2. කස්සපමන්දිය ජාතකය (312)
‘අපි කස්සපමන්දිය’ යන ගාථා කොටස ඇතුළත් මේ ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සේක්, එක් මහලු භික්ෂුවක අරබයා වදාළ සේක. සැවැත්නුවර විසූ එක් කුලපුත්රයෙක් කාමයන්හී ආදීනව දැක කළකිරී, බුදුරදුන් සමීපයෙහි පැවිදිව කමටහන් අනුව භාවනා වඩා, නොබෝ කලකින්ම රහත්භාවයට පත්විය. පසු කලෙක උන්වහන්සේගේ මව කලුරිය කළාය. මෑණියන්ගේ අභාවයෙන් අනතුරුව, සිය පියා හා මලණුවන් සසුනෙහි පැවිදි කරවා, දෙව්රම්හී වාසය කරන්නට සලස්වා අනතුරුව එළැඹි වස් කාලයෙහි චීවර ආදී ප්රත්ය පහසුකම් නිසා, ඒවා සුලබව ලැබිය හැකි, එක් ගමක වස් වසන්නට තෙරුන්වහන්සේ තීරණය කළහ. ඒ අනුව තිදෙනාම එහි වස් එළඹ, වස් අවසන්හි නැවත ජේතවනාරාමය බලා ගමන් ඇරඹූහ. මේ ගමනේදී ඉහත කී රහතන් වහන්සේ ජේතවනාරාමය සමීප වෙත්ම, සිය මලණුවන් වන තරුණ සාමණේරයන් අමතා ‘ඔබ පියා වන මහලු තෙරුන්ට විඩා හරින්නට අවකාශ ලබා දී, උන්වහන්සේ සෙමෙන් සෙමෙන් කැඳවාගෙන එන්න. මම පළමුකොට එහි ගොස් ආවාස ගෙය පිරිසිදු කරන්නෙමි’යි පවසා වහ වහා දෙව්රම බලා වැඩම කළහ. මේ අතර මහලු තෙරුන් වහන්සේ සෙමෙන් සෙමෙන් වඩිති. සාමණේර තෙමේ, ‘ස්වාමීනි, ඉක්මන් කරන්න ඉක්මන් කරන්නැ’යි කියමින් වද කරමින් බලහත්කාරයෙන් මෙන්, තෙරුන් වහන්සේ කැඳවාගෙන එයි. ඊට අකමැති වූ මහලු තෙර, ‘නුඹ මා යටත්කොට ගන්නට සැරසේදැ’යි සාමණේරයන් කෙරෙහි රොස්ව, ආපසු හැරී ගොස්, නැවත මුල සිට එන්නට පටන් ගත්තේය. මෙසේ මේ දෙදෙනා කෝලාහල කරමින් සිටින අතරතුරේ රෑ විය. අඳුරු වැටිණි.
කලින් වෙහෙරට පැමිණි රහත් තෙර නම, ‘අනෙක් දෙදෙනා මෙතුවක් නො පැමිණියේ කුමක් නිසාදැ’යි මග බලමින් සිට රෑ වනතුරු නො පැමිණි නිසා, පන්දමක් දල්වාගෙන පෙරමගට යන අතරේදී කලුවරේම ඉදිරියට එන දෙනම දැක, ‘මෙපමණ පමා වූයේ කුමක් නිසාදැ’යි මලණුවන් වන සාමණේරයන්ගෙන් ඇසීය. ඊට පිළිතුරු දෙමි මහලු තෙර සිදුවූ සියල්ල පැවසීය. ඒ ඇසූ රහතන් වහන්සේ, ඔවුන් දෙදෙනා අස්වසා සෙමෙන් පන්සලට කැඳවාගෙන ආහ. මේ නිසා රහත් තෙර නමට බුදුරදුන් උදෙසා උවටැන් කිරීමට යාමට නොහැකි විය. පසුදින බුදුරදුන් වෙත ගිය රහත් තෙරනම වැඳ එකත්පස්ව සිටි කල්හි, බුදුරජාණන් වහන්සේ ‘ඔබ මෙහි පැමිණියේ කෙදිනදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, ඊයේ පැමිණියෙමි’. ‘ඊයේ පැමිණි ඔබ බුද්ධෝපස්ථානයට පැමිණියේ අද ද?’ ඊට පිළිතුරු දෙන රහත් තෙරනම ‘ස්වාමීනි, එසේයැ’යි පවසා සියලු විස්තර බුදුරදුන් හමුවෙහි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මහලු තෙරුන්ට ගරහා මොහු මෙබන්දක් කළේ, දැන් මතු නොව, පෙරත් එසේ කෙළේ යැයි පවසා තවදුරටත් විස්තර කරමින්, ‘මොහු විසින් මෙවර ඔබ වෙහෙසට පත්කරන ලද්දෙහිය. පෙරදී පඬිවරුන් පිරිසක් වෙහෙසට පත් කරන ලදැ’යි වදාරා, රහත් තෙරුන්ගේ ඉල්ලීම මත ඊට සම්බන්ධ අතීත කතා පුවත, මෙසේ විස්තර කළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරවන කල්හි, බෝසත් තෙමේ ‘කාසි’ නම් නියම්ගම බ්රාහ්මණ පවුලක ඉපදුනි. ඔහු තරුණ වියට එළඹෙත්ම මව කලුරිය කළාය. අනතුරුව හෙතෙම මවගේ ආදාහන කටයුතු