3. ඛන්තිවාදී ජාතකය (313)
‘යො තෙ හත්‍ථෙ ච පාදෙච’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථාව වූ කලී බුදුරජාණන් වහන්සේ දෙව්රම දී කිපෙනසුලු එක් භික්‍ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව කලින් කියන ලද්දකි. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව කැඳවා, ‘මහණ, ඔබ කුමක් නිසා ක්‍රෝධයට අවකාශයක් නැති මේ බුද්ධ ශාසනයෙහි පැවිදිව ක්‍රෝධ කෙරෙහිද? පැරණි පඬිවරු සිරුරට දහස් ගණනින් පහර වදින කල්හිත්, අත්-පා-කන්-නාසා සිඳින කල්හිත්, අනුන්ට ක්‍රෝධ නො කළහයි’ වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස කාසි රට ‘කලාබු’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල බෝසත් තෙමේ අසූකෙළක් සම්පත් ඇති, බමුණු කුලයක ඉපිද, නමින් ‘කුණ්ඩක කුමාරයා යැ’යි ප්‍රසිද්ධව විසීය. තරුණ වියට පත්වූ ඔහු තක්‍ෂිලාවෙහි දී, සියලු ශිල්ප උගෙන, සිය මව්පියන් ද රැක බලාගෙන විසීය. මව්පියන්ගේ අභාවයෙන් පසු, මේ තරුණයා තමාට අයත් වූ ධනස්කන්ධය දෙස බලා, මාගේ මව්පියවරු මේ ධනය නො ගෙනම පරලොව ගියාහුය. නමුත් මා මේ සියල්ල රැගෙන යා යුතුයැ’යි සිතා, ඒ සියලු ධනය විචෙය්‍ය දාන (අඩුපාඩු සොයා බලා දෙන දන්) වශයෙන්, යමෙක් යම් දානයකට සුදුසුද? එය ඔහුට දී, මේ ක්‍රමයෙන් සිය ධනය නිමවා, හිමවතට ගොස් පැවිදි විය. එතැන් පටන් පලවැලෙන් යැපුණු මේ තවුසා හිමවත බොහෝ කලක් වැස, ලුණු-ඇඹුල් සේවනය සඳහා, දිනක් මිනිස් වාසයට පිවිසියේය. අනුපිළිවෙලින් බරණැසට පැමිණි ඔහු රජුගේ උයනෙහි නවාතැන් ගත්තේය. ඊළඟ දිනයෙහි නුවර පිඬු පිණිස හැසිරුණු තාපසතුමා, සෙන්පති නිවෙස වෙත පිණ්ඩපාතය සඳහා එළඹුණි. ඔහුගේ යහපත් ඉරියව් ගැන පැහැදුනු සෙන්පතිතුමා, සිය මැදුරට කැඳවා තමා වෙනුවෙන් පිළියෙල කරන ලද භෝජන තවුසාට වළඳවා, නැවත පැමිණෙන ලෙසට ගිවිසවාගෙන ඉහත කී රාජකීය උද්‍යානයේම වාසය කිරීමට සැලැස්වීය.
ඉක්බිති එක් දවසක් සුරාවෙන් මත් වූ, ‘කලාබු’ රජතුමා නාටිකාංගනාවන් පිරිවරාගෙන, මහත් වූ යස ඉසුරෙන් මගුල් උයනට ගොස්, මඟුල් ගල් තලාවෙහි යහනක් සකස් කරවාගෙන, ප්‍රියමනාප වූ එක් අඟනකගේ උකුල මත හිස තබා, නිදා ගත්තේය. ගායනයෙහි වාදනයෙහි හා නර්තනයෙහි ඉතාම දක්ෂ වූ, නාටක ස්ත්‍රීහු එම ගීත ආදියෙන් රජු පිනවූහ. සක්දෙවිඳුට මෙන්, මහත් සම්පත්වලින් කිසිදු අඩුවක් රජුට නො වීය. සිටි අයුරෙන්ම රජතුමා නින්දට වැටුණි. ඉක්බිති, ඒ ස්ත්‍රීහු, ‘අපි ගී ආදියෙන් රජු සතුටු කිරීමට උත්සාහ ගන්නෙමු. එහෙත් නින්දට වන් රජුට එයින් ඵලය කිමැ’යි සිතා, සියල්ල නවතා වීණා ආදි වූ තූර්ය භාණ්ඩ ඒ ඒ තැන තබා, උයනෙහි ඇවිදින්නට පටන් ගත්හ. උයනෙහි ඇති මල් පලතුරු, තුරුලතා ආදියෙහි සිත් අලවා අතිශයින් සතුටු වූහ. එකල බෝසත් තෙමේ, ඒ උයනෙහි මලින් පිරුණු එක් සල්ගසක් මුල පැවිදි සුවයෙන් කල් ගෙවමින්, උතුම් ඇත් රජකුගේ විලාශයෙන් වැඩසිටියේය. ඉක්බිති ඒ ස්ත්‍රීහු උයනෙහි ඇවිදින කල්හි, තවුසා දැක, සමීපයෙහි සිටි අනෙක් ස්ත්‍රීන් අමතා ‘ආර්යාවෙනි, අර ගස මුල පැවිද්දෙක් සිටියි. රජු පිබිදෙන තෙක් තවුස්තුමා වෙත ගොස්, මොන මොනවත් අසමින් හිඳින්නෙමුදැ’යි කතිකාකොට, එතැනට ගොස් වැඳ, වටේට වාඩි වී, ‘අපට කිවයුතු යමක් කියනු මැනවැ’යි තවුසා අමතා කීහ. තවුස්තුමා ද ඒ අඟනුන්ට දහම් දෙසීය. මේ අතර රජු ළඟ සිටි කාන්තාව සිය උකුල සොලවා රජු පිබිදවූවාය. පිබිදුණු රජු, සෙසු කතුන් නො දැක, ‘මෙහි සිටි වසලියන් කොහිදැ’යි ඇසීය. එවිට ස්ත්‍රිය ‘මහරජතුමනි, ඔවුහු සියලුදෙනා එක් තවුසෙකු පිරිවරා හිඳිති’යි කීවාය. කිපුණු රජ කඩුව ගෙන, ‘ඒ කූට ජටිලයාට පාඩමක් උගන්වන්නෙමි’යි, වේගයෙන් එතැනට ගියේය.