4. ලෝහකුම්භි ජාතකය (314)
‘දුජ්ජීවිතං’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම දී, කොසොල් රජු අරබයා වදාළ සේක. කොසොල් රජතුමා දිනක් රාත්‍රී කාලයේ දී නිරයෙහි වෙසෙන සතුන් සතර දෙනෙකුන්ගේ, ශබ්ද සතරක් ඇසී, බියට පත්විය. එකෙක් ‘දු’ යන්න පමණක් කීය. දෙවැන්නා ‘ස’ යන්නක් ද, තෙවැන්නා ‘න’ යන්නක් ද, සිව්වැනියා ‘සො’ යන්නක් ද කීහ. මේ සිව්දෙනා වූ කලී පෙර භවයක සැවැත් නුවර දී පරදාර සේවනයෙහි යෙදුණු රාජ පුත්‍රයෝ වූහ. ඔවුහු අනුන්ගේ රැකවරණයෙහි සිටි කාන්තාවන්ට දූෂණ අපරාධ කොට, සෙල්ලක්කාරව ජීවත් වෙමින්, බොහෝ පව්කම් සිදුකොට, මැරීගොස් සැවැත්නුවර අසල, ලෝකුඹු සතරක ඉපිද, අවුරුදු සැටදහසක් එහි පැසෙමින් සිට, දණක් උඩටවිත්, ලෝකුමු මුවවිට දැක, ‘අපි කවදා නම්, මේ දුකෙන් මිදෙන්නෙමුදැ’යි සතර දෙනා ම, මහත් සේ හඬනගා අනුපිළිවෙලින් කෑගැසූහ. ඔවුන්ගේ ශබ්දය ඇසූ රජතුමා, මරණ භයෙන් බියපත්ව හිඳගෙනම රැය පහන් කෙළේය.
අරුණෝදයේදී, සිරිත් පරිදි බමුණෝ පැමිණ රජුගෙන් ‘සැප සේ නිදා ගත්තේදැ’යි විචාළහ. ‘ආචාර්යවරුනි, අපට සැප නින්දක් කොයින්ද? ගත වූ රාත්‍රියේ දී මම මෙබඳු බියකරු ශබ්ද හතරක් ඇසීමි’යි රජතුමා පැවසීය. ඒ ඇසූ බමුණෝ අත් සැලූහ. ඒ දුටු රජතුමා ‘කිමෙක්ද? ආචාර්යවරුනි, එය භයානකදැ’යි, ඇසීය. ‘එයට පිළියම් කළ හැකිද? නොහැකිදැ’යි තවදුරටත් ඇසීය. ‘දේවයිනි, ඒකාන්තයෙන්ම මෙයට පිළියම් කළ නොහැකිය. එහෙත් අපි ඉතා හොඳින් ඉගෙනගත් අය නිසා පිළියම් කිරීම බැරෑරුම් නොවේයැ’යි බමුණෝ පැවසූහ. ‘ඇදුරුවරුනි, කුමක් කොට උවදුරු බැහැර කරවුද?’ ‘රජතුමනි, මීට කළයුතු ප්‍රතිකර්මය අතිවිශාලය. පහසුවෙන් නොකළ හැක්කකි. ‘සර්ව චතුෂ්ක’ යාගය සිදුකොට උවදුරු බැහැර කරන්නෙමු’යි බමුණෝ කීහ. එවිට රජතුමා ‘එසේ නම් වහා ඇතුන් සතර දෙනෙකුන් ද, අසුන් සතර දෙනකුන් ද, ගොනුන් සතර දෙනකුන් ද, මිනිසුන් සතර දෙනකුන් ද, කැටකිරිල්ලන්ගේ පටන් සියලු වර්ගවලින් සිව්දෙනා බැගින් ප්‍රාණීන් රැස්කොට, ‘සර්ව චතුෂ්ක’ යාගය සිදුකොට මට යහපත කරවුයැ’යි පැවසීය. ‘යහපතැ’යි උත්තර දුන් බමුණෝ, රජවාසලෙන් විවිධ දෑ ගෙන ගොස්, යාගාවාටය සකස් කළහ. බොහෝ සතුන්ද යාග කණුවෙහි බැඳ තැබූහ. ‘බොහෝ මාලු හා මස් අනුභව කරන්නෙමු. බොහෝ ධනය ද ලබන්නෙමු’යි, බමුණෝ උත්සාහවත් වූහ. තවදුරටත් ‘දේවයිනි, යාගය සඳහා මේ මේ දේ ලැබීමට අවශ්‍යයැ’යි කියමින්, බමුණෝ නැවත නැවත මාලිගාවට එති.
