් තෙරණුවෝ දවල් වී පිඬු පිණිස පිවිස, ඉහත කී ගිලානෝපස්ථායක භික්‍ෂූන් දැක, ‘කිමෙක්ද? ඇවැත්නි, වේලාසනින් ම ආපසු හැරුණාහුදැ’යි විචාළ සේක. ඔවුහු සිදුවූ සියල්ල සැරියුත් තෙරුන්ට කීහ. ඉක්බිති සැරියුත් තෙරණුවෝ ‘එසේ වී නම්, මා සමග එවු’යි, කියා ඒ පිරිසත් සමග ඉහත කී විදියටම වැඩි සේක. එහිදී මිනිස්සු පාත්‍රා පුරව පුරවා, රස බත් පිළිගැන්නූහ. උපස්ථායක භික්‍ෂූහු වෙහෙරට පැමිණ, ගිලනුන්ට දානය දුන්හ. ගිලන් භික්‍ෂූහු ද ඒ රස බත් වැළඳූහ. ඉක්බිති එක් දවසක් භික්‍ෂූහු දම්සභාවෙහි කතා කරමින් සිටියහ. ‘ඇවැත්නි, විරේක බෙහෙත් පානය කළ භික්‍ෂූන්ට වැළඳීම සඳහා, රස බත් සොයා ගිය උපස්ථායක භික්‍ෂූන් හිස් අතින් එනු දැක, සැරියුත් තෙරණුවෝ, ඔවුන් කැටුව ගොස්, බත් විකුණන ගෙවල් ඇති වීදියෙහි, පිඬු පිණිස හැසිර රස පිණ්ඩපාත බොහෝ සෙයින් ලැබ, ගිලනුන් සඳහා එවූහයි, යන මේ පුවත භික්‍ෂූන්ගේ කතාවට පාදක විය. එවිට බුදුරජාණන් වහන්සේ එතනට වැඩ, ‘මහණෙනි, කවර නම් කතාවක යෙදී සිටියාහුදැ’යි විචාරා, එය දැන, ‘මහණෙනි, සැරියුත් තෙරණුවෝ මෙවර උසස් දානයක් ලැබූහ. උන්වහන්සේ පෙර ද, මෘදු වචන ඇති, ප්‍රිය වචන කතා කරන, දක්ෂ වූ පඬිවරුන් ලැබූහයි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිටුපුතෙක්ව උපන්නේය. කිසියම් දිනක එක් මුව වැද්දෙක් බොහෝ මස් ලැබ, කරත්තයක පුරවාගෙන, විකිණීම සඳහා නගරයට පැමිණියේය. එදා බරණැස් නුවර වැසි, සිටු පුත්‍රයෝ සතර දෙනෙක්, නුවරින් නික්ම, එක් මංසන්ධියකදී, තම තමන් ඇසූ දුටු දේවල් සම්බන්ධයෙන් කතා කරමින්, වාඩි වී සිටියහ. ඔවුන් අතුරින් එක් සිටුපුතෙක්, ඉහත කී මස් කරත්තය එනු දැක, ‘මම ඔය වැද්දා ලවා මස් කෑල්ලක් ගෙන්වා ගන්නෙම්දැ’යි සිය යහලුවන්ගෙන් ඇසීය. ‘යනු මැනව, ගොස් ඔහු ලවා ගෙන්වා ගන්න යැ’යි, මිතුරෝ කීහ. එවිට ඉහත කී සිටුපුත්‍රයා කරත්තය වෙත ගොස්, බොල, වැද්දෝ, මට මස් කෑල්ලක් දෙවැ’යි කීය. එවිට වැද්දා ‘අනුන්ගෙන් යමක් ඉල්ලනවිට, ප්‍රිය වචනයෙන් කතා කළ යුතුය. ඔබේ කතාවේ හැටියට, ඊට ගැලපෙන මස් කැබැල්ලක් ලැබීමට සුදුසුයැ’යි කියා මේ ගාථාව කීවේය.
ඵරුසා වත තෙ වාචා - මංසං යාචනකො අසී,
කිලොම සදීසි වාචා - කිලොමං සම්ම දදාමි තෙති
මිතුර, ඔබ යාචකයෙකි. ඔබේ වචන එකහෙලා ම පරුෂය. (පරුෂ වචන වනාහි දලඹුව හා සමානය) දලඹුව වැනි වචන කතා කරන ඔබට, දලඹුවෙහි මස් කෑල්ලක් දෙමි. (දලබුව යනු පෙනහැල්ලය)
මෙහි ‘කිලොමසදිසී’ යනු ‘පරුෂ බව නිසා දලබුව හා සමාන ය’ යන අර්ථයි. ‘කිලොමං සම්ම දදාමී තෙ’ යනු ‘ඒකාන්තයෙන් මෙය ගනුව, ඔබගේ වචනවලට ගැලපෙන්නට දලබුව දෙමියි කියා නීරස වූ දලබු කැබැල්ලක් වෙන්කොට දුන්නේය යන අර්ථයි.