නිමවා, මාස එකහමාරක් ඇවෑමෙන් ගෙදර ඇති සියලු ධනය දන් දී, සිය පියා හා කනිටු සොයුරා ද ගෙන, හිමාලය පෙදෙස්හි, දෙවියන්ගෙන් ලැබුණු වැහැරි සිවුරු පිළිගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, පිඬු සිඟීමෙන් ද අල වර්ග හා පලවැල වලින්ද, යැපෙමින් රමණීය වන ලැහැබක විසුවේය. වැසි කල හිමාල වනයෙහි නො කඩවා ඇදහැලෙන වැසි වැටෙන්නට පටන් ගනියි. එකල අල හාරන්නට නො හැකිය. එසේ වුවද පලවැල හා කොළවර්ග නිබඳව ගසයට වැටෙයි. තවුසෝ මෙවැනි වැසි සමයන්හි දී හිම වතින් බැහැරව මිනිස් පියසට වදිති. එකල බෝසත් තෙමේ ද, සිය පියා සහ මලණුවන් රැගෙන ගම් වැද, එහි මදකලක් වැස නැවත හිමාල වනයෙහි ගස් වැල්, මල්වලින් හා ගෙඩිවලින් පිරීයන කල්හි, ඉතිරි දෙදෙනාත් කැඳවාගෙන, හිමාලයෙහි තමන්ගේ අසපුව බලා එන්නට පිටත් විය. අසපුවට නුදුරුවේදී, හිරු බැස යනු බලා, සෙසු දෙදෙනාට කතා කොට, ‘ඔබ දෙදෙනා සෙමෙන් සෙමෙන් පැමිණෙවු, මම කල්තියා ගොස් අසපුව පිළිවෙලක් කරන්නෙමි’යි කියා ඔවුන්ගෙන් වෙන්ව අසපුව කරා ගියේය. ඉතිරි දෙදෙනාගෙන් කුඩා තවුසා මහලු තවුසා සමග ගමන් කරන අතර ‘ඉක්මන් කරන්න ඉක්මන් කරන්න යැ’යි කියමින් ඉඟටියට නියෙන් අනින්නාක් මෙන්, බලහත්කාරයෙන් ගෙන යන්නට උත්සාහ කෙළේ ය. එවිට මහලු තවුසා ‘තට උවමනා අයුරින් කටයුතු කිරීමට මට නො හැකි යැ’යි කියා ආපසු හැරී ගොස්, මුල සිට එන්නට පටන් ගත්තේය. මෙසේ ඔවුන් අඩදබර කරන අතරෙහි, හිරු බැස ගොස් අවට අඳුරු විය.
බෝසත් තෙමේ ද, පන්සල හැමද, පැන් ගෙනැවිත් තබා රෑ බෝ වූ නිසා, පන්දමක් දල්වාගෙන, සෙස්සන් එන පෙරමඟට යන කල්හි, ඔවුන් එනු දැක ‘මෙපමණ වේලාවක් කුමක් කළාහුදැ’යි ඇසීය. කුඩා තවුසා සිය පියා කළ දේ, සොයුරාට පැවසීය. බෝසත් තෙමේ ඒ දෙදෙනාම සෙමෙන් කැඳවාගෙන ගොස්, අසපුවට පිවිස තවුස් පිරිකර ඒ ඒ තැන තබා, සිය පියා නහවා පාවල තෙල් ගල්වා, පිට ද සම්බාහනය කොට, අඟුරු කබලක් ළංකොට, ඇඟ ද උණුසුම් කෙළේය. අනතුරුව ඒ වනවිට වෙහෙස දුරු කොටගෙන සුවසේ සිටින පියාගේ ළඟින් වාඩිවී, පියා අමතා මෙසේ කී ය. ‘පියාණෙනි, තරුණ අය, මැටිබඳුන් වැනිය. මොහොතකින් බිඳී යයි. එක්වරක් බිඳුණු විට නැවත පෑහිය නොහැක. එබැවින්, ඔවුන් දොස් කිව්වත්, පරිභව කළත්, වැඩිමහලු උදවිය විසින් ඉවසිය යුතු ය’. මෙසේ පැවසූ බෝසත් තෙමේ පියාට අවවාද වශයෙන් මේ ගාථාවන් ද පැවසීය.
අපි කස්සප මන්දියා - යුවා සපති භන්තිවා,
සබ්බන්තං ඔමතෙ ධීරො - පණ්ඩිතො තං තිතික්ඛති
සබ්බන්තං ඔමතෙ ධීරො - පණ්ඩිතො තං තිතික්ඛති
කාශ්යපය, බාල භාවය නිසා යෞවනයා නින්දා කෙරේ. පහර දීම හෝ කෙරේ. නුවණැත්තා ඒ සියල්ලම ඉවසයි. පණ්ඩිතයා එය විඳ දරා ගනියි.
සපෙ සන්තො විවදන්ති - ඛිප්පං සන්දීයරෙ පුන,
බාලා පත්තාව භිජ්ජන්ති - න තෙ සමථ මජ්ඣ ගූ
බාලා පත්තාව භිජ්ජන්ති - න තෙ සමථ මජ්ඣ ගූ
ඉදින්, සත්පුරුෂයෝ විවාද කළත්, නැවත වහා සන්ධානගත වෙති. මෝඩයෝ මැටි පාත්ර වැනි වෙති. මැටි පාත්ර වහා බිඳෙයි. නැවත සන්ධි කළ හැකි නොවේ.
එතෙ භීය්යො සමායන්ති - සන්ධි තෙසං න ජීරති,
යො චාධිපත්තං ජානාති - යො ච ජානාති දෙසිතං
යො චාධිපත්තං ජානාති - යො ච ජානාති දෙසිතං