මේ දුටු මල්ලිකා දේවිය රජු වෙත එළඹ ‘මහරජතුමනි, මේ කිමෙක්ද? මේ තරම් උනන්දුවෙන් බමුණන් රජවාසය අවට සැරි සරන්නට හේතුව කුමක්දැ’යි ඇසුවාය. එවිට රජතුමා ‘ඔබට රජ වාසල කටයුතු සෙවීමට වේලාවක් කොයින්ද? අප විඳින දුක රජඉසුරින් මත් වූ ඔබට නො පෙනේයැ’යි කීය. ‘කිමෙක්ද මහරජතුමනි, ඔබේ දුක අපටද කියනු මැනව.’ ‘දේවිය, කෙනකු විසින් නොඇසිය යුතු මෙබඳු වූ, ශබ්ද හතරක් මා විසින් අසන ලදි. මා ඇසූ ඒ ශබ්ද ගැන බමුණන්ගෙන් විචාළෙමි.’ එවිට බමුණෝ ‘මහරජතුමනි, ඔබගේ රාජ්‍යයට හෝ, සම්පත්වලට හෝ, ජීවිතයට හෝ, අනතුරක් ඇති බව පෙනී යයි, ඉන් මිදෙන්නට යාගයක් කළයුතුව ඇත. එබැවින් අපි ඔබ වෙනුවෙන් සර්වචතුෂ්ක යාගයක් සිදුකොට සෙත් කරන්නෙමු’යි පැවසූහ. ඔවුහු මගෙන් අවසර ගෙන යාගාවාටයක් තනවා, යාගය සඳහා අවශ්‍ය යම් යම් දෑ වෙනුවෙන් නිතර මෙහි පැමිණෙති’යි රජතුමා කීය. එවිට මල්ලිකා දේවිය ‘කිමෙක්ද, දේවයිනි, ඔබ ඇසූ ශබ්දයන්ගේ පලාපල දෙවියන් සහිත වූ මේ ලෝකයේ අග්‍ර වූ බ්‍රාහ්මණයාගෙන් විචාළෙහිදැ’යි ඇසුවාය. ‘දේවිය, ඒ උතුමා කවරෙක්ද?’ ‘රජතුමනි, ඒ ශ්‍රමණ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේය.’ ‘දේවිය, උන්වහන්සේගෙන් මේ ගැන අසන්නට මට බැරි විය.’ ‘එසේ වීම් රජතුමනි, දැන්මම ගොස් විචාළ මැනවැ’යි මල්ලිකා දේවිය රජු උනන්දු කළාය.
රජතුමා දේවියගේ මෙම වචන අසා උදෑසන ආහාරය ගත් විගසම රාජකීය රථයට නැග දෙව්රමට ගොස් බුදුරදුන් වැඳ, ‘ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ගෙවීගිය රාත්‍රියෙහි මම මෙබඳු ශබ්ද හතරක් ඇසීමි. පසුව උදෑසන ඒ ගැන බමුණන්ට සැලකෙළෙමි. දැන් ‘ඔවුහු එකතුව යාග කොට සෙත් කරනු පිණිස යාගාවාටයක් ඉදි කෙරෙති’යි සියලු විස්තර පැවසීය. ‘ස්වාමීනි, ඒ ශබ්ද ඇසීමෙන් අපට කුමක් වන්නේ දැ’යි වදාරනු මැනවැයි ඉන්පසු රජ කීය. එවිට බුදුරජාණන් වහන්සේ, මහරජ, ඔබට මින් සිදුවන දෙයක් නැත. දුක්විඳින නිරිසතුන්ගේ ශබ්ද කිහිපයක් ඔබ ශ්‍රවණය කළ බව පෙනේ. මේ ශබ්ද, මෙලෙසම ශ්‍රවණය කළ පළමුවැන්නා ඔබ නොවේ. පෙර රජවරුද මෙසේම ශ්‍රවණය කළහයි ද, අනතුරුව ඔවුහු බමුණන්ගේ උතුමන්ගේ කථා අසා, එය අත්හළහයි ද, අනතුරුව ඒ උතුමෝ එම රජවරුන්ටත්, රටවැසියන්ටත්, ඉහත කී ශබ්දයන්ගේ අර්ථ වටහා දී, සියල්ල විසඳා, හැමදෙනාටම සෙත සැලසූහ’යි වදාරා කොසොල් රජුගේ අයැදුමෙන් මේ අතීත කථාව මෙසේ ගෙනහැර දැක්වූහ.