ඉක්බිති වෙනත් සිටුපුත්‍රයෙක් කලින් කතා කළ සිටුපුතුගෙන් ‘ඔබ කුමක් කියා ඉල්ලීදැ’යි විචාළේය. ‘බොල’ කියා කතා කෙළෙමි යි ඔහු කීය. එවිට දෙවනුව කී සිටුපුත්‍රයා, ‘මම ද මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමි’යි කියා වැද්දා ළඟට ගොස්, ‘අයියේ, මට මස් කෑල්ලක් දෙනු මැනවැ’යි කීය. එවිට වැද්දා ‘ඔබට ඔබේ කතාවට ගැලපෙන මස් කෑල්ලක් ලැබේයැ’යි කියා මේ ගාථාව කීය.
2. ලෝකයේ ‘සොයුර’ යන මේ ඇමතුම මනුෂ්‍යත්වයේ අංගයකැයි, කියනු ලැබේ. ‘මිතුර, එම අංගයට සුදුසු වචන ඇති ඔබට ඊට ගැලපෙන මස් කොටසක් දෙමි’.
මෙලොව මිනිසුන්ට අංග හා සමාන වන බැවින් ‘සොයුර’, ‘සොයුරිය’ යන ඇමතුම් ගැන ‘එතං අංගං’ යැයි කියන ලදි. එබැවින් ඒ වචන ඔබගේ ශරීරාංග හා සමානය. ඒ වචනය ගැලපෙන මස් කොටසක්ම ඔබට දෙමි, යන අදහසයි. මෙසේ කියා, මළ සතාගේ ඇඟෙන් මස් කොටසක් කපා ඔහුට දුන්නේය.
එම සිටුපුත්‍රයාගෙන් තෙවැනි සිටපුත්‍රයා ‘ඔබ කුමක් කියා මස් ඉල්ලීදැ’යි ඇසීය. ‘අයියේ කියා කීවෙමැ’යි ඔහු පිළිතුරු දුනි. එවිට තෙවැනි සිටුපුත්‍රයා ද, ‘මමත් ඔහුගෙන් මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමැ’යි කියා, ගොස් ‘පියාණෙනි, මට මස් කෑල්ලක් දෙනු මැනවැ’යි කීය. වැද්දා ‘ඔබේ වචනයට අනුරූප වූ මස් කොටසක් ඔබට ලැබේයැ’යි පවසා මේ ගාථාව කීය.
3. මිතුර, පුත්‍රයෙක් ‘පියාණනි’, කියා කතා කරමින්, පියාගේ හද කම්පා කෙරේද? එබඳු හෘදයංගම වචන ඇති ඔබට හදවතේ මස් දෙමි.
මෙසේ කියා හදවතේ මසුත් ඇතුළුව, තවත් මිහිරි රසැති මස්, වෙන්කොට ඔහුට දුනි.
ඔහුගෙන් සිව්වැනි සිටු පුත්‍රයා, ‘ඔබ කුමක් කියා කතා කෙළෙහිදැ’යි ඇසීය. එවිට තෙවැන්නා ‘පියාණෙනි, කියා කීවෙමැ’යි කීය. සිව්වැන්නා ද, ‘මමත් මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමැ’යි කියා, වැද්දා වෙත ගොස්, ‘හිතවත මට මස් කෑල්ලක් දෙන්නැ’යි කීය. එවිට වැද්දා, ‘ඔබේ වචනයට සුදුසු, මස් කොටසක් ඔබට ලැබේයැ’යි පවසා මේ ගාථාව කීය.
4. මිතුර, යමකුට ගමේ යාලුවෝ නැද්ද? ඔහුට එම ගම කැලයක් බඳුය. සියල්ලට සුදුසු වචන ඇති, ඔබට මේ සියලු මස් දෙමි.
යම් පුරුෂයකුට ගමෙහි, සැප දුක් දෙක්හි සහ, ගමන් මඟක දී වශයෙන් සහායක ගණයෙහිලා ගැනෙන, මිතුරෙක් නැද්ද, එය ඔහුට මිනිස් වාසයෙන් තොර කැලයක් වැනිය. මෙසේ ඔබගේ මේ වචන ‘සියල්ලට සමාන’ය. එනම්, තමා සන්තක වූ සියලු සම්පත් හා සමානය යන අදහසයි. එබැවින් මා සන්තක වූ, මේ සියලුම මස් සහිත, කරත්තය ඔබට දෙමි යනුයි.
මෙසේ කියා ‘යහලුව, එනු මැනව. මේ මුළු මස් කරත්තය ම ඔබේ ගෙදරට ගෙන ගොස් දෙන්නෙමි කීය. සිටුපුත්‍රයා වැද්දාත් සමග කරත්තය පදවාගෙන ගොස්, තමාගේ ගෙදරට පැමිණ, මස් ටික බාගෙන වැද්දාටද, සත්කාර සම්මාන කොට වැද්දාගේ අඹුදරුවන් ද. සිය නිවසට කැඳවා ගෙන අවුත්, වැදි භාවයෙන් ඔවුන් හැමදෙනා මුදා, තමාගේ ම පවුලේ අය බවට පත් කරගෙන, පහසුවෙන් වසන්නට මඟ සලසා, ඔහු සමග නො බිඳෙන මිතුරුකමින් වෙළී, දිවි ඇති තෙක් සමගිව විසීය.